නව සාමාන්‍ය තත්ත්වය තුළ මානව ජීවිතය කෙබඳුද?

දිනේෂා කංකානම්ගේ

සහාය කතිකාචාර්‍ය සමාජ විද්‍යා අධ්‍යායන අංශය, රුහුණු විශ්ව විද්‍යාලය

“සමාජ දුරස්ථභාවය”

අපට මේ තමයි නිරන්තරයෙන් මාධ්‍ය හරහා ඇහුන වචනය. නමුත් අපි දන්නවා මෙතන යම්කිසි නොගැලපීමක් තියෙනවා. මොකද සමාජ දුරස්ථභාවය තබාගැනීම සහ කායික දුරස්ථභාවය තබාගැනීම කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කාරණාවන් දෙකක්. රට වසා දැමීමේ කාල සීමාව තුළ මාස දෙකක් තුනක් ගෙදරටම කොටුවෙලා හිඳීම තුළ කොහොමද මේ මිනිසුන්ගේ මානව සම්බන්ධතාවයන් වලට මේක බලපාන්නෙ කියලා අධ්‍යනය කිරීම මගේ මූලික කාර්‍ය වුණා.

අපි දන්නවා පුද්ගලයා පවුල තුළ පමණක් මානව සම්බන්දතා පැවැත්වීමට සීමා වන කෙනෙක් නෙමෙයි. නිරන්තරයෙන් පවුලෙන් පරිබාහිරව සම්බන්ධතා එක්ක ගැටෙන කෙනෙක්. අපි දන්නවා විවිධ සමාජ ආයතනය එක්ක ගනුදෙනු කරන කෙනෙක්. පවුලත් එක්ක තියෙන සමාජ සම්බන්ධතා වලට එහා ගිය, ඒකෙන් අදහස් කරන්නේ අධ්‍යාපනික, සමාජ සම්බන්ධතා, ආර්ථික, දේශපාලනික සම්බන්ධතා වලට යොමුවෙනවා. මේ කාරණා පිළිබඳ සොයා බලන කොට ඉතාමත් වැදගත් කාරණා කිහිපයක් හොයාගන්නට ලැබෙනවා.

ඒ මොනාද කියලා පැහැදිලි කළොත් කොවිඩ් 19 කාලසීමාව කියන්නේ මිනිසුන් මානසික අවපීඩනයකට පත් කරපු කාලයක්. ඊට හේතුව ඔවුන්ට ඉතාමත් හොඳ මානව සම්බන්ධතා, පවුලත් සමඟ හොඳ සම්බන්ධතා තිබුනා වුවත්, ඒ සඳහා කාලය ඉඩ ප්‍රස්ථාව තිබුනා වුනත්, ඔවුන් සෑහෙන්න මානසික ව්‍යාකූලතාවයන් ට පත්වෙලා තිබුණා, එයින් පරිබාහිර සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමට නොහැකි වීම තුළින්. ඒ ගැන තව ටිකක් පැහැදිලි කළොත් work from home කියන න්‍යාය ගම්මු, ඒක හැම කෙනාටම එක විදියට අනුගමනය කරන්න පහසුවක් වුණේ නැහැ. අපි හැමෝටම ඒ ගැන අත්දැකීම් තියෙනවා. කාර්යාලට යනවා නම් උදේ 8ට පටන්ගෙන හවස පහෙන් ඉවරයි.

නමුත් මේ කොවිඩ් 19 තත්ත්වය තුළ උදේ 8ට පටන් ගන්න සේවා කාලය රෑ 8.30 නමය වගේ යනවා. සමහර දවස්වලට අවසන් වෙන වෙලාවක් නැහැ. එතකොට මේ work-life balance කියන එක නිරන්තරයෙන් පර්යේෂකයන්ගේ සාකච්ඡාවට බඳුන් වෙන කාරණාවක්. නමුත් මේ කොවිඩ් 19 තත්ත්වය තුළ එය උඩු යටිකුරු වුණා. මිනිස්සුන්ට තමන්ගේ දෛනික පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න නොහැකි වුණා.

