ලං.වි.ම සේවකයින්ගේ වැටුප් මාෆියාවේ පිටුපස සිටින බලවතා කවුද?

මේ ගෙවෙමින් යන්නේ ජනවාරියේ අග භාගයය. ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා නම් පවසන්නේ ජනවාරිය යනු ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ට කිසිදා අමතක නොවන මාසයක් බවය. ඒ 2015 ජනවාරි 8 වෙනිදා ලංවිම  එවකට සිටි  සාමාන්‍යධිකාරී විසින් අත්තනෝමතිකව අත්සන් කරන ලද නීති විරෝධී E වැටුප තලය අනුව වැටුප රැගෙන විශ්‍රාම යාමත් ඉන්පසු පසුගිය වසර හය පුරාවට සාමාන්‍යධිකාරිවරු 6 දෙනෙකු  හා  අතිරේක සාමාන්‍යාධිකාරීවරු 30 පමණ නීතිවිරෝධී වැටුප් රැගෙන විශ්‍රාම යාමත් නිසා ලංවිම සාමාන්‍ය සේවකයාට සිදු අසාධාරණ ක්‍රියාවලිය හේතුවෙනි.

පාවාදීම්, ද්‍රෝහිකම්, ගැරහුම්, අවලාද යටතේ දෝලනය වෙමින් තිබු මේ වැටුප් තල ප්‍රශ්නය වසර හතකට පසු  2019.04.02 දින ඓතිහාසික ජයග්‍රහණයක් ලංවිම සේවකයන්ට ලබා දීමට පොදු සේවක සංගමයට  හැකි වි ඇත. ඒ අසාධාරණ ලෙස වැඩි කරගත් 1:8 වැටුප් අනුපාතය යළි 1:6 කරවීමටය. නමුත් එකල සිටි කිසිදු බලධාරියෙක් මේ වැටුප් තලය සංශෝධනය කළේ නැත. ඔවුන් අධිකරණ තීන්දුව පැත්තකට දමා පුරුදු පාරේම වැටුප්  තල ක්‍රියාත්මක කළේය.

අපට මේ හදිසියේම ලංවිම  වැටුප් තලය ගැන කථා කිරිමට සිදු වුයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගත් පියවරක් නිසාය. ඒ හොර වැටුප් තලය අනුමත කරමින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරිමය.

මාලක වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ  අධිකරණය විසින්  බල ශූන්‍ය  කරන ලද වැටුපක් අනුමත කිරීමට ජනාධිපතිවරයාට  බලයක් නොමැති බවය. වර්තමාන ජනාධිපතිවරයා එවැනි නීති විරෝධී, සදාචාර විරෝධී කටයුත්තකට අතහිත දෙනු ඇතැයි බලාපොරොත්තු නොවන බවද ඔහු කියා සිටියි.

මේ වනවිට ලංවිම සේවකයින් 26000ට ආසන්න සේවක පිරිසක් ඇත්තේය. ඉංජිනේරුවන් සිටින්නේ 1200 ක් වැනි ප්‍රමාණයකි. වෘත්තිය සමිති 48 ක් ඇත.

ආරම්භය

2014 දී   එවකට ලංකා විදුලි බල මණ්ඩලයේ උප සභාපතිවරයාව සිටියේ  මහාචාර්ය ඉංජිනේරු කපිල පෙරේරාය. ( මොහු මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාය.) 2014 නොවැම්බර් 27 වැනි දින ඔහු ලංවිමට අපූරු වැටුප් ක්‍රමයක් සැකසුවේය. ඒ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට පමණක් සියයට 130කින් වැටප් ඉහල යන පරිදිය. මෙය E ස්කේල් නම් විය. මෙහිදී ඉංජිනේරුවන්ගෙන් මිස අනෙකුත් ලංවිම සේවකයින්ගේ අදහස් හෝ යෝජනා මොහු ලබා ගෙන නැත. ඒ නිසා මෙය හොර පාරෙන් ගිය වැටුප් තලයක් බව ලංවිම සේවකයින් පෙන්වා දෙයි.

ඉංජිනේරු සේවා, ගණකාධිකරණ සේවා, තොරතුරු තාක්ෂණික සේවා යන අංශ සඳහා ද වැටුප් පරිමාණ ක‍්‍රියාවට නගන ලෙස තීරණය කර තිබියදී අනෙක් නිලධාරී කණ්ඩායම් සදහා කිසිදු සැලකිල්ලක් නොදක්වා ඉංජිනේරු සේවාවට පමණක් විශේෂිත වැටුප් ක‍්‍රමයක් හඳුන්වාදුන්නේ මොහුය.

