ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තියෙන ප්‍රශ්න ගැන අපි මුලින්ම කතාකරමු..
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හැටියට මුළු ලංකාවේම ඉන්න ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතනය සමග ගනුදෙනු කරන ආකාරය දැක්කහම හරිම දුක්ඛිතයි. ශෝකජනකයි. විශේෂයෙන් වරප්‍රසාද වරදාන සන්තෝශම් වලට යටවෙලා හැමදේම. තෝරාගත් එක කොටසකගේ ප්‍රවෘත්ති පළ කරනවා. අනිත් කොටස යවපුවහම ඒ අයගේ අඩුපාඩු කියනවා, අඩුපාඩු හොයනව ඒවා පළ කරන්නේ නැහැ. ඒ සම්බන්ධව කර්තෘ මණ්ඩලයට, කර්තෘවරුන්ට, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරුන් දැනුවත් කළොත් ඊට පස්සේ ඒ මාධ්‍යවේදියාට ආයේ කවදාවත් ඒ ආයතනයේ ප්‍රවෘත්ති පළ කර ගන්න බැහැ. ඒක තමයි මේ ප්‍රාදේශීය මාධ්‍යවේදියාගේ අද ඇත්ත තත්ත්වය. විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක ගොඩක් මාධ්‍ය ආයතන පිටු අඩු කරල සේවකයෝ අඩු කරල මාධ්‍යවේදීන්ගේ තොරතුරු ගන්න එක පවා අඩු කරල තියෙනවා. ඉන්න පිරිසෙන් ප්‍රවෘත්ති ආවරණය කරනවා. ඒකත් එක්ක දැඩි අපහසුතාවයට පත්වෙලා තියනවා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් නැහැ කියලා කතා කරනවා. ඒ ගැන ඔබගේ අදහස..
ලංකාවේ ඉන්න කිසිම ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට අයිතිවාසිකම් ලැබිලා තියෙනවා කියලා කියන්න බෑ. 1948 නිදහස ලැබිල මේ සමරන්නේ 73 වෙනි නිදහස. ඒත් කිසිම ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට කිසිම අයිතියක් ලැබිලා නැහැ. කිසිම කෙනෙකුට ඔබ ආයතනයේ සේවකයකු කියලා මේ වෙනකන් පත්වීම් ලිපියක් දීලා නැහැ. එතනින්ම අපි අවලංගු කාසියක් වෙලා. මම අවුරුදු විසි පහකට වැඩිය ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් හැටියට කටයුතු කරනවා, අනෙක් සියලු ආයතනවල කම්කරුවෙක් හැටියට වැඩ කලත් අර්ථසාධකය ඇතුළු දීමනා තිබෙනවා. විශේෂයෙන් මාධ්‍යවේදීන් කියන්නේ රටේ හතරවෙනි ආණ්ඩුව, රටේ නැති කතන්දර සම්පූර්ණයෙන්ම බොරු. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කියන්නේ අද පේමන්ට් එකට වැටිච්ච අවලංගු කාසි. කිසිම දේකට හිමිකමක් නැති කණ්ඩායමක්. මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක අඩුම අපිට ණයක් ගන්න බැහැ. බැංකුවට ගියාම ඉල්ලනවා වැටුප් විස්තරයක්. ප්ලේ ශීට් එකක් දෙන්නේ නැහැ ආයතනවලින්. ඔබ කෑලි ගානට ප්‍රවෘත්ති ලියන නිදහස් මාධ්‍යවේදියෙක් කියලා කියනවා. ඉතිං පඩි වාර්තාවක් නැහැ. බඳවා ගත්තා කියලා ලිපියක් නැහැ. මේක මම මාධ්‍යවේදියෙක් හැටියට කිව්වට ආයතනවලට කඩේ යන අල්ලස් දීලා ප්‍රවෘත්ති දාගන්න එකෙක් කටක් හොලවන්නේ නැහැ. ඕක තමයි ඇත්ත තත්ත්වය.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් එවන නිවුස් හෝ ඡායාරූප කොළඹ ඉන්න මාධ්‍ය ආයතනවල කට්ටිය තමන්ගේ නමින් යවනවා කියලා චෝදනාවක් තියෙනවා. ඒ වගේ අවස්ථා තියනවද?
