යුක්තියක් නොමැති වින්දිතයන්ගේ විලාප මැද මානව හිමිකම් දිනය!

අද දෙසැම්බර් මස 10 වන දිනයි. ජාත්‍යන්තර මානව හිමිකම් දිනයයි. එක්සත් ජාතීන්ගේ ප්‍රධානතම ලියවිල්ලක් වූ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය එක්සත් ජාතීන්‍‍ගේ මහාමණ්ඩලය අනුමත කලේ 1948 දෙසැම්බර් මස 10 වන දිනයි. ව්‍යවස්ථා 30කින් සමන්විතව මිනිසෙකු ලෙස ඉපදීම නිසා හිමි විය යුතු විවිධ ක්ෂේත්‍රයන්ගේ අයිතිවාසිකම් මෙම විශ්ව ප්‍රකාශනය මගින් සහතික කරයි. වර්ෂ 1948 දී සැකසුනද ‍මෙම ලියවිල්ල පුළුල් පරාසයක අයිතිවාසිකම් අවරණය වන සුවිශේෂි ලියවිල්ලකි. මෙවර අප සමරන්නේ 72 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයයි.

මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය සම්මත වී වසර 72 කින් පසුවත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සිටින්නේ කොතනද? මෙවර අපට මානව හිමිකම් දිනය සැමරීමට සිදු වන්නේ මිය ගිය මහර බන්ධනාගාර රැඳවියන්‍ගේ ඥාතීන්ගේ නැවුම් විලාප මැද සහ තුවාල ලැබූ 100කට අධික රැඳවියන්ගේ නැවුම් වේදනා මැදය. යුක්තියක් නොමැතිව මානව හිමිකම් උල්ලංඝනයන්ගෙන් පීඩාවට පත් වූ වින්දිතයන්ගේ විලාපයන් මෙවර මානව හිමිකම් දිනයටත් දැ‍නෙනු ඇත.

එමෙන්ම මෙවර මානව හිමිකම් දිනය අප සමරන අවස්ථාවේ ලංකාව පුරාත් ලෝකය පුරාත් කොවිඩ් වසංගතය ඉස්මතු වී ඇති අතර එය මර්ධනය කිරීමේ මුවාවෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් බරපතළ අනතුරකට පත් කිරීමද සිදු වී ඇත. ‍මේ නිසාම මෙවර මානව හිමිකම් දිනයේ තේමාව ලෙස එක්සත් ජාතීන්ගෙ සංවිධානය නම් කර ඇත්තේ වඩාත් හොඳින් සුවපත් වෙන්න, මානව හිමිකම් වෙනු‍වෙන් නැගී සිටින්න(Recover Better: Stand up for Human Rights) යන්නයි. ඔවුන් මෙම තේමාව ‍යොදා ගන්නේම කොවිඩ් වසංගතය තුළ සිදුවන මානව අයිතිවාසිකම් උල්ලංඝනය වළක්වා ගැනීමටය.

කොවිඩ් වසංගතය ආණ්ඩුවලට ජනතා අයිතිවාසිකම් මර්ධනයට මග පාදන අතර විශේෂයෙන් අයිතිවාසිකම් උල්ලංඝනයන්ට එරෙහි වීමට ජනතාවට ඇති අවස්ථා සීමා කරවයි. ලංකාවේද මේ තත්වය මේ ආකාරයටම සිදු වෙයි. කොවිඩ් වෛරස සමයේ ලංකාවේ බන්ධනාගාර තුළ පමණක් රැඳවියන් 15ක් පමණ මේ දක්වා වෙඩි තැබීමෙන් මිය ගෙස් ඇත. තමන් භාරයේ සිටින රැඳවියන් මේ ආකාරයට මිය යන්නේ නම් රාජ්‍යයක් ලැජ්ජාවට පත් විය යුතුය.

මේ වන විටත් මහර බන්ධනාගාරයේ සිදු වූ නොසන්සුන්තාවය සමනය කිරීමට යැයි පවසමින් සිදු කල වෙඩි තැබීම සාධාරණීකරනය කිරීමට ආණ්ඩුව උත්සහ කරනු පෙනේ. ආණ්ඩුවේ බන්ධනාගාර කළමණාරන අමාත්‍ය ලොහාන් රත්වත්ත පාර්ලිමේන්තුවට ප්‍රකාශ කලේ කිසිදු රැඳවියකු වෙඩි වැදී මිය ගිය නැති බවයි. නමතු නීතිපතිවරයා අධීකරණයට දන්වා සිටියේ වෙඩි තැබීමක් සිදු වී ඇති බවයි. එපමණක් ‍නොව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අධිකරණ අමාත්‍යවරයා‍ විසින් මෙම සිදු වීම සොයා බැලීමට පත් කල කමිටුවේ අතුරු වාර්තාවේ දැක්වෙන්නේද වෙඩි තැබීමක් සිදු වී ඇති බවයි. එසේ නම් බන්ධනාගාර අමාත්‍යවරයා අසත්‍ය ප්‍රකාශ කලේ සත්‍යය යටපත් කරන්නද?

