පොලීසියේ හැසීරීම සම්බන්ධව පොලිස්පතිට හා ජාතික පොලිස් කොමිසමට පැමිණිලි!

කොළඹ පැවති විරෝධතාවයකදී පොලිසීය විරෝධතාකරුවන්ට, මාධ්‍යවේදීන්ට හිරිහැර කරමින්, අමානුෂිකව හැසිරීම සම්බන්ධව මේ වන විට සමාජයේ දැඩි විවේචනයට ලක්ව ඇත.

පොලිසීය මෙම විරෝධතාවයේදී පුද්ගලයින් 31 කු අත්අඩංගුවට ගෙන තිබුණි. මෙහිදී පොලිස් නිලධාරීන්ගෙන් මාධ්‍යවේදීන්ට හිරිහැර සිදුවීම හා විරෝධතා කරුවන්ට අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් ඊයේ (09) දින පැමිණිල්ලක් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත සිවිල් සංවිධාන කිහිපයක් විසින් සිදු කරන ලදි.

ඒ මහජන අයිතීන් සුරැකීමේ පදනමේ අධ්‍යක්ෂක මෙහෙයුම් හා ජාතික සංවිධායක අසේල සම්පත්,  භුමි මාතා මනුසත් පදනමේ නිර්මාතෘ – කලුබෝවිල පදුම හිමි, මහජන අයිතීන් සුරැකීමේ පදනමේ ජාතික සංවිධායක – අසේල සම්පත්,  සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති – ලලිත් ධර්මසේකර, සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති – චිරන්ත අමරසිංහ, පහත රට වතු කම්කරු වන්ගේ සංගමයේ සභාපති – රුවන් ගාල්ලගේ, එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති – ප්‍රදිප් චාල්ස්,  ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ කවුන්සිලයේ සභාපති – දිමුතු බාලසූරිය, ලොතරැයි අලෙවි නියෝජිත සංගමයේ සභාපති – ක්‍රිශාන්ත මාරබගේ, මව්බිම සුරක්ෂා එකමුතුවේ සභාපති – සම්ස් ෆාරුක්, පරපුරක බලය කැඳවුම්කරු – චාමර නාකන්දල යන අය විසිනි.

මේ අතර මෙම පිරිස විසින් ඊයේ (09) දිනයේ ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙතද ලිඛිත පැමිණිල්ලක් කර සිටියේය.

එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ සති කිහිපයකට පෙර පොලිස්පතිවරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන්ව උස්සාගෙන යෑමෙන් වැලකී සිටින ලෙස වුවත්  ඒ එකී නියෝග කඩකරමින් පොලිස් නිලධාරීන් කටයුතු කරන ආකාරය ඊයෙ (8), හා පෙරේදා (7) යන දිනයන්වලදී මාධ්‍ය හරහා වාර්තා වු බවය.

එසේ කරනා ඇතැම් නිලධාරීන් නිසි සෞඛ්‍ය ආරක්ෂක ඇඳුම් පැළඳ සිටින බවක් දක්නට නැත. ඒ අනුව ඔවුන් සියලු දෙනා නිරෝධායන නීති ප්‍රකාරව, දින දාහතරක නිරෝධායනයකට ලක්කළ යුතු බවත්  ඊට අමතරව එම නිලධාරීන් සම්බන්ධයෙන් හා එකී නිලධාරීන්ට නියෝග දුන් ඉහළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනය පියවර ගන්නා ලෙස ද මෙම ලිපියෙන් ඉල්ලා සිටියි.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ඊයේ සහ පෙරේදා දිනයන් වලදී උද්ඝෝෂණ සිදුවීම් වල සැබෑ තත්වය රටේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම පිණිස වාර්තා කිරීමට ගිය ගෞරවනීය මාධ්‍යවේදීන්ට බාධා කිරීම් හා ඔවුන්ගේ කැමරාවලට පහරදීම් පොලිස් නිලධාරීන් අතින් සිදුවෙන බවක් මාධ්‍ය ඔස්සේ වාර්තා විය. රටේ සිව්වන කුලුනු ලෙස සැලකෙන මාධ්‍ය තම ක්‍රියාකාරකම් සිදු කිරීමේදී එයට මෙලෙස බාධා හා පීඩා සිදු වීම අපි දැඩි ලෙස හෙලා දකිමු. එමෙන්ම එකී වරද සිදුකරන ලද නිලධාරීන් හා නිලධාරිනියන් සම්බන්ධයෙන් වහා විනය පියවර ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකා පොලිසියේ මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් සිදු කරන ලෙස ද අපි මින් ඉල්ලා සිටින්නේ, වරද කරන්නා හා වරද කිරීම වලක්වන්නා වාර්තා කිරීමට යන මාධ්‍යවේදියා වරද වලක් වන්නාගේ ගොදුරක් බවට පත්වීම සුදුසු නොවන ක්‍රියාපටිපාටියක් නිසාවෙනි. මාධ්‍යවේදීන් වන ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා පොලිසියේ වගකීමක් ලෙස අපි මේ අවස්ථාවේදී දකිමු.

