මඟී බස් කර්මාන්තය පිරිහී නොයාමට නම් …

පොදු ප්‍රවාහනය වර්තමානය වන විට අවිධිමත් ත්ත්වයකට පත්ව ඇත. විශේෂයෙන්ම පළමු හා දෙවැනි කොවිඩ් රැල්ලෙන් මගී බස් රථ කර්මාන්තය බිඳ වැටුණි.

ඒ අතර පෞද්ගලීක මගී බස් කර්මාන්තය සුවිශේෂිය. මෙහිදි කල්බදු ක්‍රමයට බස් රථ මිලදී ත් අය, බැංකු වලින් මුදල් ගත් අය  ආදායම අහිමි වීමෙන් දැඩි ලෙස අපහසුතාවයට පත් විය. එමෙන්ම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ද පත් වුයේ දැඩි ආර්ථික අර්බුදයකටය.

තවමත් රට පුරා විධිමත් ආකාරයෙන් බස් රථ ධාවනය වන්නේ නැත. නමුත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය විසින් බස් රථ ගාස්තු ඉහළ දමා ගනු ලැබුයේ විධිමත් බස් රථ සේවාවක් ලබා දෙන බව පවසමිනි

ඔවුන් කියා සිටියේ ආසන ගණනට මඟීන් ගෙන යාම පාඩු බවත් ඒ් නිසා බස් ගාස්තු ඉහළ දන ලෙසත්ය. ඒ් අනුව බස් ගාස්තු ඉහළ දැමුවද බස් රථ වල ආසන ගණනට නොව ඊටත් වැඩියෙන් මගීන් ගෙන යති.

එමෙන්ම ඇතැම් බස් රථ නියමිත වේලාවද ඉක්මවමින් මඟීන් පටවාගෙන තැන් තැන් වල නවතා තැබීම බොහෝ මඟීන්ගේ අප්‍රසාදයට පත්ව ඇති අතර එම නිසාද මඟීන් බස් රථ වල යාම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් දක්නට ඇත.

මේ අතර සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය විසින් වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත  රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වෙත ලිපියක් යවමින් යහපත් ප්‍රවාහන සේවාවක් සඳහා  යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.

සමස්ත ලංකා බස් මඟීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂ්‍යාන්තගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ බස් රථ ගාස්තු විෂමතාවය, අර්ධ සුඛෝපභෝගී බස් රථ වල වර්තමානය, මාර්ග තදබදය, පෙර ගෙවුම් කාඩ්පත් ආදිය සම්බන්ධයෙන් වන වාසි හා අවාසි පිලිබඳවය.

ඒ සම්බන්ධයෙන් එම ලිපියෙන් වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

බස් රථ ගාස්තු සූත්‍රය

කොරෝනා මුවාවෙන් සිදුකරන අධික බස් ගාස්තුව ඉවත් කිරීම ඇතුළු බස් ගාස්තු විෂමතා ඉවත් කර, නිවැරදි බස් ගාස්තුවක් සකස් කර ගැනීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව මාර්ග සියයක ගාස්තු ඇතුළත් කර පිරිවැය 12ක් පිළිබඳ සලකා බලා සකස් කිරීමට නියමිත නව බස් ගාස්තු ප්‍රතිපත්තිය මේ වනවිට බාලගිරි දෝශයට ලක්ව ඇත.

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව

එසේම මගීන් සුරාකන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමිය යුතුව ඇත.

ප්‍රවාහන බලධාරීන් පසුගිය වසර ගණනාව පුරාම අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට තීරණය කල ද බස් මාෆියාවට යටත්ව එම තීරණය හකුලා ගන්නා ලදි.

කොළඹ සහ තදාසන්න ප්‍රදෙශවල අධික මාර්ග තදබදය

මේ වන විට කොළඹ නගරයේ නාගරික සංචලතාවය පැයට කිලෝමීටර් 12ක් දක්වා අඩුවී ඇති අතර මේ හේතුවෙන් බස්නාහිර පළාතට එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 12%ක් අහිමි වී තිබේ.

මීට තිරසර විසඳුම වන්නේ කඩිනමින් කොළඹ , මහ නුවර ඇතුළු නගර තුල පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම තුලින් වඩා යහපත් ප්‍රවාහන පද්ධතියක් බිහිකර ගැනීමයි.

ඒ වෙනුවෙන් මාර්ග නවීකරණය කිරීම, මාර්ග තදබදය කළමනාකරණය කිරීම, පොදු බස් රථ සේවාව නවීකරණය කිරීම, මාර්ග තදබදය පාලනය කිරීම සදහා ප්‍රවාහන කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීම ආදී කාර්යයන් පිළිබඳව කඩිනම් අවධානයක් යොමු කිරීම.

පෙරගෙවුම් කාඩ්පත් සහ  ඊ-ප‍්‍රවේශපත‍්‍

එසේම වර්ථමාන රජයේ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ පොරොන්දු වී ඇති ඕනෑම බස් රථයක භාවිත කළ හැකි ඊ-ප‍්‍රවේශපත‍්‍ර ක‍්‍රමයක් (E- Ticketing System) හඳුන්වා දීම සහ දැනට ක්‍රියාත්මක පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමවත් කිරීම.

එකාබද්ධ කාලසටහන් ක්‍රමය

ග්‍රාමීය ප්‍රදේශවල බස් රථ ධාවනය ක්‍රමවත් ලෙස ධාවනය කිරීම සහ දුම්රිය සහ බස් රථ ඒකාබද්ධ සේවා සහ බස් රථ ඒකාබද්ධ ධාවන කාලසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම.

දිවයින තුළ සමාජ-ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීම සඳහා ගුණාත්මක, පිරිවැය ඵලදායී සහ ආරක්ෂාකාරී ඒකාබද්ධ ප්‍රවාහන පද්ධතියක් බිහිකර ගැනීම වෙනුවෙන් ඉහත කරුණු පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු වෙතැයි අප අපේක්ෂා කරමු!

-ශානි-

Social Sharing
නවතම පින්තූර ගැලරිය