මේ අධ්‍යයන හරහා එළිවුණ ඉතාමත් වැදගත් කාරණාවක් තමයි, මානව සම්බන්ධතා විෂයෙහි අම්මා තාත්තා සහෝදර සහෝදරියන් බිරිඳ සැමියා අතර ඉතාම සමීප සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා වගේම, පෙර නොවූ විරූ විදියට සැකය, අවිස්වාසය, එහෙමත් නැතිනම් එපා වීමේ තත්ත්වයන් දක්නට ලැබීම. පුද්ගලයන් අතර වෙනදා නොතිබුණු ආකාරයේ පරස්පර විරෝධී අදහස්, එපාවීම, අඬදබර දක්නට ලැබුණා.

ඒත් එක්කම මේ මානව සම්බන්ධතා විෂය තුල පුද්ගලයන් දක්වන නැමියාවන් කොහොමද කියලා පැහැදිලි කළොත් අධ්‍යයනය හරහා ඉතාමත් වැදගත් කාරණාවක් හොයාගන්න පුළුවන් වෙනවා. මේ මානව සම්බන්ධතා පැවැත්වීමේදී, පවුලෙන් පරිබාහිරව සමාජ මානව සම්බන්ධතා පැවැත්වීමේදී කාන්තා පාර්ශ්වයට වඩා පිරිමි පාර්ශවය ඉතාමත් උනන්දුවක් දක්වනවා.

ජංගම දුරකථනය හරහා, ඊමේල් හරහා, විවිධ සමාජ මාධ්‍ය හරහා කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි අය ඒ සමාජ සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරගන්න උත්සාහ කරනවා. එතැනදි වෙනදා සමාජ මාධ්‍ය තුළ හැසිරීම දිනකට පැය එකක් හෝ දෙකක් වූ කාල පරාසය මේ කොවිඩ් 19 තත්ත්වය තුළ දිනකට පැය අටේ සිට පැය දහය දක්වා ඉතා විශාල වෙනස් වීමකට බඳුන් වෙලා තියෙනවා. ඒක විශාල වර්ධනයක්.

පුද්ගලයන්ට ලැබුණු කාල සීමාව තුළ පවුලේ සාමාජිකයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන්න අවස්ථාව ඉඩකඩ කාල වේලාව ඕනෑ තරම් තිබුණා වුණත්, මේ අධ්‍යයනයේ දී හෙළි වෙනවා මේ පුද්ගලයන් සමාජ සම්බන්ධතා පවත්වන්නේ මේ කියන සමාජ මාධ්‍ය හරහා. ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, ට්විටර්, මේවාට කැප කරන වේලාව ඉතාමත් අසීමිතයි. ගෙදර ඉඳන් වැඩ කරන කෙනෙක් නම් ඒ කෙනා දිනකට පැය දහයකට ආසන්න කාලයක් සේවා ආයතනය වැඩ වලට යොමුවෙලා ඉන්නවා වගේම සමාජ මාධ්‍ය කෙරෙහි යොමුවෙලා ඉන්නවා.

මේ කාරණාත් සමග අපට අවසානයේ ලැබුන නිගමනය තමයි මිනිසුන් කිසිම වෙලාවක පවුල මූලික සමාජ සම්බන්ධතා වලින් තෘප්තිමත් වෙන්නේ නැහැ. මිනිසුන් නිරන්තරයෙන්ම පෙළඹෙන්න උත්සහ කරනවා පවුලෙන් පරිබාහිර සමාජ සම්බන්ධතා වලට. මේ කොවිඩ් තත්ත්වය අස්සේත් මිනිස්සු උත්සාහ කළේ මේ තත්ත්වය පවත්වාගෙන යන්න. එහෙම බැරිවුණාම ඔවුන් විශාල වශයෙන් මානසික වියාකූලතාවන්වලට ලක්වුණා.

