ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව අද : ඉන්දියාව වැට උඩ!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත් කරන ලද යෝජනාව අද එනම් 23 අගහරුවාදා දින ඡන්ද විමසීමට භාජනය කිරීමට නියමිතය. මෙම ඡන්ද විමසීම ඊයේ දිනයට යෙදී තිබුණද මානව හිමිකම් කවුන්සලය විසින් පරිපාලන කරුණු හේතුකොට ගෙන එය අද දිනට යොදන ලද බවට දන්වා තිබුණි.

යුද්ධය අවසන් වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ශ්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත් වන පස්වන යෝජනාව මෙයයි. ප්‍රථම යෝජනාව යුද්ධය අවසන් වීමත් සමග ශ්‍රී ලංකාව විසින්ම ඉදිරිපත් කරන ලද අතර එය ජයග්‍රහණය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. එනමුත් වර්ෂ 2012 හා 2014 දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවන් හිදී ශ්‍රී ලංකාවට අත් වූයේ පරාජයන්. වර්ෂ 2015 දී පැවැති රජය විසින් කවුන්සලයට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාමාර්ගයේ මූලෝපායික වෙනසක් සිදු කරමින් එක්සත් ජනපදය ඇතුළු රාජ්‍යයන් විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත් කරන ලද යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමක් සිදු කරන ලදී. මෙවර යෝජනවේ මාතෘකාව ලෙස දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වූ යෝජනාවක් ලෙසයි. මෙම යෝජනාව කවුන්සලයට ඉදිරිපත් කරන්නේ එක්සත් රාජධානිය, කැනඩාව, මලාවි, මොන්ටිනීග්‍රෝ, ජර්මනිය හා උතුරු මැසඩෝනියාව යන රාජ්‍යයන් එක් වීමෙනි.

චීනය, රුසියාව හා පාකිස්තානය ඇතුළු මුස්ලිම් රටවල් කිහිපයක සහයෝගය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවට මේ වන විටත් තහවුරු කර ඇති බව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශ කර තිබේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ රජයේ ප්‍රතිපත්ති මගින් මුස්ලිම් ජනතාවට සිදු වුනු හිංසනයන් පිළිබඳව ශ්‍රී ලංකාවේ මුස්ලිම් නායකයන් විසින් මුස්ලිම් රාජ්‍යයන් දැනුම්වත් කරමින් පැවති අතර කොවිඩ් වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයන්ට භූමදානයේ අයිතිය ලැබුනේ ජිනීවා යෝජනාවට එම රටවල සහය ලබා ගැනීමේ පියවරක් ලෙස බවයි දේශපාලන විශ්ලේෂයන්ගේ අදහස. මුස්ලිම් ජනයා සම්බන්ධයෙන් රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතු කොට ගෙන මුස්ලිම් රාජ්‍යයන්ගේ සහය නොලැබී යාමේ අවදානමක් පැවැති අතර ඊයේ දිනයේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා මුස්ලිම් රාජ්‍ය නායකයන්ට දුරකතන ඇමතුම් ලබා දුන් බවද වාර්තා වෙයි.

ඉන්දියාව වර්ෂ 2012 දී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවකට ජිනීවා හිදී සහය පළ කල අතර 2014දී ඡන්දය දීමෙන් වැළකී සිටින ලදී. මෙවර ඉන්දීය ස්ථාවරය අපැහැදිලි එකක් වී ඇති අතර තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ විසින් දිගින් දිගටම මෙම යෝජනාවේදී ශ්‍රී ලංකාවට විරුද්ධ වන ලෙස ඉන්දීය රජයට දන්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. විශේෂයෙන් ළග එන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයද ඉන්දීය ස්ථාවරයට බලපෑමක් විමේ වැඩි ඉඩ කඩක් ඇත. කෙසේ වෙතත් අගමැති නරේන්ද්‍ර මෝඩි හා ඉන්දීය රජයේ ස්ථාවරය මෙතෙක් ප්‍රකාශ වී නොමැති අතර ශ්‍රී ලංකා රජය විශ්වාස කරන්නේ ඉන්දියාව මේ මොහෝතේදී මෙම යෝජනාවට පක්ෂ නොවනු ඇති බවයි. ඇතැම් විට පවතින දේශපාලන තත්වය අනුව ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටීමට ඉඩ ඇති අතර ඉන්දියාවට කිසිසේත් ශ්‍රී ලංකාවට පක්ෂ ස්ථාවරයක් ගැනීමට නොහැකි වනු ඇත.

මෙම යෝජනාවට අදාළ ඡන්ද විමසීම කොළඹ වේලාවෙන් ප.ව. 1.30ට සිදු වනු ඇති බවයි වාර්තා වන්නේ.

දුලාන් දසනායක

Social Sharing
නවතම