එවකට ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එක් දිනක් තුළ මෙම වැටුප් ක‍්‍රමය සකසා දෙන ලෙස ඉල්ලූ නිසා මහාචාර්ය කපිල පෙරේරා විසින් මේ ආකාරයට අවිධිමත් වැටුප් ක‍්‍රමයක් සකසා ඇත. ඔහු මේ වැටුප් වැඩිකිරීම ක‍්‍රියාත්මක කළේ විද්‍යුත් තැපැලෙනි. මෙය ක්‍රියාත්මක වන්නේ 2015 ජනවාරි 08 දා සිටය.

අධික වැටුප් වැඩිකිරීම හරහා ලංවිමට දරන්නට සිදුවු අමතර වැය බර වසරකට මිලියන 1000කට ආසන්නය. ඒ අනුව පසුගිය වසර 5 තුළදී ඉංජිනේරුවන්ට පමණක් ගෙවා ඇති අසාධාරණ වැටුප් වැඩිවීමෙහි වැයබර රුපියල් බිලියන 5ක් හෙවත් කෝටි 500කට අධිකය. අලුතෙන් පත් වන සාමානාධිකාරිවරු වැඩි කාලයක් සිටින්නේ නැත. අවම වශයෙන් මාස 03 කි. ඔවුන් ලංවිම යන්නේ අධික විශ්‍රාම වැටුප්  ලබමිනි.

අධිකරණ පිහිට පතයි.

මේ අතර මෙම අත්තනෝමතික වැටුප් වැඩි කිරිමට එරෙහිව ලංකා විදුලි පොදු සේවක සංගමය අධිකරණයේ නඩුවක් ගොනු කළේය. සත් වසරකට පසු ඔවුන්ට සී ඒ්/රිට්/193/2015 දරන නඩුවේ තීන්දුව ලැබුණි.

2019 අප්‍රෙල්  මස 2 වැනි දාය. අභියාචනාධිකරණය සිය තීන්දුවෙන් කියා තිබුණේ ඉංජිනේරුවන්ට පමණක් සුවිශේෂිත වු වැටුප් වැඩිකිරීම මුලූමනින්ම හිස් සහ බලරහිත බවයි. ඒ අනුව 2015 දී ඉංජිනේරුවන්ට පමණක් ලබාදුන් 130% වැටුප් වැඩවීම පමණක් නොව අනතුරුව ලබා දුන් වැටුප් වැඩිවීම්ද බලරහිත වන්නේය.

නමුත් අධිකරණ තීන්දුව එවකට සිටි බලධාරින් අහක දැමුවේය.  ඔවුන් පුරුදු පාරේම ගියෝය. මේ අතර අභියාචනාධිකරණය විසින් අදාළ වැටුප් ක‍්‍රමය ශුන්‍ය බවට ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව 2019 ජුනි මස 14 වැනි දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් මගින් අනුමැතිය ඉල්ලා තිබුණේ අදාල අධිකරණ තීන්දුව දීමට පෙර මාසයේ පැවති වැටුප් ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමටය. ඒ  එවකට විදුලිබල අමාත්‍ය රවි කරුණානායක විසින් ඒ ආකාරයට අධිකරණ නියෝගය පැහැර හැරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලූවේය. අධිකරණ තීන්දුව ලැබුණේ  2019 අප්‍රේල්  2 වැනි දිනය.

මාර්තු මාසයේ පැවති වැටුප වූයේ ද අධිකරණය විසින් බලරහිත කරන ලද වැටුප් ක‍්‍රමයයි. අධිකරණ නියෝගයෙන් පසුව අමාත්‍ය රවි කරුණානායක විසින් නැවත බලාත්මක කළේද අධිකරණය විසින් බලරහිත කරන ලද තීන්දුවය.

එම කැබිනට් තීරණයෙන් පසුව 2019 අගෝස්තු මස 16 වැනි දින විදුලිබල අමාත්‍යංශයේ ලේකම් විසින් ලංවිම වැටුප් විෂමතා පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා විශ‍්‍රාමලත් ශේෂ්ඨාධිකරණ විනිශ්චයකාර රෝහිණි මාරසිංහගේ සභාපතිත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කරන ලදී. එම කමිටුව විසින් 2019 නොවැම්බර් මාසයේදී සිය නිර්දේශ ඉදිරිපත් කළද ඒවා ක‍්‍රියාත්මක කිරීම පැහැර හැරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ක‍්‍රියා කළේ ලංවිම සාමාත්‍ය සේවකයින් තවත් අසරණ කරමිනි.