ලෝකය පුරා විවිධ විද්වතුන් සමාජ විද්‍යාත්මක පර්යේෂණ වල නියැළෙනවා මේ දිනවල මේ කොවිඩ් 19යේ සමාජ බලපෑම මොන වගේද කියලා සොයා බලන්න. එතකොට මේ මානව සම්බන්ධතා විෂයෙහි ඇති කරන සමාජ බලපෑම් පිළිබඳ විවිධ පර්යේෂණ ලිපි පළ වෙලා තියෙනවා. ඒවා කියවලා බලද්දි මම තේරුම් ගත්තු දෙයක් තමයි යුරෝපීය රටවල විශාල අර්බූදයක් වෙතට මේ මානව සම්බන්ධතා ගමන් කරනවා කියන දේ.

ඉන්දියාවෙත් වර්තමාන කොවිඩ් තත්ත්වය අස්සේ මානව සම්බන්ධතාවල දරුණු කඩාවැටීමක් තමයි දක්නට ලැබෙන්නේ. ලංකාවේ නාගරික ජීවිතය මොන වගේ තත්ත්වයකට පත් වෙලා තියෙනවද කියලා මමත් බැලුවා. මම තෝරා ගත්තේ මගේ ප්‍රදේශය දකුණු පළාත වෙන නිසා ගාල්ල, මාතර, හම්බන්තොට යන ප්‍රධාන නාගරික ප්‍රදේශ. එයින් නාගරික පවුල් විස්සක් තමයි පහසුතා අධ්‍යයනය යටතේ මගේ නියැදිය ලෙසට මම තෝරා ගත්තේ. මේකෙ අරමුණ වෙන්නේ මේ හුදකලා නීතිය ක්‍රියාත්මක වෙන කාලයේ මාස දෙක තුනක් අතර මේ මානව සම්බන්ධතා, අන්තර් මානව සම්බන්ධතා පැවැත්වීමේදී මේ නාගරික ප්‍රජාව මුහුණ දීපු ගැටළු හොයන එකයි.

නගරය කියන්න ඉතාමත් සුවිශේෂී කලාපයක්. ගමට සාපේක්ෂව, ග්‍රාමීය සමාජ ජීවිතයට සාපේක්ෂව නාගරික සමාජ ජීවිතය තුළ පුද්ගලයන් විවිධාකාර ගැටලුවලට මුහුණ දෙනවා. හුදකලා කාල සීමාව තුළ ගමේදී නම් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණත් අපිට පුළුවන් ටිකක් එළියට යන්න, මිනිසුන් එක්ක සම්බන්ධතා පවත්වන්න, කතාබහ කරන්න. නමුත් නාගරික ජීවිතේ තුළ මිනිස්සුන්ට ඒ හැකියාව නැහැ.

මේ අධ්‍යයනයේ දී මේ පවුල් විස්සෙන් තුන්දෙනෙක් මට හමු වෙනවා මේ ඇඳිරි නීතිය උල්ලංඝනය කරලා පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. අපට වාර්තා වෙනවා විශාල ප්‍රමාණයක් ඇදිරිනීතිය කඩ කරනවා. ඇයි මේ ඇඳිරි නීතිය කඩ කරන්නේ? මේ නාගරික ප්‍රදේශ තුළ තමයි ඒක වැඩියෙන් ම දක්නට ලැබෙන්නේ. ඒකට හේතුව මේ මිනිස්සුන්ගෙන් භෞතික භූමි ප්‍රදේශය, නිවස පිහිටා තියෙන භූමි ප්‍රදේශය ඉතාමත් පටුයි. වගාව කරන්න උනත් පුළුවන් වුණේ ඉඩ ප්‍රස්ථාව අනුව. එතකොට මේ මිනිස්සුන්ට වෙනත් විකල්ප නැහැ ගමේදි වගේ.

