නීති අධ්‍යාපනය ඉංග්‍රීසි දන්නා අයට පමණද? – නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

නීති විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීම අනිවාර්ය කිරීම මගින් ආණ්ඩුව රටේ වාර්ගික විවිධත්වයට බරපතල හානියක් සිදු කර ඇති බව නීතිඥයකු පවසයි.

වාර්ගික වෙනස්කම් කිරීම තුරන් කිරීම සදහා වන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය යෙදී තිබු මාර්තු 21 දින  “සිංහල – දෙමළ අධිකරණ භාෂාවලට වෙනස්කම් නොකරන්න” මැයෙන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන අධිකරණ අමාත්‍යාංශ ප්‍රධාන පිවිසුම ඉදිරිපිට අත්පත්‍රිකා බෙදන ආකාරය අගනගරයේ මාධ්‍යවේදීන්ගේ කැමරාකාචයට හසුව තිබේ.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන පෙන්වා දෙන්නේ අධිකරණ අමාත්‍යවරයාගේ මග පෙන්වීම යටතේ 2020.12.30 දින 2208/13 අංකය යටතේ  සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින්  නිකුත් කළ   අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නීති විද්‍යාලයේ උගන්වනු ලබන භාෂා මාධ්‍ය ඉංග්‍රීසී වීම අනිවාර්ය කර ඇති අතර විභාග කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන්  පැවැත්වීමත්  අනිවාර්ය කර තිබෙන බවයි.

” මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමේදී   අදාල සංස්ථාගත නීති අධ්‍යාපන සභාව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  අධිකරණ භාෂාව හෝ නීති පැනවීමේ භාෂාව සම්බන්ධයෙන් ඇති විධිවිධාන දෙක එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23 සහ 24  ව්‍යවස්ථා පිළිබදව  අවබෝධයකින් තොරව  මෙම ගැසට් පත්‍ර දෙක නිකුත් කර තිබෙනවා.”

නීතිඥවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී  ලංකාවේ අධිකරණ භාෂාව ලෙස පිලිගෙන ඇත්තේ  සිංහල සහ දෙමළ යන භාෂා දෙක බවයි.

එම භාෂා දෙකෙන් නීති අධ්‍යයන කටයුතු නොකර ශ්‍රී ලංකා නිතී විද්‍යාලයේ අධ්‍යන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් පමණක්  සිදු කිරීමට සැලැස්වීමෙන්  මහේස්ත්‍රාත්,  දිසා හා මහා අධිකරණ වල අධිකරණ භාෂාවෙන් නඩු කටයුතු කරන්නේ කෙසේදැයි බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් නීතිඥවරයා පෙන්වා දෙයි.

ඔහු මාධ්‍යවේදීන් සමග වැඩි දුරටත් පවසා ඇත්තේ ලෝකයේ දියුණු රටවල් ලෙස සැලකෙන බොහෝ රටවල අධිකරණ කටයුතු සිදු කරනු ලබන්නේ එම රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් බවයි.

නීති අධ්‍යාපනය ලැබිය යුත්තේ ඉංග්‍රීසි භාෂාව දන්නා අය පමණක්දැයි ප්‍රශ්න කරන නීතිඥ අරුණ ලක්සිරි උණවටුන අවධාරණය කරන්නේ මේ හරහා රටේ වාර්ගික විවිධත්වයට බරපතල හානියක් සිදු කරන බවයි.

ඒ සම්බන්ධයෙන් රටේ සියලු ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

නිදහස් අධ්‍යාපනයේ පුරවැසියන්ගේ අධිකරණ භාෂා අයිතිය අහිමි කිරීමේ සංස්ථාගත නීති අධ්‍යාපන සභා සහ අධිකරණ ඇමැති උපාය මාර්ග සහ ශ්‍රී ලංකා අධිකරණ භාෂා නීති විද්‍යාලය පිහිටුවීමට අදාල ජනතාව දැනුවත් කරන නීති අධ්‍යයන පත්‍රිකා ලක්ෂයක් ජනගත කිරීමේ වැඩසටහනේ සමායෝජක ලෙස නීතිඥ අරුණ ලක්සිරි උණවටුන කටයුතු කරයි.

Social Sharing
නවතම