විරෝධතා කිරීමේ නිදහස යනු මානව හිමිකම් වල තිබෙනා මූලික කරුණකි, කොරෝනා වසංගත තත්ත්වය යනු ලෝක වසංගත තත්ත්වයක් වුවත් ලෝවටා බොහෝ අනෙකුත් රටවල උද්ඝෝෂණ විරෝධතා කිරීමේ නිදහස එම පුරවැසියන් විසින් පැහැදිලිව අත්විඳිමින් තිබේ.

උද්ඝෝෂණ කරන විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ සහ පෙරේදා දිනයන් වලදී ශ්‍රී ලංකා පොලීසිය විසින් අනුගමනය කරන ලද අමානුෂීය පිළිවෙත හා ක්‍රියාපටිපාටියන් අපි දැඩි ලෙස හෙලා දකිමු. උද්ඝෝෂකයන්ට අමානුෂීය ලෙස සලකමින් සිදුකරන ලද එම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පැවැත්විය යුතු බවට අපි මින් ඉල්ලා සිටිමු.

අලුත් අවුරුදු කාල සීමාවේදී නිරෝධායන නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට අණ නොදුන් මෙරට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, කාගෙ න්‍යාය පත්‍රයකට කටයුතු කරනවා ද කියා අපි නොදන්නා අතර, ඔහුගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් ලෝකයා ඉදිරියේ සිදුවන උද්ඝෝෂණ මර්දනය කිරීමේ ක්‍රියාදාමයන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම්  සම්බන්ධයෙන් ශ්‍රේණිගත කිරීමට දැඩි බලපෑමක් ඇති කළ හැකි  බව මින් පෙන්වා දීමට අපි කැමැත්තෙමු.

කොරෝනා මර්දනයට උද්ඝෝෂණ විරෝධතා තහනම් කරන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට, බස් රථයක ආසන ගණනට මගින් ගෙන යාමට අවසර ලබාදීම හරහා මගින් දෙදෙනෙකු අතර මීටරයක පරතරයක් නැතිවන බවට නිරීක්ෂණය නොවන්නේ ඇයිද යන්න අපට විශාල ගැටලුවකි. එමෙන්ම, අමාත්‍යාංශවල වැඩ බාරගන්නා උත්සවවලදී විශාල පිරිස් ඒකරාශි කිරීම ගැටළුවක් වී නැති බවට එම උත්සව සම්බන්ධයෙන් සිදුවන මාධ්‍ය වාර්තා හරහා අපට නිරීක්ෂණය වේ.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සඳහා ජිනීවාහි මානව හිමිකම් කවුන්සලය තීරණය කර ඇති පසුබිමක, මෙවැනි සිදුවීම් රට තුළ දිගින් දිගටම සිදුවීම ඉතා බරපතළ ප්‍රශ්නයක් ඇති කරන සැක සහිත කාරණාවක් වේ. ඒ කාරණාව යනු මෙම මානව හිමිකම් උල්ලංඝනය කරන කටයුතු සිදුවන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය උල්ලංඝනය කරමින්, ජනතාවට රජයේ කෙරෙහි චේතාන්විතව විරුද්ධත්වයක් ඇති කිරීමේ, වෛරයක් ඇති කරවීමේ, අගෞරවයක් ඇති කරවීමේ අරමුණෙන් රජයට එරෙහිව සිදුකරන කුමන්ත්‍රණයක් ද යන්නයි. ඒ හේතුවෙන් මෙම උද්ඝෝෂණ මර්දන කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීම මර්දනය කිරීමේ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්, සෞඛ්‍ය අංශ නිලධාරින් හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි විමර්ශනයක් සිදු විය යුතු බව අපි මින් ඉල්ලා සිටිමු.