එතකොට එකිනෙකා සමඟ සම්බන්ධ වීමට තිබුණ ජංගම දුරකථනය පමණයි. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ මේ මානසික ව්‍යාකූලතාවයන්ට. වයස අවුරුදු 30ත් 50ත් අතර පිරිස ගැහැණු පාර්ශ්වය මනෝ මනෝවිද්‍යා ප්‍රතිකාර ජංගම දුරකථනය හරහා ගැනීමට තරම් පෙළඹිලා තියෙනවා මේ කාලසීමාවේදී. එයාලට මේක හරි අමාරුයි.

පන්සලට යන්න බැහැ, පල්ලියට යන්න බැහැ, තමන්ට කැමති වෙලාවකට සාප්පු සවාරි වල යෙදෙන්න බැහැ. බාහිර සමාජයත් එක්ක තිබ්බ සම්බන්ධතා සම්පූර්ණයෙන්ම ඇන හිටියා. මේක බරපතළ තත්ත්වයක්. බාහිරින් බැලූ අපිට පේන්නේ නගර මිනිස්සුන්ට එළවලු ටික ළඟට එනවා හරිම පහසුයි කියලා. ඒත් ඒකත් එක්තරා ආකාරයක පීඩනයක්.

ආර්. එච්. බෙග් කියන විද්‍යාඥයා ඉතාමත් පැහැදිලිව කියනවා මේ කාර්මීකරණය නාගරීකරණ කියන දෙකේ එකතුවක් විදිහට නිර්මාණය කරලා තියෙන්නේ අවදානම් සහගත සමාජයක් කියලා. ගෝලියකරණ වගේ සංකල්ප එක්ක එන්න එන්නම ලෝකය හැකිලෙනවා. චීනයේ වූහාන් වල තිබ්බ වෛරසය ඉතාමත් ඉක්මනින් ලංකාවට ඇවිල්ල ලංකාවෙ මිනිස්සුන්ට ආසාදනය වෙන්න ලොකු කාලයක් ගත්තෙ නැහැ. එතකොට අපිට තේරෙනවා මේක ග්‍රාමීය ප්‍රජාවට වඩා නාගරික ප්‍රජාව අර්බුදකාරී තත්ත්වයට ඉක්මනින් මුහුණ දුන්නා කියලා.

එයාලට මේකෙන් ගැලවෙන්න පහසු මගක් වුණේ නැහැ. එහෙම මාර්ගයක් තිබ්බෙත් නැහැ. මේ කියන්නේ රෝග ආසාදනය වීම මේ කාරණා විතරක් නෙමෙයි. ඊට පෙර රජය අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා මිනිසුන් එක්තරා විදියකට හුදකලා වෙනවා, එක්තරා විදියකට හිර කිරීමකට ලක් වෙනවා. නාගරික ප්‍රජාව මේ හේතුවෙන් විවිධ විවිධ අපහසුතාවයන්ට මුහුණ දුන්නා.

පවුල ඇතුලේ සිදුවූ වෙනස් වීම්

ඔබත් දකින්න ඇති සමාජ මාධ්‍ය හරහා එහෙට මෙහෙට සංසරණය වුණා, “කොරොන කාලේ හස්බන්ඩ්ව පොඩ්ඩක් ආශ්‍රය කළා හරි හොඳ මනුස්සයා” මේක ඒ විදිහටම වයිෆ්ටත් කියල තිබ්බා. මේක ඇතුලෙ තියෙනවා යම්කිසි අපි අවධානයට ගත යුතු කාරණාවක්.

ඇතැම්විට බාහිරෙන් ඉඳන් බලන කෙනෙකුට පේන්න පුලුවන් අනේ හරි හොඳයි, අපි මේ හැල්මේ දුවන ජීවිතවල හිටියේ අපේ රස්සාවල් එක්ක අපේ අධ්‍යයන වැඩ කටයුතු එක්ක ළමයි ඉස්කෝලේ දුවනවා ක්ලාස් දුවනවා, මේ කාලසීමාව ඉතාමත් හොඳයි පවුලේ සාමාජිකයන්ට එකට එකතු වෙලා වැඩ කටයුතු කරගන්න කියලා. එකට සමගියෙන් සමාදානයෙන් ආදරෙන් ඉන්න පුළුවන් කියලා. එහෙම අපේක්ෂාවන් තියෙන්න ඇති.

