ආදායම් බද්ද, උපයන විට ගෙවීම් බද්ද, එකතු කළ අගය මත බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඇතුළුව මෙරට ජනතාවට ගෙවීමට ඇති බදු වර්ග ගණනාව අතරට තවත් බද්දක් හඳුන්වා දීමට වත්මන් ආණ්ඩුව සූදානම් වෙයි.
ඒ, Property Tax හෙවත් දේපළ බද්ද යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනාවරණය කළේ, 2027 වර්ෂයේ සිට දේපළ බද්දක් හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇති බව ය. මෙය මූලිකව සැලසුම් කර තිබුණේ, 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට ය.
ඒ අනුව, දැන් මෙම බදු ක්‍රමවේදය 2027 වර්ෂයේ පළමු කාර්තුවේදී හඳුන්වා දීමට නියමිත බව වාර්තා වේ.
දැනට මෙම දේපළ බද්ද ගිනිකොණ දිග ආසියාව, යුරෝපය ඇතුළුව ලොව පුරා රටවල් ගණනාවක ක්‍රියාත්මක වෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය දා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කළ සිය කාර්ය මණ්ඩල වාර්තාව මගින් මෙම දේපළ බද්ද පිළිබඳව සඳහන් කර තිබිණි.
මෙම නව දේපළ බද්ද පැනවීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර ඇති අතර, දේපළ තක්සේරුව පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු පද්ධතියක් ගොඩනැගීම මෙහිදී මූලික වනු ඇත.
මෙම ක්‍රියාවලියේ පළමු පියවර සඳහා අතීත තක්සේරු වාර්තා පිළිබඳ දත්ත පද්ධතියක් අවශ්‍ය වනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේ ය.
ඒ අනුව, දේපළ වටිනාකම තක්සේරු කිරීම සහ බදු ගණනය කිරීම සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නියමිත ය.
“මේ සඳහා, අපි නගර සභාවලින් පටන්ගෙන රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව සතුව ඇති තක්සේරු වාර්තා ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරමින් සිටිමු. 2025 අවසානය වන විට මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට අපි සැලසුම් කරමු.”
“ඊළඟට, වෙළෙඳපොළ වටිනාකම් ඇස්තමේන්තු පිළිබඳ දත්ත පද්ධතියක් අවශ්‍ය වේ.”
“මේ අනුව, අපි තාවකාලිකව රට පුරා විකුණුම් මිල සහ කුලී පිළිබඳ ඩිජිටල් ලේඛනයක් (SPRR) ස්ථාපනය කර ඇත්තෙමු,” යනුවෙන් IMF වාර්තාවේ දැක්වෙයි.
දේපළ බදුකරණය සහ ප්‍රාග්ධන ලාභ බදුකරණය ඇතුළු බදු කිහිපයක් සඳහා මෙම දත්ත පද්ධතිය දේපළ වටිනාකම් තක්සේරු කිරීමේ ප්‍රධාන මූලාශ්‍රය වනු ඇත.
2026 සැප්තැම්බර් වන විට මෙම දත්ත පද්ධතිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව, ඉඩම් ලේඛනාගාරය යන ආයතනවලට මෙන් ම සහ මහ ජනතාවට ප්‍රවේශ වීමට අවස්ථාව ලැබෙනු ඇත.
‘බොහෝ විට නිවාසවලට, ඉඩම්වලට අදාළව මුල් අවස්ථාවේ මේක ක්‍රියාත්මක වෙන්න තියෙන ඉඩකඩ වැඩියි’
දේපළ බද්ද සැලකෙන්නේ පුද්ගල වත්කම් මත අය කරන බද්දක් ලෙස ය. එය ඍජුව අය කරන බද්දකි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ දේපළ බද්ද පිළිබඳ අදහස් දක්වමින් බීබීසී සිංහල වෙත පැවසුවේ, “බොහෝ රටවල්වල පුද්ගලයෙකුට, පවුලකට අයිති දේපළ මත තමා මේක අදාළ වෙන්නේ. ඒක කොච්චර වපසරියකට ගමන් කරනවා ද කියන එක තීරණය වෙන්නේ විවිධ රටවල විවිධ විදිහට. සමහර වෙලාවට නිශ්චල දේපළ විතරයි අදාළ වෙන්නේ.”
