කොවිඩ් සමඟ බිඳවැටුණු මඟී බස් සේවාව

අද (07) සිට සෑම ගමන්වාරයක් ආරම්භයේදීම ලංගම බස් රථ දෙකක් ධාවනය කිරීම සඳහා කටයුතු යොදා ඇති බව බස් රථ ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම ප්‍රකාශ කර තිබුණි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ පාසල් වේලාවන් හා කාර්යාල වේලාවන් හීදී අදාළ ගමන්වාර ක‍්‍රමවේදය ක්‍රියාත්මක  කරන බවය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් මගීන් ප‍්‍රවාහනය කළ බස් රථ 30 ක බලපත‍්‍ර මේ වන විට අවලංගු කර ඇති බවත් දීපව්‍යාප්තව වැටලීම් දැඩි කර ඇති බවත්, එවැනි බස් රථ රියැදුරන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ද ඉල්ලීමක් කර ඇති බවද ඔහු සඳහන් කර තිබුණි.

අමාත්‍යවරයා එසේ පැවසුවද දෙවැනි කොවිඩ් වසංගත රැල්ලෙන් පසුව මෙරට ප්‍රවාහන සේවාව තවමත් පවතින්නේ අවිධිමත්වය.  ඇතැම් ප්‍රධාන මාර්ග වල පෞද්ගලික බස් රථ ධාවනය වන්නේම නැත. ලංගම බස් රථ දෙකක් පමණක් ධාවනය වනු දක්නට ඇත.

නමුත් පහුගිය නොවැම්බර් මාසයේදි පෞද්ගලික බස් රථ වල ගාස්තු වැඩි කර ගනු ලැබුයේ ආසන ගණනට මඟින් ගෙන යන බවට ඒකී බස් හිමියන් කියා සිටි බැවිනි. ඒ අනුව ආසන මට්ටමට අනුව කොන්දේසි සහිත මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ සඳහා නොවැම්බර් 09 දා  මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සාමාන්‍ය ගාස්තු මෙන් 1.2 අනුපාතයකින් ගාස්තු වැඩි කිරීමට අවසර ලබා දෙන ලදි.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 12ක සිට දක්වා රුපියල් 14 දක්වා ඉහළ ගියහ.

එමෙන්ම ආසන සංඛ්‍යාවෙන් සීයයට 50ක් පමණක් ( ආසනයක් හැර ආසනයක්) මගීන් රැගෙන යන මගී බස් රථ සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.5ක් ද අර්ධ සුඛෝපභෝගී සහ සුඛෝපභෝගී බස් සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2ක් අය කිරීමට අවසරය හිමි වූ අතර අධි සුඛෝපභෝගී බස් සඳහා ගාස්තුව සාමාන්‍ය ගාස්තුව මෙන් 1.1ක් අය කිරීමටද අවසරය හිමි විය.

බස් ගාස්තු ඉහළ ගියද තවමත් මේ මඟී බස් රථ සේවාව යථා තත්ත්වයට පැමිණ නොතිබිම මඟීන් දැඩි අපහසුවට පත් කර ඇත.

මේ දිනවල ධාවනය වන ඇතැම් ලංගම බස් රථ වල නියමිත මුදලට කිසිදු මඟී ටිකට්පතක් නිකුත් කරන්නේද නැත. ධාවනය වන බස් රථ කිහිපයේද මඟීන් යා යුත්තේ අනාරක්ෂිතවය. ඒවායේ කිසිදු සෞඛ්‍යාරක්ෂිත පහසුකමක් නැත. එමෙන්ම බස් ධාවනයට නියමිත වේලාවක්ද නොමැති තරම්ය.

විශේෂයෙන්ම ගම්පහ ප්‍රදේශයේ මෙම තත්ත්වය උග්‍ර ලෙස මතුව ඇත. පෞද්ගලික බස් හිමියන් මේ වන විට බොහෝ බස් රථ කර්මාන්තශාලා වල සේවකයින් ප්‍රවාහනයට යොදවා ඇත.

පාරේ වැඩ නැද්ද? යැයි ඇසු විට ඔවුන් පවසන්නේ පන්ති ළමයි හෝ ඉස්කෝල නොමැති නිසා සෙනඟ අඩුයි, දුවලා වැඩක් නැහැ යනුවෙනි.

මේ පෞද්ගලික බස් කර්මාන්තය කොවිඩ් සමඟ බිඳ වැටෙද්දී ඒවායේ දෛනික වැටුපට සේවය කළ රියදුරන් හා කොන්දොස්තරවරුන්ද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයටය. තමන්ගේ රැකියාව අහිමි වීම මත ඔවුන් වෙනත් රැකියා සඳහා යොමු වීමට උත්සහ දරමින් සිටිති.

බස් කර්මාන්තයේ බිඳ වැටීම ප්‍රවාහන අමාත්‍යවරයා තවමත් අවබෝධ කරගෙන නොමැති බවක් පෙනෙන්නට ඇත. දිවයිනේ ප්‍රධාන මාර්ග සියල්ලෙහි මේ වන විට බස් රථ ධාවනය වන්නේද කියා අමාත්‍යවරයා මඳක් විමසුම් කර බැලුවහොත් මේ තත්ත්වය වටහා ගත හැකි වනු ඇත.

මාර්ගයේ බස් රථ නොමැතිකමින් මේ වන විට බොහෝ පුද්ගලයින්ට තමන්ගේ එදිනෙදා කටයුතු සඳහා ගමන් බිමන් යාමට සිදුව ඇත්තේ පෞද්ගලික වාහනයකින් හෝ කුලී රියකිනි. කොවිඩ් නිසා මුල්‍ය අර්බුදයට පත්ව සිටින ජනතාවට මෙය දරාගත නොහැකි වී ඇත.

-ශානිකා-

Social Sharing
නවතම