නමුත් ඇත්ත අපි දකින මේ චිත්‍රය නෙවෙයි. මේ තත්ත්වය එක්ක හස්බන්ඩ් තමන්ගේ වයිෆ් එක්ක සම්බන්ධතා පවත්වද්දී පෙර නොවූ විරූ ආකාරයට විශාල අර්බුදයන්ට මුහුණ දීල තියෙනවා. මේක අනිවාර්යෙන්ම සඳහන් කරන්න ඕන. ඇතැම් විට මේ දෙදෙනාගේ අවශ්‍යතා මොනවාද, රුචි අරුචිකම් මොනවා ද කියලා අමතක වෙලා තිබ්බ යුගයක තමයි හිටියෙ.

නැවත මේවා මතක් කරන්න ගත්තහම අර්බුදයක් නිර්මාණය වෙනවා. ඉන්න දවස් වල වත් මං ගැන බලන්න බැරිද වගේ පුංචි පුංචි වචන හරහා ප්‍රහාර දියත් කිරීමේ තත්ත්වයක් තිබ්බා. ළමයන්ගේ විෂයෙහි බිරිඳ බලාපොරොත්තු උනා සැමියාගෙන්, මෙච්චර දවස් ඔයා රස්සාවක් කරා ඒ නිසා දැන් මේ දරුවො ටික බලන්න කියලා. ඉතාමත් කැමැත්තෙන් තාත්තා ළමයිත් එක්ක ඉඳපු අවස්ථා තිබ්බා, ඉතාමත් කැමැත්තෙන් දරුවන්ගේ අධ්‍යාපන වැඩකටයුතුවලට තාත්තා සම්බන්ධ වෙන අවස්ථා තිබ්බා.

අනිත් පැත්තෙන් ගෙදර ඉදන් වැඩ කරන සංකල්පය නිසා කලින් තිබ්බ තරම් වත් දරුවොත් එක්ක ඉන්න වෙලාවක් නැති වෙලා තියෙනවා දෙමාපියන්ට. මේක තමයි ඇත්තම තත්වය. එතකොට අපට අමතක කරන්න බෑ කාන්තාව ද්විත්ව චරිතයක් රඟ දක්වනවා කියලා. කාන්තාව කියන්න සේවා ආයතනයක වැඩ කරන ගමන් ගෙදර වැඩ කටයුතු පාලනය කරන කරන කෙනෙක්. හැබැයි කොවිඩ් 19 කාලසීමාව තුල කාන්තාවට ගෙදර වැඩක් බලන්න වෙනවා වගේම ගෙදර ඉදන්ම ඔෆිස් එකේ වැඩ කරන්නත් වෙනවා.

පෞද්ගලික ආයතනයක වැඩ කරන කාන්තාවක් නම් මේ තත්ත්වය ඉතාමත් බරපතළයි. අනිවාර්යෙන්ම මේ මාර්ගගත ක්‍රමයට වැඩ කරන්න සිද්ධ වුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වෙලාවක් කලාවක් නැහැ අන්තර්ජාලය ඔස්සේ දේශන පවත්වන්නට සිද්ධ වුණා. මේක ඉතාමත් බරපතළ විදියට දකින්න ලැබුණා. බාහිරට පෙනෙන්නේ නැති වුණාට පවුලේ සාමාජිකයො මේ දේවල් වලට විරුද්ධයි. දුරකථනය එක්ක, ලැප්ටොප් එකත් එක්ක මීටින් වල ඉන්න එක ඉතාමත් බරපතළ විදියට අනිත් අය තේරුම් ගන්නේ.

