සිය මව්බිමට පැමිණෙන රට විරුවා ගසා කෑම!

COVID 19 වසංගතය ලාංකික සංක්‍රමණික ප්‍රජාවට අභියෝග රැසක් එල්ල කර මින් සිටියි. මෙරටට විදේශ නිවිමය උපයා දුන්  මේ රට විරුවන් අද සිය මව්බිමට පැමිණෙමින් සිටින්නේ ඒ අභියෝග මැදය.

විදේශයන්හී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම

COVID 19 සෞඛ්‍ය අර්බුදය තුළ රජය විසින්  සංක්‍රමණික කම්කරුවන් සඳහා වූ ජාතික COVID 19 ප්‍රතිචාර සැලැස්ම සකස් කොට අනුමත කරන ලද්දේ ඒ අනුවය. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන්නේ රජයේ ආයතන හරහා සහ සංවර්ධන හවුල්කරුවන් සහ රාජ්‍ය නොවන පාර්ශවකරුවන් සමඟ හවුල්කාරිත්වයෙනි. මෙම සංක්‍රමණික සේවකයින්ගේ ක්ෂණික අවශ්‍යතා, නැවත මෙරටට ගෙන්වා ගැනීම, තිරසාරව නැවත සමාජගත කිරීම සහ නිපුණතා ලබා දීම ඒ අතර වේ.

COVID-19 හේතුවෙන් ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 20,000 කට අධික සංඛ්‍යාවක් නිරාවරණය වී ඇති අතර දැනට පවතින අභියෝග මධ්‍යයේ වුවද 20,000 කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රජය විසින් නැවත මෙරටට ගෙන්වා ගෙන ඇතැයි පහුගියදා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණි.

වසංගතය හේතුවෙන් කාන්තා සංක්‍රමණික සේවිකාවන්ට විවිධාකාරයේ වෙනස්කොට සැලකීම්, රැකියා අහිමිවීම් සහ විනමය ගැටළු, රැකියා අනාරක්ෂිතභාවයන් සහ රැකියා භීතිකාවන් සමඟ පොරබදමින් සිටින බවත් මෙම අර්බුදය ස්ත්‍රී සංක්‍රමණිකයින්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට (GBV) ගොදුරු වීමේ අවදානම බෙහෙවින් උග්‍ර කර තිබෙන බවද ඔහු පෙන්වා දී තිබුණි.

වර්තමාන සෞඛ්‍ය අර්බුදය හමුවේ විරැකියාව, ආර්ථික පසුබෑම සහ සීමිත සංචලතාව හේතුවෙන් මිනිස් ජාවාරම සහ අවදානම් සහිත සංක්‍රමණික ගමන් වැඩි වනු ඇති බවත්  ආරක්ෂිත හා විධිමත් සංක්‍රමණය ප්‍රවර්ධනය කිරීම, මිනිස් ජාවාරමේ අවදානම අවම කිරීම සහ සියලු සංක්‍රමණික සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වැදගත් බව අවධාරණය කර සිටින අමාත්‍යවරයා සමස්ත සංක්‍රමණ චක්‍රයේ ඇති අවස්ථාවන් සහ අභියෝගයන්ට මුහුණ දීම, සියලු සංක්‍රමණිකයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දීම මෙන්ම තිරසාර සංවර්ධනය, මූල හේතු සහ රියදුරන් ද ඒ හා සමානව ආමන්ත්‍රණය කිරීම ද වැදගත් බව පෙන්වා දි තිබුණි.

ආණ්ඩුව කියන මිලට වෙළඳපොලේ බඩු නැහැ

මෙවන් අභියෝගතා මැද මෙරටට පැමිණෙන ලාංකිකයින් නිරෝධායනය සදහා යොමු කිරීමේ දී, තරු පන්තියේ හෝටලයක තනි කාමරයක් සදහා අය කරන මිල රුපියල් 7500 ලෙස පවසා තිබුණ ද, ඒ සදහා රුපියල් 12,500 ක් අය කරන බව පහුගියදා සමාජ මාධ්‍ය වල පළ කර තිබුණි.

ඔවුන් එරට සිට මෙරටට පැමිණිමේ ගුවන් සේවය වෙනුවෙන්, ගුවන්තොටුපලේදි සිදු කරන PCR පරීක්ෂාව වෙනුවෙන්, ගුවන්තොටුපලේ සිට නිරෝධායනයට රැගෙන යන වාහනය වෙනුවෙන්, නිරෝධානයන මධයස්ථානය වෙනුවෙන් මුදල් වියදම් කළ යුතුව ඇත.

මේ බව මියන්මාරයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන ආචාර්ය නලින්ද සිල්වා මහතා අරුණ පුවත්පතට පහුගිය දිනෙක  හෙළි කර තිබුණේය.