අද වන තුරුත් මහර රැඳවියන්ගේ ඥාතීන් සියළු දෙනාට රැඳවියන්ගේ තත්වය පිළිබඳ තොරතුරු ලබා දීමටත් ආණ්ඩුව අපොහොසත් වී ඇත. මහර බන්ධනාගාරය ඉදිරිපිට අප දැක්කේ තමන්ගේ පුතාට කුමක් සිදු වූවාදැයි සොයන මව්වරුන්ගේ විලාපයයි.

මීට පෙර වර්ෂ 2012 නොවැම්බර් මස 09 වන දින සිදු කල වැලිකඩ සිරකරු ඝාතනය සම්බන්ධයෙන්ද අද වන විටත් යුක්තියක් ඉටු වී නෙමැති අතර තවමත් එම නඩු විභාගය මහාධිකරණ‍ෙ පැවැත්වේ.

පුද්ගල අතුරුදහන් කිරීම් වැඩිම රටක් ලෙසත් ලංකාව නම් කල හැකි අතර තම පුතාගේ දියණියගේ හෝ ස්වාමි පුරුෂයාගේ ඡායාරූප රැගෙන උපවාස උද්ඝෝෂණ කරන මව්වරුන්ගේ විලාපයන් අද උතුරේ ඇති අතර මීට පෙර එ් විලාපයන් දකුණෙන් ඇසුණි. අදටත් ඒ කිසිවක් සම්බන්ධ යුක්තියක් නැත. තරුණයන් 11 දෙනෙකු අතුරුදහන් කිරීමට අදාළ නඩුවේ වින්දිත තරුණයන්ගේ මව්වරුන් එක් එක්‍කෙනා මිය යද්දී වසර ගණනාවක් පුරාවට නඩුව දිග් ගැස්සී ඇත. මේ වන විට එම නඩුව අභියාචනාධීකරණ නියෝගයක් මගින් නවත්වා ඇත. විමර්ශනය භාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා රිමාන්ඩ් කර ඇත.

මේ දක්වා යුක්තිය ඉටු වි නැති මානව හිමිකම් උල්ලංඝනයන් ලංකාවේ අතිවිශාල සංඛ්‍යාවකි. අප මෙවර මානව හිමිකම් දිනය සමරන්‍නේ එවන් පසුබිමකය. ඇතැම් අයිතිවාසිකම් ප්‍රමාණයක් ලංකා‍වේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති අතර ඒවා ශ්‍රේෂ්ඨාධීකරණය මගින් සහතික කිරීමද ලංකාවේ සිදු වී ඇත. නමුත් එම අයිතිවාසිකම්ද නිසි ආකාරයට ඉටු නොවන දිශාවට රාජ්‍ය්‍ය ගමන් කරන බව පෙනේ. එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනයේ ඇති අයිතිවාසිකම් තම නීති පද්ධතියට එකින් එක ඇතුල් කර ගනිමින් තවත් රාජ්‍යයන් කටයුතු කරද්දී ශ්‍රී ලංකාවේ අරගල කිරීමට සිදු වී ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික වී ඇති අයිතිවාසිකම් රැක ගැනීමටය.

කොවිඩ් වසංගතයෙන් අප සුවපත් විය යුත්තේ අයිතිවාසිකම් රෝගී කරගෙන නොවේ. එම නිසා සෑම විටම අයිතිවාසිකම් උල්ලංඝනයන්ට එරෙහිව නැගී සිටීමට පසුබට නොවිය යුතුය. අධිකාරිවාදී පාලනයකින් සිදු වන්‍නේ තමන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම බව බහුතර ජනයා වටහා ගන්නේ මර්ධනයෙ හස්තය තම දෙපාමුලට පැමිණි විටය. කොවිඩ් නිසා අයිතිවාසිකම් රෝගී කිරීමට ඉඩ නොදිය යුත්තේ ඒ නිසාය. එක්සත් ජාතීන්ගේ මෙවර තේමාව ඒ වෙනුවෙන්ය. මේ සුවිශේෂී තත්වය තුළ මානව අයිතිවාසිකම් රැක ගැනීමට අරගල කිරීම මෙන්ම මෙතෙක් යුක්තිය ඉටු නොවූ මානව හිමිකම් කඩ වූ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට මැදිහත් වීමත් මානව හිමිකම් අරගලයේ තීරණාත්මක මැදිහත්වීම්ය.

-නීතිඥ දුලාන් දසනායක-

Social Sharing
නවතම විශේෂාංග