ඇතැම් රටවල නිශ්චල දේපළවලට පමණක් අදාළ වන මෙම බද්ද තවත් සමහර රටවල චංචල දේපළවලට ද අදාළ වේ.
ඇතැම් රටවල බැංකු ගිණුම් හා සමාගම්වල කොටස් මෙන් ම දේශීයව සහ විදේශීයව අයත් වත්කම් මෙම බද්ද යටතේ සලකා බැලෙන බව මහාචාර්ය දුනුසිංහ සඳහන් කළේ ය.
“මේක අපි දන්නේ නෑ රජය ප්‍රකාශයට පත් කරනකම් මේ දේපළ බද්ද යටතේ ගැනෙන්නෙ මොනව ද කියලා.”
“සාමාන්‍යයෙන් සිදුවිය හැකි දේ තමා ආරම්භයක් විදිහට යම්කිසි දේපළක් මත උදාහරණයක් විදිහට නිවසක් මත, යම් ඉඩමක් මත මේ බද්ද ක්‍රියාත්මක වීමට තමා වැඩි ඉඩකඩක් තියෙන්නේ. ඉඩම් වෙන්න පුළුවන්, ගොඩනැගිලි වෙන්න පුළුවන්, ඒවට අදාළ තක්සේරු කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් නිසා, මම හිතන්නෙ මුලින් ම වෙන්න පුළුවන් යම් නිවසක වටිනාකම යම් ප්‍රමාණයකට වඩා වැඩි නම් බද්දක් ගෙවන්න වෙයි.”
එමෙන් ම, දේපළ පැවරීමකදී මෙම බද්ද අදාළ ගැනීමේ හැකියාව පවතින බව ද ඔහු සඳහන් කළේ ය.
“බොහෝවිට පුද්ගලයෙකුට අයිති බොහෝ විට නිවාසවලට, ඉඩම්වලට අදාළව මුල් අවස්ථාවේ මේක ක්‍රියාත්මක වෙන්න තියෙන ඉඩකඩ වැඩි යි.”
“දේපළ පැවරීමේදීත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තෑග්ගක් ලෙස ලැබෙන දෙයකදී වෙන්නත් පුළුවන්.”
‘ඍජු බදු අයකිරීම වැඩි කර ගන්න ඕනේ’
මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ, “මේ වගේ ඍජු බදු අයකිරීම වැඩි කර ගන්න ඕනේ.”
“සමහර නිවාසවල පිහිනුම් තටාක තියෙනවා. කෝට් යාඩ් තියෙනවා. ප්‍රංශය වගේ වෙන රටවල ඩ්‍රෝන යානා පවා යවලා බලනවා සමහර දේපළ ගැන”
මහාචාර්යවරයා පැවසුවේ, ව්‍යාපාරවලට මෙම බද්ද අදාළ වීමට ඉඩකඩක් නොමැති බව ය.
පුද්ගල බද්දක් ලෙස මෙය කොපමණ දුරක් යනව ද කියලා රජය තීරණය කරනු ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
දේපළ බද්දක් යනු කුමක් ද?
ගිනිකොණ දිග ආසියාව, යුරෝපය ඇතුළුව බොහෝ රටවල දේපළ බද්දක් ක්‍රියාත්මක කර තිබෙන්නේ, ආදායම් බෙදී යාමේ විෂමතාව තුරන් කිරීමේ පියවරක් ලෙස ය. එහෙත්, ශ්‍රී ලංකාවේ මෙම පනත හඳුන්වා දීමට යෝජනා වී ඇත්තේ, රජයේ ආදයම් වැඩි කර ගැනීමේ උත්සාහයක් ලෙස ය.
පළාත් පාලන ආයතනවලට අර්ථවත් ආදායම් ඉපැයීමේ මාර්ගයක් ලෙස දේපළ බද්ද පුළුල් ලෙස සැලකේ.
රජයයන් සඳහා ස්ථාවර සහ පුරෝකථනය කළ හැකි ආදායම් මාර්ගයක් සපයන අතර ම, සමාජ සමානාත්මතාව සහ ආර්ථික කාර්යක්ෂමතාවට දායක වීම සඳහා දේපළ බදුකරණය හොඳ ම බදුකරණ ක්‍රමවලින් එකක් ලෙස සැලකේ.