ඔහු පවසන ආකාරයට, පසුගිය දා මියන්මාරයේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති පිරිසක් හෝටල් නිරෝධායනයට යොමු කර ඇති අතර, ඔවුන්ගෙන්, තනි කාමරයක් සදහා දිනකට රුපියල් 12,500 ක් අයකරගෙන තිබේ.

ඕමානයේ සෙල්ලම

මේ අතර ඕමානයේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව අතරමංවී සිටි ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට දෙසැම්බර්  11වැනිදා එහි සිට ශ්‍රී ලංකාවට ඒමට යොදා ඇති ශ්‍රී ලංකන් ගුවන් යානයට හා නිරෝධායනය වෙනුවෙන් ඉතාමත් අසාධාරණ මුදලක් අය කිරීම නිසා ඔවුන් තවත් අසරණ වු පුවතක් වාර්තා විය.

මෙම චාටර්ඩ් ගුවන් ටිකට්පත රියාල් 125 ක් ඇතුලුව PCR හා නිරෝධායනය වෙනුවෙන් එක් අයකු රියාල් 450 ක් ගෙවිය යුතු බව ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය මගින් එහි ලියාපදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයන්ට දන්වා ඇත. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙලක්ෂ තිස් පන්දහසක් පමණ වේ.

එහි තානාපති කාර්‍යාලයේ ලියාපදිoචිව සිටින බොහෝ දෙනා ගෘහ සේවයේ, රියදුරු සේවයේ යෙදුනු අය වෙති. ඔවුන් සාමාන්‍යයෙන් මසකට රියාල් 125 ක් (රුපියල් 60,000/=) පමණ වේතනයක් ගන්නා අය වන අතර මෙලෙස අය කරන්නේ ඔවුන් එහි ලැබූ මාසික වේතනය මෙන් හතර ගුණයකි.

මේ වන විටත් රැකියා නොමැතිව මාස ගණනක් මුළුල්ලේ එහි රැඳී සිටින මොවුන් අත ඇත්තේ යම්තම් ගුවන් ප්‍රවේශ පත්‍රය සඳහා සාමාන්‍යයෙන් අය කරනු ලබන මුදල පමණි. කොවිඩ් තත්ත්වයට පෙර ඕමානයේ සිට එක් අන්තයකට පමණක් සීමා වූ ගුවන් ප්‍රවේශපත්‍රයක මිල සාමාන්‍යයෙන් පැවැතියේ රියාල් 45ත් 50ත් අතරය. ශ්‍රී ලංකා මුදලින් සාමාන්‍යයෙන් රුපියල් 25,000කට ආසන්න මිලකටය.

තානාපති කාර්‍යාලයේ නිලධාරින්ද මොවුන්ට අමතනුයේ ඉතාමත් අමානුෂික අන්දමින් බවද පැවසේ. මෙම මුදල නොගෙවන්නේ නම් තමන්ට කිසිවක් කළ නොහැකි බවත්, ගුවන් ගමනට එක් කරන්නේ මෙම රියාල් 450 නොමැති නම් මාස ගණනකට පසු සංවිධානය කළ මෙම ගුවන් ගමනට එක් කළ නොහැකි බවත් තානාපති කාර්‍යාලයෙන් මොවුන්ට දන්වා තිබේ. සෞඛ්‍ය නීති ලිහිල් කර තිබියදීත් දින 15 ක නිරෝධායනයක් සඳහා හෝටලයකට දිනකට රුපියල් 7,500/= සිට 12,500/= දක්වා ගෙවීමට සිදුවීම හෙණ ගහන අපරාධයක් බව මෙම ඕමානයේ සිරව සිටින ශ්‍රී ලාංකිකයෝ පවසති.

පාර්ලිමේන්තුවේ දී හෙළිවූ හෝටල් නිරෝධායනය!

ශ්‍රී ලංකා හෝටල් සංගමයය (THASL) අනුව මධ්‍යම හා ඉහල ප්‍රමාණයේ හෝටල් 240ක් ඇති බවත්, එහෙත් නිරෝධායන කටයුතු කිරීම සඳහා අවසරදී ඇත්තේ ඉන් හෝටල් 32කට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී කියා තිබුණි.. ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ හෝටල් කර්මාන්තයට සෘජු හා වක්‍රාකාරයෙන් සම්බන්ධ රැකියාවල යෙදෙන්නන් මිලියනයක් පමණ ඇති බවයි.

කෙසේවුවද, හෝටල් ආරම්භ නොකිරීම නිසා එහි සේවයේ යෙදෙන සේවකයන්ට රජය සමඟ හෝටල් ආයෝජකයන් ඇතිකරගෙන ඇති ගිවිසුමට අනුව එක් සේවකයකුට මාසික වැටුප ලෙස ලැබෙන්නේ රුපියල් 14,500ක් බවද ඔහු හෙළි කළේය. එසේම, ඇතැම් හෝටල් ආයෝජකයන්ට මාස 9ක පමණ කාලයක සිට මෙසේ වැටුප් ගෙවීම නිසා ඔවුට ඉදිරියට එම සේවක වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයත් මතුව ඇති බවද පෙන්වා දුන්නේය.