තියෙනවා අනිවාර්යෙන්ම. කොළඹ ඉන්න කට්ටියට දුරකථන පහසුකම් ඔක්කොම නොමිලේ ආයතනයෙන් ලබා දීලා තියෙනවා. එතකොට මේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දුක් විඳලා, බෑග් මල්ලක් අරගෙන ගිහින්, කන්නත් නැතුව මොනවා හරි කරලා තොරතුරු ටිකක් හොයා ගෙන ෆැක්ස් එකක් ගහලා, ඊමේල් එකක් ගහලා දැම්මම ඒ ආයතන වල ඉන්න මාධ්‍යවේදියෝ මොකද කරන්නේ, ඔවුන් කරන්නේ අදාල දිස්ත්‍රික්කය, අදාළ පළාතේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහෙම නැත්තං එස් එස් පී මහත්තයා, එහෙම නැත්නම් පොලීසියේ ඉහළ නිලධාරියෙකුට කතා කරලා විස්තර ටිකක් අරගෙන මේ මොනවත් දැකපු නැති පුද්ගලයෝ අපේ ප්‍රවෘත්තිවල මුලින් නම දාගන්නව. මෙහෙම නම් කිහිපයක් තියෙනකොට මුලින් තියෙන නමකට දෙකකට විතරයි ගෙවන්නේ. ඉතුරු නම් තිබ්බට සත පහක් ගෙවන්නේ නැහැ. ඒක බලලා අපට සතුටු වෙන්න පුළුවන් ප්‍රවෘත්තියේ නම තිබ්බා කියලා. ඒ ඇරෙන්න සාක්කුවට ලැබෙන සෙතක් නැහැ. විශේෂයෙන් ඊට පස්සේ ඒ වගේ සිදුවීම් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වාර්තා කරපුවහම හා රූපවාහිනී නාලිකා වල දැක්ක ගමන් තමන් දැක්කා වගේ ලියනවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ නම් පස්සට දාලා ඒ අයගේ නම් ඉස්සරහට දාලා ප්‍රවෘත්ති මංකොල්ලකෑමක් මේ සෑම මාධ්‍ය ආයතනයක්ම සිද්ධ වෙනවා.
හිඟ වැටුප් ප්‍රශ්නය ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා නේද?
විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය නාලිකා කිහිපයක්ම අපේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට වසර ගණනාවකින් සත පහක් වත් ගෙවලා නැහැ. ගෙවපු නැති රූපවාහිනී නාලිකා ආයතන තියෙනවා. ඒ වගේම මුද්‍රිතත් එහෙමයි. අවුරුදු දෙක තුන ගෙවලා නැහැ. ඒ උනාට රටේ වෙන තොරතුරු, දේශපාලනඥයන්ව පුම්බන්න මේ අහිංසක මිනිසුන්ගේ තොරතුරු පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරාට ඔවුනට මුදල් ගෙවන්නේ නැහැ. අපි දැක්කා මුහුණුපොතේ හොඳම වැඩකාරයෝ කියාගන්න ප්‍රාදේශීය මාධ්‍යවේදියෝ අභියෝග කරනවා කිසිම කෙනෙක් ලියන්න එපා අහවල් පත්තරේට, අහවල් ටීවි චැනල් එකට ප්‍රවෘත්ති යවන්න එපා කියලා. ඔවුන් අභියෝග කරනවා. ඔවුන් එහෙම අභියෝග කරනකොට තව කොටසක් ඒක නොලැබුණත් කමක් නැහැ කියලා ප්‍රවෘත්ති සපයන, මාධ්‍යවේදීන් පාවාදෙන කණ්ඩායමකුත් අපි අතරේ ඉන්නවා.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තියෙන ලොකුම චෝදනාවක් තමයි ප්‍රාදේශීය දේශපාලකයොත් එක්ක එකට එකතු වෙලා ගේම් ගහනවා කියන එක. පොලීසිය සමග සම්බන්ධ වෙලා යම්යම් ගේම් ගහනවා කියලත් චෝදනාවක් තිබෙනවා..
ගොඩක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට පොලිසියත් එක්ක සම්බන්ධ කමක් නැහැ. ඇතැම් පිරිස් පොලිසිය සහ උසාවි අල්ලගෙන කරන අසික්කිත අශීලාචාර වැඩේ නිසා සමස්ත ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ටම මේ ලේබලය වැදිලා තියෙනවා. ඒක මම පිළිගන්නවා. පොලිස් නිලධාරීන්ව පුම්බන, පොලිස් නිලධාරීන්ගේ උසස්වීම්වලට ප්‍රයෝජනවත් වන ආකාරයට ප්‍රවෘත්ති ලියන අපේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඉන්නවා. ඒක මම පිළිගන්නවා. ගොඩක් දේශපාලනඥයෝ එදා මාධ්‍යවේදීන්ට ගරු කරා. අද දේශපාලනඥයො මාධ්‍යවේදීන්ට ගරු කරන්නේ නැහැ. මොකද හුඟක් ප්‍රාදේශීය මාධ්‍යවේදින් වගේම මාධ්‍ය ආයතනවල ඉන්න අයත් දේශපාලනඥයින්ගේ මාධ්‍ය ලේකම් හැටියට යන්න පොර කනවා. ඒ පොරකාලා ගිහින් ඔවුන් මාධ්‍ය කටයුතු නෙමෙයි කරන්නේ. දේශපාලඥයගේ ගෙදර මිදුල අතුගානවා, බිරිඳගේ රෙදි හෝදනවා, ඇමතිතුමාගේ සපත්තු පොලිෂ් කරනවා, ඒ තත්ත්වයට අද මාධ්‍යවේදියෝ වැටිලා.