අපි දන්නවා දැන් ලංකාව කියන්නේ දකුණු ආසියාතික රටක්. මේ කොවිඩ් 19 වසංගතය ආසියා කලාපයට බලපෑම් කරනවාටත් වඩා ලොකු බලපෑමක් යුරෝපා කලාපයට කරනවා. ඒ යුරෝපා කලාපයට කරපු බලපෑම දිහා අපි බලාගෙන ඉද්දි අපි දකිනවා ඒ රටවල් වල රජය විසින් විවිධ ප්‍රතිපාදන ලබා දෙනවා මේ තත්ත්වය සමනය කර ගන්න, මේ ගැටලු වලින් මිදෙන්න.

ඒක මනෝවිද්‍යාත්මක උපකාරයක් වෙන්න පුළුවන්, ආර්ථිකමය උපකාරයක් වෙන්න පුළුවන්. නමුත් ලංකාවේ සමාජය තුළ විශේෂයෙන්ම නාගරික ජීවිතය තුළ ජීවත්වන මිනිස්සු ඉතාමත් බරපතළ විදියට අර්බුද වලට මුහුණ දෙනවා. රජයෙන් යම්කිසි සහනයක් හෝ ලබා දුන්නත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ පළවෙනි කාරණාව. අනිත් කාරණාව තමයි පවුලේ සාමාජිකයන් පස්දෙනා ද හය දෙනවද මේ සියලු දෙනාම එකම වෙලාවක නිවසේ රැඳෙනවා.

එතකොට භෞතික සම්පත් අත්පත් කර ගැනීමේ දී, යම් කිසි කෑමක් බීමක් බෙදාගෙන හදා ගැනීමේ දී වෙන්න පුළුවන් මොවුන් අතර නිරන්තර අර්බුදත නිර්මාණය වෙනවා. අපට බැලූ බැල්මට පෙනෙන්න පුළුවන් මොවුන් අතර තිබුණාටත් වඩා සමගිය වර්ධනය වෙනවා කියන කාරණාව. නමුත් ඊට එහා ගිය අර්බුද ද නිර්මාණය වෙලා තියෙනවා. පවුලේ වැඩිමහල් සහෝදර සහෝදරයන් අතින් බාල සහෝදර සහෝදරියන් කායික හිංසනයට ලක් වෙලා තියෙනවා.

ඊට අමතරව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය; කාන්තාව විතරක් නෙමෙයි දරුවන්, වයසින් වැඩි පුද්ගලයන් මේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වෙච්ච අවස්ථා පර්යේෂණය හරහා මට දක්නට ලැබෙනවා. ඊටත් එහාට ගියාම විවිධ පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉතාමත් වැඩිපුර දක්නට ලැබෙන්නේ කාන්තාවට කියලා.

කාන්තාවන් විවිධ කාර්යයක් රඟ දක්වන නිසා රැකියාව සමබර කරගන්න ඕනි, ගෙදර පරිසරය සමබර කරගන්න ඕනි, සාමාජිකයන් සියලු දෙනාගේ අවශ්‍යතාවයන් දරුවන් පිළිබඳ සොයා බලන්න ඕනේ, වැඩිහිටි පාර්ශ්වයන් පිළිබඳ සොයා බලන්න ඕනේ, ඒ හැරුණු කොට තමන්ගේ සැමියා පිළිබඳ කායික මානසික අවශ්‍යතා පිළිබඳ බලන්න අවශ්‍යයි.

මේ පර්යේෂණයට සහභාගී වූ කාන්තාවන් විසි දෙනාගෙන් දොළොස් දෙනෙක් ම මේ කාලයේ පවත්වපු මේ සම්බන්ධතා නිසා ඇතැම් විදිහට අසීමාන්තික හිරිහැරකාරී ලිංගික චර්යාවන්ට පවා මුහුණ දෙන්නට සිදු වී තිබ්බා. මේක එක්තරා විදියකට වදයක්. කලින් ජීවිතේ මෙයාලා හුරු වෙලා තිබ්බ සාමාන්‍ය ජීවිතේට, වැඩට යනවා ගෙදර එනවා සති අන්තයේදී එකට පවුලේ සාමාජිකයො එක්ක ඉන්නවා.

