ශ්‍රී ලංකාවේ සාමසාධක හමුදා ගැන බලපෑම්!

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව දැඩි දෝෂ දර්ශනයට ලක් කරන එක්සත් ජාතීන්ගේ  වාර්තාවක් නිකුත් වීමත් සමගම සාමසාධනය සඳහා යැවෙන භට පිරිස් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයටම බලපෑම් මතුවී තිබේ.

මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය විසින් ජනවාරි 17 දා ප්‍රසිද්ධියට පත් කෙරුණු අලුත්ම වාර්තාවෙන් නිර්දේශ කර තිබුණු එක් කරුණක් වූයේ සාමසාධනය සඳහා ශ්‍රී ලංකාවෙන් ලබාගන්නා භට පිරිස් සම්බන්ධ සෝදිසි කිරීම් පුනරීක්ෂණයට ලක් කරන ලෙසයි.

හමුදා භට පිරිස්වල පූර්ව පරීක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ආයතනයේ ස්වාධීනත්වය සහ විශ්වසනීයත්වය සහමුලින්ම ඛාදනය වී ඇති බවට අනතුරු අඟවා සිටින එම වාර්තාව නිකුත් වීමත් සමගම සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා ඇත්තේ සාමසාධනය සඳහා ශ්‍රී ලාංකික හමුදා භට පිරිස් යෙදවීම අත් හිටුවන ලෙසය.

“හමුදා යෙදවීමට පෙර යෝග්‍යතා පරීක්ෂාවක් සිදුවී ඇතිදැයි සහතික කිරීමට එ.ජා සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව නීතියෙන් බැඳී සිටී,” යි  සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පවසා තිබේ.

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වරියගේ වාර්තාවෙන් තහවුරු කර ඇති පරිදි  ශ්‍රී ලාංකික භට පිරිස් නිසියාකාරව සෝදිසියට හා පූර්ව පරීක්ෂාවට ලක් කර ඇති බව සහතික කිරීමේ හැකියාවක් දැන් නිව් යෝර්ක් නුවරට නොමැති හෙයින් පූර්ව පරීක්ෂණ ක්‍රියාදාමය ආපසු ජිනීවා නුවරට ගෙන ඒමට වහාම පියවර ගත යුතුය.”

දැනට පවත්වා ගෙන යන වැඩ පිළිවෙල අනුව භට පිරිස් සෝදිසිය සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම විසිනි. මිෂෙල් බැෂලේගේ වාර්තාවේ දැක්වෙන පරිදි මානව හිමිකම් කොමිසම දේශපාලනීකරණය වී ඇති අතර රජයේ හිටපු අමාත්‍යවරයකු සභාපති ලෙස පත් කිරීමෙන් එහි ස්වාධීනත්වයට හානි පමුණුවා තිබේ.

යුද අපරාධ වලට සම්බන්ධ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් චෝදනා එල්ලවී සිටින දෙදෙනකු ශ්‍රී ලංකා යුද හමුදාවේ නායකත්වයට හා ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙසත් පත්කර තිබීම සම්බන්ධයෙන් විශේෂයෙන් කනස්සල්ලට පත්ව සිටින බවත් මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ පවසා තිබුණි. 2019 දී  ශවේන්ද්‍ර සිල්වා පත් කළ අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුම් දී සිටියේ මෙහෙයුම් අනතුරේ හෙලනු ලැබිය හැකි ස්ථාන වල හැර අනිකුත් ස්ථාන වලට ශ්‍රී ලාංකික සාමසාධක භටයන් යෙදවීම අත්හිටුවන බවයි. ශ්‍රී ලාංකික සාමසාධක භටයන්ගෙන් හතරෙන් පංගුවකට තහනම බලපානු ඇති බව පසුව පැහැදිලි කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිශ්චිතවම කියා තිබුනේ ලෙබනනයේ යොදවා සිටි අයවලුන් වෙනුවට වෙනත් රටවලින් භට පිරිස් යොදවනු ඇති බවයි.

“යුද අපරාධකරුවන් ලෙස චෝදනා ලබන්නන්ට උසස් වීම් ප්‍රදානය කිරීම හානිදායක ප්‍රතිපල අත් කර දෙන බව ශ්‍රී ලංකාවේ රජයට පෙන්වා දීම සඳහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා යුක්තිය සම්බන්ධයෙන් මහ ලේකම් වරයා දරණ මූලධාර්මික ස්ථාවරය හා සමග පෙළ ගැසී කටයුතු කරන්නට එක්සත් ජාතීන්ගේ සාමසාධක දෙපාර්තමේන්තුවට කාලය එළැඹී තිබේ, ”  යි යැස්මින් සූකා පවසා තිබේ.

“සාමසාධක රැකියා යනු වරප්‍රසාදයක් මිස අයිතියක් නොවේ. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ අලුත්ම වාර්තාව පැහැදිලිව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දුන් පොරොන්දු ඉටු නොකරන බවයි.”

ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව පෙබරවාරි 22 දා සිට මාර්තු 23 දා ජිනීවා හිදී මුළුදෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 46 වැනි සැසි වාරයේදී විවාදයට ගැනීමට නියමිතය.

එම වාර්තාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කර නැතත්, එක්සත් ජාතීන්ගේ සාම සාධනය සඳහා භට පිරිස් දිගටම ලබාදීමේ අභිලාෂය ශ්‍රී ලංකාව වෙතින් පලවී තිබේ.

SINHALA-3-February-2021-Press-Release-ITJP-Peacekeeping

Social Sharing
නවතම