ආසාදිතයෙකුට සම්බන්ධ බවට වාර්තා නොවන, විරෝධතා දක්වන පුරවැසියන්ට හා සිවිල් ක්‍රියාකාරීන්ට නිවෙස් නිරෝධායන ක්‍රියාවලියට ප්‍රවේශ වීමට ඉඩ නොදී, සෞඛ්‍ය අංශ හා ශ්‍රී ලංකා පොලිසියේ අත්තනෝමතික ක්‍රියාවලියක් ලෙස ඔවුන් රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම ගැටළු සහගත තත්ත්වයකි. එය නිවෙස් නිරෝධායන ක්‍රියාවලිය ද විහිළුවට ලක් කිරීමක් ලෙස අපි දකිමු. එය නීතිය අසමාන ලෙස ක්‍රියාත්මක කිරීමක් ලෙස අපි දකිමු. රජයේ වැරදි පෙන්වා දීමේ අරමුණෙන් විරෝධතා දැක්වීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් එකී රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල තිබෙන අඩු පහසුකම් යටතේ අනවශ්‍ය කොරෝනා අවදානමකට ලක් වන්නේ නම් සහ හෝ එකී රජය විසින් ලබාදෙන ආහාර බලහත්කාරයෙන් ගැනීමට සිදුවන්නේ නම්, එම සිවිල් ක්‍රියාකාරීන්ගේ හා පුද්ගලයින්ගේ ජීවිතයට විශාල තර්ජනයක් විය හැකි බව මින් පෙන්වා දීමට කැමැත්තෙමු.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කරනා පොලිස් නිලධාරීන්ට සේවා අංකය හා නම සඳහන් පොලිස් නිල ඇඳුම වෙනුවට වෙනත් සැහැල්ලු ඇඳුමක් පැලඳීමට අවසර දී ඇත. එමෙන්ම නිල ඇඳුමට අමතරව කොරෝනා ආරක්ෂක ඇඳුමක් පැලඳීමට සිදුවී ඇත. මේ හරහා අදාළ නිලධාරියා හඳුනා ගැනීමට පුරවැසියා වෙත හිමි අයිතිවාසිකම ඉතාමත් සූක්ෂ්ම ලෙස අහිමි කර ඇත. ඒ හරහා නිලධාරීන් වෙත නෛතික නොවන මුක්තියක් ලැබෙන අතර, පුරවැසියාට හිමි වන නීතියේ සාධාරණ රැකවරණය අහිමි කර ඇති  බවට අපි මින් චෝදනා කර සිටිමු. කොරෝනා තත්ත්වය තුල අදාළ නිලධාරීන් සිටින්නේ  මුහුණ ද ආවරණය කර ගෙන බව සිහිපත් කිරීමට අපි කැමැත්තෙමු. අදාළ සැහැල්ලු ඇඳුමේ හෝ කොරෝනා ආරක්ෂක ඇඳුමේ අදාළ නිලධාරියාගේ සේවා අංකය හා නම ප්‍රදර්ශනය කිරීමට නොහැකි වීමට කිසිඳු සාධාරණ හේතුවක් අපි නොදකිමු. එම අකටයුත්ත වහා නිවැරදි කිරීමටත්, එම අකටයුත්ත සිදු කිරීමට ඉඩ දුන් ඉහල පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අපි ඉල්ලා සිටිමු.

-ශානි-

Social Sharing
නවතම