නමුත් කොවිඩ් 19 තත්ත්වය තුළ මාස තුන හතරක කාලයක් ඒකාකාරී විදිහට මේ තත්වෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතකොට කලින් කියන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මානසික වෙන්න පුළුවන්, කායික වෙන්න පුළුවන් විවිධ විදියට ලක්වෙනවා. ළමයින්ටත් මේක සාමාන්‍යයි.

ළමයි වුණත් තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව online හරහා යොමු වුණා කියලා අපිට කියන්න බැහැ. මේ පර්ය්‍රේෂණය කරද්දි පවුල් 20න් 18 ක ම ළමයි අධ්‍යාපන කටයුතුවලට යොමු වෙලා තිබ්බා. මම ළමයිත් එක්ක කතා කරද්දී ඔවුන් කියපු දෙයක් තමයි ක්ලාස් එක තියෙද්දි ඔවුන් සෙල්ලම් කරා කියලා. එතකොට බලන්න අවශ්‍යයි මේ අධ්‍යාපන ආයතන හරහා ලබා දෙන දේ ළමයි ඇත්තටම ගන්නවද කියලා, දෙමව්පියන් මේ පිළිබඳ ඉතාමත් සවිඥානික ද කියලා.

දෙමාපියොත් තවත් වෙලාවක දරුවන්ට බලහත්කාරකම් කරනවා මේ පන්ති වලට සහභාගි වෙන්න ඉස්කෝලේ පන්තිවලට සහභාගි වෙන්න. පවුල් 18න්  15 ක ම ළමයින්ට දෙමව්පියෝ පස්සෙන් පන්න පන්න ඉතාමත් වද දෙමින් තමයි මේ අධ්‍යාපන කටයුතුවල ළමයි යොදවලා තියෙන්නේ. බලහත්කාරී තල්ලු කිරීමක් විදියට අපිට එක කියන්න පුළුවන්. මොකද මේ දරුවන් මේකට කැමති නෑ. ඒක තමයි ඇත්ත.

කායිකව පාසල් යන්න තියෙන ක්‍රමයටත් අකමැති දරුවන් මේ ඔන්ලයින් හරහා ඉගැන්වීම අපේ ලංකාව වගේ රටකට මම හිතන්නේ නෑ ඉතාමත් සාර්ථක ක්‍රමයක් කියලා. නමුත් අපි උත්සහ කළ යුතුයි. එතනදි දරුවන් විවිධ අපහසුතාවලට මුහුණ දෙනවා. ඇතැම්විට ගුරුවරයාගේ භාෂාව තේරෙන්නැහැ, කාලගුණික තත්ත්වය මත දේශන පැහැදිලි නෑ, දරුවන් කැමැති නෑ එකතැන වාඩි වෙලා මේ මැෂින් එකක් දිහා හෝ මේ ජංගම දුරකථනයේ දිහා බලන් ඉන්න.

ඊට අමතරව මේ දරුවන් අධ්‍යාපනයට එහා ගිය වෙනත් වැඩ කටයුතු වලට ජංගම දුරකථන පාවිච්චි කරපු අවස්ථාත් තියෙනවා. එතකොට පවුල් 18න් පවුල් 15ක ම දෙමවුපියන් මේ දරුවන්ට කායිකව පහරදීම් කරලා තියෙනවා අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන්. එතකොට අපට පැහැදිලිවම නිගමනයකට එන්න පුලුවන් ළමයිනුත් ප්‍රචණ්ඩත්වයට ලක් වුණා මේ කාලසීමාව තුළ කාන්තාවන් වගේම.

Social Sharing
නවතම විශේෂාංග