නැගෙනහිර පුරාවිද්‍යා උරුමයට “ආගමික වෙනස්කම් නෑ”

එක් ආගමකට අයත් පුජකයන් පමණක් ඇතුලත් කිරීම නිසා  සිවිල් සමාජයෙන් චෝදනා එල්ල වී ඇති ජනාධිපතිවරයාගේ නවතම කාර්ය සාධක බලකායේ රාජකාරිය වී ඇත්තේ  “ආගමික වෙනස්කම් නොසලකා”  සියලුම පුරාවිද්‍යාත්මක උරුමයන් සංරක්‍ෂණය කිරීමේ බව එම බලකායේ ප්‍රධානියා පවසයි.

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාරම්භක රැස්වීම අමතමින් ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා ඇත්තේ ආගමික වෙනස්කම් නොසලකා නැගෙනහිර පළාතේ සියලුම පුරාවිද්‍යාත්මක උරුමයන් සංරක්‍ෂණය කිරීමේ කාර්ය එම බලකාය වෙත  පැවරී ඇති බවයි.

එම කාර්ය සාධක බලකාය පත්කිරීමට  විරෝධය දක්වමින්  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ලංකාව තුළ සමානාත්මතාවය හා සහන සඳහා ජනතාව සංවිධානය යන සිවිල් සංවිධාන දෙක  මීට ඉහතදී චෝදනා කර තිබුනේ නැගෙනහිර පළාතේ පුරා විද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය තුළ හමුදා නිලධාරීන්ට අමතරව එක් ආගමකට අයත් පැවිද්දන් පමණක් ඇතුලත් කිරීම තුළින් පළාතේ පවත්නා බහු වාර්ගික අනන්‍යතාවය හිතාමතාම අවතක්සේරු කර ඇති බවටයි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ  ජුනි 10 බදාදා පැවැති රැස්වීමේදි එහි සාමාජිකයන් අමතමින් කාර්ය සාධක බලකායේ සභාපති  ආරක්‍ෂක ලේකම්, ජාතිය, ආගම සහ වෙනත් වෙනස්කම් නොසලකා නැගෙනහිර පළාතේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුමයන් අනාගත පරපුර සඳහා ආරක්‍ෂා කරගැනීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත සහාය දෙන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා තිබේ.

“නැගෙනහිර පළාතේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන රාශියක් ඇති අතර විවිධ හේතු නිසා අද එම ස්ථාන තර්ජනයන්ට ලක්ව තිබෙනවා. මෙම ඓතිහාසික ස්ථාන ජාතික උරුමයන් වන බැවින් ආගම හෝ ජනවාර්ගික කණ්ඩායම පිළිබඳව නොසලකා ඒවා සංරක්‍ෂණය කර ප්‍රතිෂ්ඨාපනය කිරීමට රජයට අවශ්‍යයි,”

මුහුදු මහා විහාරය

අලුත් කාර්ය සාධක බලකාය පිහිටුවීමට පෙර ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සමග නැගෙනහිර පළාතේ නිරීක්ෂණ චාරිකාවක යෙදුනු ආරක්ෂක ලේකම්වරයා පවසා තිබුනේ ප්‍රදේශයේ බෞද්ධ පුරාවස්තු රැකීමට පියවර ගන්නා බවයි. ඒ අරමුණින් පොතුවිල් හි මුහුදු මහා විහාරය අවට නාවික හමුදා අනුඛණ්ඩයක් පිහිටුවන ලදී.

සාමාජිකයන් 11 දෙනකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන හඳුනා ගැනීම, පුරාවිද්‍යාත්මක උරුමයන් කළමනාකරණය කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් හඳුනා ගැනීම සහ ක්‍රියාත්මක කිරීම මගින් හඳුනාගත් ස්ථාන සහ පුරාවස්තු සංරක්‍ෂණය හා ප්‍රතිෂ්ඨාපනය කිරීම, එවැනි පුරාවිද්‍යාත්මක ස්ථාන සඳහා වෙන් කළ යුතු ඉඩම් ප්‍රමාණය හඳුනාගෙන ඒවා නිසි ලෙස හා නීත්‍යානුකූලව වෙන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම, පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානවල සංස්කෘතික වටිනාකම ආරක්‍ෂා කිරීම, දේශීය හා විදේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ සුවිශේෂත්වය ප්‍රවර්ධනය කිරීම සහ එවැනි උරුමයන් ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම යන කාර්යන් පැවරී ඇති බව ආරක්ෂක අමාතාංශය සදහන් කරයි.

ජනාධිපති කාර්ය සාධක බලකා සාමාජිකයන් එම රැස්වීමේදී  පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන පිළිබඳ තොරතුරු සහ එම ස්ථාන සංරක්‍ෂණය කිරීම සඳහා වැදගත් වන ප්‍රාදේශීය ප්‍රජාවේ සහාය ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කළ බව ආරක්ෂක අමාතාංශය වැඩි දුරටත් පවසයි.

“නැගෙනහිර පළාත තුළ පවතින සම්පත් උපයෝගී කරගනිමින් පුරාවිද්‍යාත්මක සොයා ගැනීම සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ පියවරක් ලෙස දැනටමත් හඳුනාගෙන ඇති පුරාවිද්‍යාත්මක ස්ථානයන් හා උරුම සංරක්‍ෂණය හා ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අවශ්‍ය වැඩකටයුතු ආරම්භ කිරීමට ඔවුහු එකඟ වූහ,” යි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

එම සාකච්ඡාව සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් වන පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි, උතුර සහ නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිශාවේ ප්‍රධාන සංඝනායක අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ නායක හිමි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක, ඉඩම් කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රා හේරත්, මැනුම්පති A.L.S.C පෙරේරා, මහාචාර්ය රාජ් කුමාර් සෝමදේව, මහාචාර්ය කපිල ගුණවර්ධන, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නැගෙනහිර පළාත් ඉඩම් කොමසාරිස් H.E.M.W.G දිසානායක, දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක යනාදීන් එක්ව තිබේ

Social Sharing
නවතම විශේෂාංග