ලංවිම ඉංජිනේරු මාෆියාවේ උවමනාව පරිදි  විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම  විසින් පසුගිය වසරේදී තවත් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළේ තහනම් වී ඇති ඉංජිනේරු වැටුප් ක‍්‍රමය සදහා ඇමති මණ්ඩලයද නොමග යවා අනුමැතිය ලබාගැනීම සදහාය. නමුත් ඇමතිවරයාගේ කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය නොලැබුණු අතර, ඒ වෙනුවට එම නිර්දේශ පිළිබද සොයා බැලීම සදහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කරන ලදී. ඒ කමිටුවේ සාමාජිකයින් වුයේ නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල හා පවිත‍්‍රා වන්නිආරච්චි ඇතුළු පිරිසකි.

එම උප කමිටුවේ නිර්දේශය පසුගියදා එළිදැක්විණි. ඔවුන්ගේ නිගමනය වුයේද ඊ පරිමාණ නම් විශේෂ ඉංජිනේරු වැටුප් ක‍්‍රමය නිසි ක‍්‍රමයට සකසා නොමැති බවයි. අධිකරණය මගින් බලරහිත කරන ලද වැටුප් ක‍්‍රමයක් සම්බන්ධයෙන් තවත් නිගමන ගණනාවක් ඉදිරිපත් වී ඇත.

ජනාධිපතිවරයාගේ මැදිහත් වීම

ලංවිම වත්මන් එක්තරා විධායක ශ්‍රේණියේ පුද්ගලයෙකු ජනාධිපතිවරයාගේ හිතවතෙක් වන බව පැවසේ. ඔහු ලංවිම ඉංජිනේරු සංගමය හා පාලනාධිකාරිය සමඟින් ජනාධිපතිවරයා හමුවී අත්තනෝමතික වැටුප් තලය අනුමත කරන ලෙසට ඉල්ලීම කර ඇති බවට තොරතුරු ලැබී ඇත.

ලංවිම ඉංජිනේරු වැටුප් තලය ශුන්‍ය හා බල රහිත කල අධිකරණය පවසා ඇත්තේ  නිසි ක්‍රමවේදය අනුව ගොස් වැටුප් තල සකස් කර ගැනීම පිළිබඳ අධිකරණයේ විරෝධයක් නොමැති බවය.  ඒ අනුව ලංවිම ඉංජිනේරු සංගමය හා පාලනාධිකාරිය පසුගිය වසර දෙක පුරාවට කැබිනට් මණ්ඩල දෙකක් හරහා එම අධිකරණමතය අවභාවිතා කරමින් තම පටු අරමුනු ඉටු කරගැනීමට උත්සහ කලත් නීති හමුවේ එය අසාර්ථක වූ බවද මන්ද නිසි ක්‍රමවේදය යනු වෘත්තීය සමිතිවල බහුතර  එකගතාවය ඇතුව අදාල අයතනවල අවසර ලබා ගැනීම බවද ලංකා විදුලි පොදු සේවක සංගමය පෙන්වා දෙයි.

අවසානයේ දී නීතිපති උපදෙස් , මාරසිංහ කමිටු වාර්තාව ,කැබිනට් අනුකාරක සභාව යන සෑම තැනකදී එම අධිකරණ තීන්දුව බලවත් බව පමණක් තහවුරු වු බවත්  වර්තමාන ජනාධිපතිවරයා යටතේ පත්කල  කැබිනට් අනුකාරක සභාව ලංවිම E වැටුප් තලය නීති විරෝධී බව සෘජුව ප්‍රකාශ කර තිබියදී  එලෙස තමා යටතේ පත්කල කැබිනට් අනුකාරක සභාව ගත් තීරණයක් හෑල්ලුවට ලක් කිරීමට ජනාධිපතවරයා කටයුතු කරයි ද …? යන්න එම සංගමයේ සභාපතිවරයා ප්‍රශ්න කර සිටියි.

ඔහු  පවසා සිටින්නේ ඉදිරියේදී ලංවිම සේවකයින්ගේ අයිතිවාසිකම් රැක ගැනීමට 50% කට වැඩි ලංවිම සාමාජිකත්වයක අවශ්‍යතාවය දැන් පැහැදිලිව පැන නැගී ඇති බවය.

එසේ නොවුනහොත් වැටුප් මාෆියාව ජයගනු ඇත.

Social Sharing
නවතම