සෞඛ්‍ය අංශවල වීනා නොඇසෙන ආණ්ඩුවේ බිහිරි අලි!

ලංකාවේ මේ වන විට කොවිඩ් ආසාදිත රෝගීන් 105914 කු වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් සඳහන් කර ඇත. මරණ 700 සීමාව ආසන්නයට පැමිණ තිබේ. පහුගිය දින පහක කාලය පුරාම දිනපතා වාර්තා වන රෝගීන් ප්‍රමාණය දහස ඉක්මවූහ.

අප දැන් සිටින්නේ අවදානම් තත්ත්වයක බවත් ඉදිරි දෙසතියක කාලය තීරණාත්මක බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ ජනතාව පිලිනොපැද්දොත් ලංකාවද ඉන්දියාව මෙන් වනු ඇතැයි සෞඛ්‍ය අංශ මේ වන විට ජනතාවට  අනතුරු අඟවා ඇත.

දෙවැනි කොවිඩ් රැල්ල අවසන් වෙමින් තිබු අවස්ථාවක, බ්‍රිතාන්‍ය වෛරසය බොරලැස්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙමින් තිබූ අවස්ථාවක සිංහල අලුත් වුරුද්දට කිසිඳු තහංචියක්/නීතියක් රජය ජනතාවට පැනවුයේ නැත. විශේෂයෙන්ම PCR පරීක්ෂණ නොකෙරුණු අතර මෙරටදී බ්‍රිතාන්‍ය ප්‍රභේදය සහිත පුද්ගලයින් හමු වු බවට  ජනතාවට කිසිදු අනතුරු ඇඟවීමක් සෞඛ්‍ය අංශ වලින් අවුරුද්දට පෙර සිදු කෙරුණේ නැත.

කොවිඩ් පාලන අමාත්‍යවරිය වූ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවුරුද්දට සංචරණ සීමා පනවන ලෙස කොවිඩ් මර්දන කමිටුවෙන් ඉල්ලා සිටිද්දී ඇයව නොසලකා හැරියාය. ජනතාවට අයාලේ යාමට ඉඩහැර රජය නිහඬව සිටියා යැයි කිවහොත් නිවැරදිය.

රජය නිහඬ වෙද්දී රටේ ජනතාවද සිතූයේ දැන් කොවිඩ් ඉවරයි කියාය. එංගලන්තයේ හැරී කුමාරයා හා මේගන් කුමරිය මෙන් සැරසී මෙරට නුවරඑළිය වසන්ත සැණකෙළි විවෘත කරද්දී ජනතාවද මදි නොකියන්න ට්‍රිප් ගියහ. ෂොපින් කළහ. නමුත් අවසානයේ ඔවුන් අවුරුදු කාලා නොව අවුරුද්දම කාලාය.

දැන් දැන් රජය විවිධ සීමා/ නීති ජනතාවට ගෙන ආවද සිදුවිය යුතු සියල්ල සිදු වී අවසන්ය. ග්‍රාමසේවක වසම් පමණක් හුදකලා කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම වශයෙන් සතියකටවත් රට වැසිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා නිරන්තරයෙන් රජයට පෙන්වා දුන්නද එය බීරී අලීන්ට වීණා වැයිමක් විය.

දැන් කොවිඩ් වසංගතය රට පුරාම පැතීරී ගොස් ඇත. රෝහල් රෝගීන්ගෙන් පිරීයාම නිසා අතරමැදි මධ්‍යස්ථාන හා නිරෝධායන මධ්‍යස්ථානද දැන් රෝහල් බවට පත් කරමින් සිටින්නේය. දැඩි සත්කාර ඒකක වල අර්බුදයක් මතුව ඇත. යුද්ධයක් කරනවා මෙන් දැඩි සත්කාර ඒකක වලට මානව සම්පත් ලබා දිය නොහැකිය. ඒවාට විශේෂ දැනුමක් අවැසිය.

කෙසේ නමුදු සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නම් පවසන්නේ කොවිඩ් තුන්වන රැල්ල පාලනය සදහා ආණ්ඩුව ගත හැකි, ගත යුතු සෑම පියවරක්ම ගෙන ඇති බවය.

ගෝලීය වසංගත තත්ත්වයේ වෙනස්වීම් අනුව ඉදිරියේ ඇතිවිය හැකි යැයි හැගෙන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සෞඛ්‍ය අංශය ශක්තිමත් කිරීමට රජයේ වැඩි අවධානයක් යොමුව ඇති බවත් ඔහු කියයි.

රටේ ජනතාව ආරක්ෂා කරගනිමින් ආර්ථික තත්ත්වය ද රැක ගැනීම මේ මොහොතේ ආණ්ඩුව මුහුණ දෙමින් සිටින අභියෝගය බවත්  එම අභියෝගයට මුහුණ දීම සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ මිනුවන්ගොඩ කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදීය.

ගෝලීය වසංගත තත්ත්වයක් බව දැන දැනත් රෝගය මර්ධනය කිරීම සදහා රජයට සහාය වෙනවා වෙනුවට විපක්ෂය කටයුතු කරන්නේ වගකීම් විරහිතව බවට චෝදනා කර සිටින අමාත්‍යවරයා පෙන්වා දී තිබුණේ මෙම ගෝලීය වසංගත තත්ත්වය යටතේ හෝ රජයට පහරදී බලය ලබා ගැනීමේ අරමුණින් විපක්ෂය කරන පදනම් විරහිත ප්‍රකාශවලට අවධානය යොමු කරනවා වෙනුවට වෛරසය පාලනය කර, එන්නත්කරණ වැඩපිළිවෙල මගින් සෞඛ්‍ය ගැටලුවට නිසි විසදුම් දීම මෙන්ම වෛරසය පාලනය කර ජනතාව ආරක්ෂා කර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බවය.

-ශානි-

Social Sharing
නවතම