නව මාර්ගෝපදේශක මාලාව

විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් ගේ නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරුණු 06 කින් යුත් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ලැබුයේ මේ අතරය. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන විසිනි. එහි සඳහන් ආකාරයට විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් අනිවාර්යෙන් දින 14ක නිරෝධායන ක්‍රියාවලියේ පසුවිය යුතුය.

ලබාදී ඇති කරුණු 06 කින් යුත් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපදින පුද්ගලයින්ට යලිත් සිය නිවසේ දින 14ක කාලයක් නිරෝධායනය වීමේ අවස්ථාවෙන් මුදා හැරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.

විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් විසින් අනුගමනය කළ යුතු කරුණු 06ක් ඇතුලත් මාර්ගෝපදේශ මාලාව නම්

  1. මෙරටට ඇතුල්වීමෙන් පසු පළමු දිනයේ දී මූලික PCR පරීක්ෂණයකට භාජනය විය යුතුය.
  2. රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දින 14 ක නිරෝධායන කාල සීමාවක් තුළ තනි කාමරයක හෝ ද්විත්ව හවුල් පහසුකමක (පුද්ගලයින් සංඛ්‍යාව උපරිම වශයෙන් 2 කට හෝ එක් පවුලක සාමාජිකයින්ට සීමා කළ යුතුය) ලක්විය යුතුය.
  3. මෙම කාමරයට වෙනම සනීපාරක්ෂක පහසුකම් තිබිය යුතු අතර නිරෝධායනය වෙන සෙසු පුද්ගලයින් සමඟ හවුලේ භාවිතා කිරීම නොකල යුතුය.
  4. නිරෝධායන කාල සීමාවේදී කිසිදු අයුරකින් නිරෝධායනය වීමට පැමිණ සිටින අනෙක් පුද්ගලයින් සමග මිශ්‍ර නොවීමට වගබලා ගත යුතුය.
  5. නිරෝධායන කාල සිමාවේ දින 12-14 අතර කාලයේදී සිදුකරනු ලබන PCR පරීක්ෂණයට භාජනය වීම අනිවාර්ය වන අතර එහි ප්‍රථිපල සෘනාත්මක විය යුතුය.
  6. දින 14 නිරෝධායන කාලය අවසානයේදී, මධ්‍යස්ථානයේ භාර නිලධාරියා සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් අදාළ පුද්ගලයාගේ නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳව සෑහීමකට පත්විය යුතුය යන්නයි.

සංචාරක ඇමතිගේ ප්‍රකාශය

කෙසේ නමුදු  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටින්නේ විදේශයන්හි සිට එන ලාංකිකයෝ  මුදල් ගෙවා  හෝටල් වල නිරෝධානය වන්න කැමති බවය.  එහෙම බැරි අයට හමුදාව යටතේ යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන ඇතැයිද ඒ මධ්‍යස්ථාන වලද වල 10,000කටත් අධික පිරිසක් ඉන්න බවත් ඔහු සඳහන් කර සිටියි.

ඒ අනුව දවසකට පාලනය කරන්න පුළුවන් ප්‍රමාණය ගේන්න කියා දැනුම් දී ඇති බවත් තවත් තිස්දහසක් විතර එන්න බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔහු මත්තලදී ප්‍රකාශ කර තිබුණි.

රජයේ මැති අමතිවරු කුමන කථා කීවත් රජයට සිහිපත් කර දීමට කරුණක් ඇත. එනම් ඔවුන්ගේ විදේශ දුත මණ්ඩල, විදේශ නියෝජිතයෝ මෙරටට පැමිණ නිරෝධායනව වන්නේ නැති බවය. ඒ බව ඇසු විට වරක් සෞඛ්‍ය අමාත්‍යවරිය ද පවසා තිබුණේ ඇමරිකාව අපට වඩා බලවත් බැවින් ඔවුන්ට ඒ බව පැවසිය නොහැකි බවය.

ඊට පසුවද ඕනෑ තරම් විදේශ නියෝජිතයින් මෙරටට පැමිණියද අපේ රට විරුවාට දාන නීති, කොන්දේසි ඔවුන්ට අයත් වුයේ නැත. ඒ ඇතැම් විට රට විරුවා බලවතෙක් නොවු නිසා විය හැකිය. එමෙන්ම ලංකාවේ කඩා වැටුණ ආර්ථිකයට මොවුන් විදේශයේ සිට ගෙනෙන මුදල් රජය ලබා ගන්නේ මේ රට විරුවාටත් හොරෙනි. මේ අසාධාරණ මුදල් අය කිරීම එහි කොටසක් බව දැන් දැන් රට විරුවාටද වැටහෙන්නට පටන් ගෙන ඇත.

Social Sharing
නවතම විශේෂාංග