“මනිවන්නන් කළේ කොළඹ මහනගර සභාව කළ දේමයි,” – දෙමළ මන්ත්‍රීවරු කියයි!

යාපනයේ නගරාධිපති වරයා මැදියම් රැයේ අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තුව තුල මහත් කෝපාවිෂ්ඨ පරිසරයක් ඇති කරනු ලැබූ අතර “මෙය ෆැසිස්ට්වාදය හැර අන් කිසිවක් නොවේ” යයි දෙමළ මන්ත්‍රීවරුන් විසින් දැඩි ලෙස හෙලා දකිනු ලැබීය.

කොටි සංවිධානය නැවත සංවිධානය කිරීමේ චෝදනා නගා අත් අඩංගුවට ගෙන පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) විසින් පැය කිහිපයක් තිස්සේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලදී.

දෙමළ ජාතික සන්ධානයේ (TNA) සිවඥානම් ශ්‍රීධරන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් (TNPF) මන්ත්‍රීවරුන් අද (සිකුරාදා) පාර්ලිමේන්තුවේදී තම විරෝධය පල කරමින්  කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ඔහුගේ නිදහස සුරක්ෂිත කිරීමට වහාම මැදිහත් වන ලෙසයි.

“මේ නම් ෆැසිස්ට්වාදයයි, ඔබ එක් අතකින් රට මිලිටරීකරනය කරන අතරවාරයේ අනෙක් අතින් ජාතිවාදය ජනනය කරමින් සිටිනවා. ඒ අතරම දැන් ඔබ වෙනත් මතවාද වළක්වනවා. මෙය ෆැසිස්ට්වාදය හැර අන් කිසිවක් නොවේ. ඔබ මෙය නතර කළ යුතුයි,” යි පොන්නම්බලම් පාර්ලිමේන්තුවේ දී හඬ නැගුවේය.

යාපනය මහ නගර සභා කොමසාරිස්වරයාගේ පැමිණිල්ලක් මත පරීක්ෂණයක් කිරීම සඳහා විශ්වලිංගම් මනිවන්නන් සහ යාපනය මහ නගර සභාවේ සාමාජික වර්ධරාජා පාර්තීපන් බ්‍රහස්පතින්දා රාත්‍රී 8 ට යාපනය පොලිසියට කැඳවා තිබුණි.

මෙම පරීක්ෂණය පසුවදා එනම් සිකුරාදා (අප්‍රේල් 9) අලුයම 2 දක්වා ඇදී ගොස් තිබේ. අනතුරුව නගරාධිපති මනිවන්නන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට (TID) විසින් වවුනියාවේ පිහිටි TID කාර්යාලයට රැගෙන ගොස් තිබේ.

ඔහුට එරෙහිව එල්ල කර ඇති චෝදනාව වන්නේ “ LTTE යේ පොලිස් කොට්ඨාශයේ සාමාජිකයන් සැරසී සිටියාවූ නිල ඇඳුමට සමාන නිල ඇඳුමකින් යුත් පස් දෙනකුගෙන් යුත් නාගරික සිවිල් අධීක්ෂණ කණ්ඩායමක් සේවයේ යෙදවීම” යි.

නගරාධිපතිවරයා කියන පරිදි, මේ කියන කණ්ඩායමේ කාර්යභාරය වූයේ යාපනය නගරයේ නඩත්තු කටයුතු සහ වාහන ගමනාගමනය නියාමනය කිරීමයි.

නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ “මහා නගර සභාවේ රාජකාරි සදහා LTTE පොලිසියේ නිල ඇඳුමට සමාන නිල ඇඳුමින් සැරසුනු පුද්ගලයින් පස් දෙනකු මනිවන්නන් විසින් සේවයේ යොදවා තිබුනා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙනවා,” යනුවෙනි.

එම “සමාන කම්” කවරේදැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා විස්තර කළේ නැත.

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයකම කාර්ය මණ්ඩල සැරසී සිටින මතබේදයට ලක්වූ ආකාරයේම නිල ඇඳුමකින් සැරසී සිටිනු දැකගන්නට හැකිය.

“මනිවන්නන් මහතා කළේ කොළඹ මහනගර සභාව කළ දේමයි,” යනුවෙන් තමිල් මක්කල් දේශීය කුට්ටනි (TMTK) නායක සී වී විග්නේශ්වරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

“අපට කියන්නේ යාපනය නගර සභාවේ සේවකයන්ට දී ඇති නිල ඇඳුම එල්ටීටීඊ පොලිස් බලකාය පාව්ච්චි කළ නිල ඇඳුමට සමානයි කියලයි. ඒත් ඇත්තම කාරණේ නම්, කොළඹ මහනගර සභාවේ ඒ හා සමාන සේවකයන්ට දීලා තියෙන්නෙත් මේ වගේම නිල ඇඳුම් තමයි.”

මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකරගේ උපදෙස් පරිදි යාපනය පොලිසිය සහ ත්‍රස්ත විමර්ශන අංශය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයන් යාපනය නාගරික කොමසාරිස්වරයා සහ මහ නගර සභාවේ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් වාර්තා කොට ගෙන තිබේ.

යාපනය නගරාධිපති විසින් මේ අයට පත්වීම් ලබා දෙන ලද්දේ හුදෙක් තාවකාලික පදනමිනි.

ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර පැවති මාධ්‍ය හමුවකදී නගරාධිපතිවරයා කියා සිටියේ කුණු කසළ බැහැර කිරීම, දඩ මුදල් එකතු කිරීම, කොරෝනා වෛරස් රෙගුලාසි උල්ලංඝනය කිරීම වැනි දේ අධීක්ෂණය කිරීම යාපනයේ  නාගරික පොලිස් බලකායේ රාජකාරිය බවයි.

මෙම රජය පියවි සිහිය ඉක්මවා ගොස් සිටිතැයි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පාර්ලිමේන්තුවට පවසා සිටියේ ය.

“ LTTE යේ පැවැති එක් අංශයක් වන පොලිස් බලකාය පුනරුත්ථානය කිරීමට උත්සාහ කරන අයකු ලෙස ඔහු නිරූපණය කිරීමට රජය දැරූ වෑයම විකාරයක්. කොළඹ ද  ඇතුළුව මේ රටේ විවිධ පෙදෙස්වල ඇති මහ නගර සභා යටතේ විවිධ අංශ නිර්මාණය වී ඇත. වාහන ගාල් කරන තන්හි  ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා .. ආදී ලෙස; විවිධ දේ සිදු වේ. යාපනය මහනගර සභාව තුළ එවැනි අංශයක නිලධාරීන් සඳහා ලා නිල් තද තද නිල් පැහැයක් සහිත ඇදුමක් යොදාගත්තා වූ  පුද්ගලයෙක් එල්ටීටීඊය පුනරුත්ථානය  කරන්නට  යන්නෙකු  බවට චෝදනා කිරීම විකාරයක්.”

TNA පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ නගරාධිපතිවරයා වහාම නිදහස් කරන ලෙසයි.

“යාපනය නාගරික අධීක්ෂණ කණ්ඩායමේ නිල ඇඳුම කොළඹ මහ නගර සභාවේ එවැන්නවුන්ගේ ඇඳුමට සමානයි. එවන් වූ කණ්ඩායමක් නිර්මාණය කිරීමේ අදහස වූයේ පිරිසිදු නගරයක් පවත්වා ගැනීමයි.  එහෙත් එවන් වූ ක්‍රියාවක් බිහිසුණු ත්‍රස්තවාදී ක්‍රියාවකට පූර්වාදර්ශයක් ලෙස ලෙස චිත්‍රණය කිරීම භයානක පුර්වාදර්ශයක්.”

එක්සත් ජාතික පක්ෂය ද යාපනය නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම හෙළා දැක තිබේ.  සිකුරාදා සැන්දෑවේ ප්‍රකාශයක් නිකුත් කරමින් එම පක්ෂය කියා සිටියේ, තේරී පත් වූ නිලධාරියකු විසින් සිදුකරන ලදැයි කියන යම් වැරැදි ක්‍රියාවක් පිළිබඳව ඕනෑම පොලිස් ක්‍රියාමාර්ගයකට පෙර අදාළ අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.

“නගර සභාවේ පිරිසිදුකම අධීක්ෂණය කිරීම සඳහා සේවයේ යොදවා ඇති සභාවේ සේවකයන් විසින් හැඳ පැළඳ සිටි නිල ඇඳුම්, LTTE ය විසින් පැළඳ සිටින නිල ඇඳුමට සමාන පෙනුමකින් යුක්ත ඇති බවට ඉදිරිපත්වන චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ද එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටී”.

එක්සත් ජාතීක පක්ෂය මෙකී තම ප්‍රකාශයේ දී කොළඹ මහ නගර සභාව තුළ වාහන නැවැත්වීමේ සහායකයන් විසින් පැළඳ සිටින නිල ඇඳුම් පිළිබඳව තවදුරටත් අවධානය යොමු කරමින් විමසා සිටින්නේ ඒවාත් LTTE සාමාජිකයන් ඇද පැළඳ සිටි ඒවාට සමාන පෙනුමක් ඇති සේ සැලකිය හැකිනම් කුමක් කරන්නේ ද කියා යි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර තේරී පත් වූ පළාත් සභාවලට පොලිස් බලතල බෙදා හැරීම ලබා දී ඇත්තේ වී මුත් කොළඹ කේන්ද්‍රීය පාලනය එම බලතල කොතැනකටවත් පවරා දී නොමැත.  පාර්ලිමේන්තුව හැරුණු විට ලංකාවේ තේරී පත් වූ ආයතනවලට ඇත්තේ ඉතා සීමිත බලතල ප්‍රමාණයකි.

Social Sharing
නවතම