අද ඇගේ දවසයි!

යම් රටක කාන්තාවකට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා ඇත. ඒ අදට (08) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමිනි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ සෑම මොහොතක්ම කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් වෙන්විය යුතු බව ඔහු විශ්වාස කරන බවය.

විවිධ සමාජ මාධ්‍ය භාවිතා කරමින් කාන්තා ප්‍රතිරූපයට හානි කරන අය හට සහ එවැනි ගැටලු වලින් පීඩාවට පත්ව සිටින කාන්තාවන් සඳහා රජයක් ලෙස කඩිනම් පිළියම් යෙදීමට පියවර ගන්නා බව ආරක්ෂක ලේකම් සහ  රාජ්‍ය ආරක්ෂක හා අපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ලෙක්ම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පවසා තිබුණේ ඊයේ (07) දිනය. ඒ කොළඹදී අභිමන්ලිය ගීතය එළි දක්වන අවස්ථාවේදීය.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය  රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසා තිබුණේද ලංකාව තුළ අපරාධ රැල්ල වැඩි වීමට ප්‍රධාන කරුණු තුනක් බලපාන බවය. විනය හික්මීම රට ගැන හැඟීමක් නොමැති වීම මේ සඳහා බලපාන බව සඳහන් කළ අමාත්‍යවරයා පවසන්නේ මින් ඉදිරියේදී කිසිම කාන්තාවක් බියනොවී තමන්ව බ්ලැක්මේල් කරන්න උත්සහ කරන පුද්ගලයන් පිළිබඳව විස්තර ලබාදෙන ලෙසත් ඔවුන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත්ය.

මොවුන් සියලු දෙනාම පාහේ පවසා ඇත්තේ කාන්තාව ආරක්ෂා කළ යුතු බවය. ඇයගේ අයිතිවාසිකම් රැකිය යුතු බවය. නමුත් වර්තමාන සමාජයේ රැකියා ස්ථානයේදී, පොදු ප්‍රවාහනයේදී, නිවසේදී කාන්තාව නිරන්තරයෙන්ම විවිධ හිංසාවන්ට පත්වන්නේය.

මේ හිංසාවන් කායික මෙන්ම මානසික හිංසාවන්ය.

කිරි පැය අහිමි කිරීම

එක්තරා ජාතික තලයේ පුවත්පතක මාධ්‍යවේදනීයක් දරුවෙක් බිහි කිරීමෙන් පසු ඇයට හිමි කිරි පැය අනුව ඇය වෙනදා සේවය නිමකළ වේලාවට වඩා පැයක් ප්‍රථමයෙන් දිනපතාම කාර්යාලයෙන් බැහැරව ගියාය. මෙය නොරිස්සු පුවත්පත් කතුවරයා ඇයට පවසා තිබුණේ  ඔයාට විතරක් නෙමේ මෙහේ තවත් අයට ළමයි ඉන්නවා. දුවන්න ලෑස්ති වෙන්න එපා කියාය.  නමුත් ඇය යන්නේ ඇයට හිමි කිරි පැය අනුව බව මෙහිදී ඔහු තැකුවේ නැත. මෙයද හිංසනයකි. මෙවන් රැකියා ස්ථාන බොහෝ ඇත.

අජීවී දරු උපතකට හිමි නිවාඩු ලබා නොදීම

මේ අතර තවත් පුවත්පත් ආයතනයක මාධ්‍යවේදනීයක් අඩු මාසෙන් ( මාස 06) දරුවෙකු බිහි කළ අතර එය මළ දරු උපතක් ලෙස සැලකුණි. නමුත් ආයතනය ඇය නොපැමිණි දින කිහිපය නෝපේ යවා වැටුප් කැපීමක්ද සිදු කර තිබුණි. ඇයව සේවයට කැඳවා තිබුනේ දරු ප්‍රසුතියේ වේදනා පහව යාමටත් පෙරය. එහිදි ඇය පත් වුයේ දැඩි අපහසුතාවයකටය. මෙහිදී ආයතනයේ සෙසු මාධ්‍යවේදනීයන් එක්ව මේ බව කම්කරු කාර්යාලයට කියා විමසු අතර එහිදී දැන ගන්නට ලැබුණේ සජීවී දරු උපතකදී මවකට මාස තුනක නිවාඩු හිමි සේම අජීවි දරු උපතකදී මවට මාස 1 1/2 ක වැටුප් සහිත නිවාඩු හිමි බවය.  ඒ අනුව එහි කම්කරු  නීති පොත් ගෙන්වා පුවත්පත් සමාගමේ මානව සම්පත් අංශයට ලබා දීමෙන් පසු එම මාධ්‍යවේදනියටද වැටුප් සහිත මාස එක හමාරක නිවාඩුව හිමි විය. මෙයද කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් විය.

Ladis First කිව්වාට එය නමට පමණකි. පොදු ප්‍රවාහනයට පිරිමින් ගොඩවෙන්නේ කාන්තාවන් තල්ලු කර දමාය. ගැබිණි මවක්, දරුවෙකු වඩාගත් අයෙක් පොදු ප්‍රවාහනයට ගොඩ වූ විට අද අසුනක් ලබා දෙන්නේ එහෙමත් කෙනෙකුය.

ජාත්‍යන්තර කාන්තා දිනයට පමණක් රටේ නායකයින්, මැති ඇමතිවරු, විවිධ සංවිධාන බොහෝ කථා කියයි. සිංදු එළි දක්වයි. නමුත්  ඒ්වා ඒ දිනට පමණක්ය. ඉන්පසු කාන්තාව තනි වේ. ගෘහස්ථ හිංසනයේදී ඇයගේ පිහිටට කිසිවෙකුත් නැත. පොදු ප්‍රවාහනයේදී සිදුවන හිංසනයේදී සියලු දෙනා අහක බලයි.

යම් සිද්ධියක් වු විට කාන්තාව සැමවිටම වැරදිය. පහුගිය දිනක පුවත්පතක පළ කර තිබුණේ වේල්ලවීදියේ තිබු ගැහැණු මළ සිරුර පිලිබඳ විමසා ස්වාමිපුරුෂයන් 200 ක් පොලිසියට ඇමතුම් ලබා දුන් බවය. නමුත් සත්‍ය වුයේ එය නොවේය. ඒ ඇමතුම් 200 ලබා දී තිබුණේ මේ මළ සිරුර සිය දියණියගේද, නැගණියගේද, බිරිඳගේද කියා දෙමාපියන්, සහෝදරයන්, ඥාතීන් විමසමිනි.  එසේ නොමැතිව ස්වාමිපුරුෂයන් පමණක් නොවේය.

මෙවැනි සෘජුව, වක්‍රව කාන්තාවන්ට සිදුවන හිංසනයන් විවිධාකරය. එසේම කාන්තාවක් දිනයකට සීමා කළ නොහැකිය. ඒ් ඇය සතුව පවතින අසීමිත ධෛර්ය/ කැප කිරිම නිසාය.

-ශානි-

Social Sharing
නවතම