සංවර්ධනය වෙමින් පවතින රටවල, විශේෂයෙන් ගෝලීයකරණය සහ ජංගම ප්‍රාග්ධනය සඳහා ජාත්‍යන්තර තරගකාරීත්වය වැඩි වෙමින් පවතින කාලයක, දේපළ බදු සාමාන්‍යයෙන් “හොඳ බද්දක්” ලෙස ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කර ඇති ගිනිකොණ දිග ආසියාවේ දේපළ බදුකරණ ප්‍රතිසංස්කරණවලට අදාළ වාර්තාවක දැක්වෙයි.
ඊට අනුව, ප්‍රංශය සහ එක්සත් ජනපදය වැනි ඉහළ කාර්ය සාධනයක් සහිත රටවල දේපළ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 4%කට වඩා වැඩි අගයක් ගනී.
පිලිපීනය, තායිලන්තය සහ ඉන්දුනීසියාව වැනි ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල, දේපළ බදු ආදායම 2017 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.1% සහ 0.5% අතර අගයක් ගත්තේ ය.
දේපළවල ඉහළ දෘශ්‍යතාව සහ නිශ්චලතාව හේතුවෙන් මෙය මග හැරීමට සාපේක්ෂව අපහසු බද්දක් ලෙස ද සැලකේ.
එමෙන් ම, මෙය සැලකෙන්නේ දේපළ අත්පත් කර ගැනීම සහ ඈවර කිරීමේ කටයුතුවලදී බලාත්මක කිරීමට පහසු බද්දක් ලෙස ය.
බදු වැඩි වීමෙන් රටට අත්විය හැකි ඉරණම කුමක් ද?
උපයන විට ගෙවීම් බද්ද සහ නව වැට් බදු සංශෝධන ක්‍රියාත්මක වීම හේතුවෙන් වෘත්තිකයින් ප්‍රමුඛ ශ්‍රී ලාංකික ජනතාව මේ වන විට දැඩි බදු පීඩනයකට මුහුණ දෙමින් සිටිති.
කෙසේ වෙතත්, කලාපයේ සෙසු රටවල් සමග සැසඳීමේදී ලංකාවේ බදු ආදයම තවමත් පහළ මට්ටමක පවතී. සෙසු රටවල මෙය දළ දේශීය නිශ්පාදිතයෙන් 16% – 18% මට්ටමක පවතින බව මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ සඳහන් කලේය.
“අපි දශක දෙකක් – තුනක් විතර බදු මට්ටම් අඩු මට්ටමක තියාගෙන ගියේ”
ඔහු පෙන්වා දුන්නේ, බදු ගෙවීම තුළ ජනතාවට වන ශුභසාධනයක් පෙනෙනන්ට නොමැති බව ය.
බදු ගෙවීමට සාපෙක්ෂව ශුභසාධනය ඉහළ යාමක් දක්නට නොලැබෙන නිසා පුද්ගලයින් තුළ බදු ගෙවීමට අකමැත්තක් දක්වන බව ද ඔහු පැවසීය.
“අපි බදු ගෙවනවා. නමුත් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවයක් නැහැ. ඒ නිසා අපි ටියුෂන්වලට යනවා. නැත්නම් පෞද්ගලික පාසල්වලට යවනවා.”
“අපි බදු ගෙවනවා, රජය පවත්වගෙන යනවා රෝහල්, ඒවයේ ගුණාත්මකභාවයක් නැහැ. එවයේ බෙහෙත් නෑ. ඒවයේ ඇඳන් නැහැ. මිනිස්සු යනවා පෞද්ගලික රෝහල්වලට.”
“අපි ආරක්ෂාව දෙන්න කියලා රජයට බදු ගෙවනවා, හැබැයි ආරක්ෂාව නැහැ, අපි CCTV කැමරා හයි කර ගන්නවා, ගේට්ටු දානවා, තාප්ප ගහනවා, ආරක්ෂාවට ක්‍රියාමාර්ග ගන්නවා.”
“අද වෙලා තියන දේ තමයි මේ බදුවලින් අපි අපේක්ෂා කරන කිසිදු සාර්ව මට්ටමේ වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා වෙලා තියෙන්නේ අපිට යන්න වෙලා තියෙනවා, මයික්‍රෝ සොලූෂන්වලට.”
“ජල පහසුකම් නෑ… මිනිස්සු ළිඳක් කපාගෙන මෝටරයක් දලා වතුර ගන්නවා.”
“මිනිස්සුන්ට පාරේ බස් නෑ… මිනිස්සු තමන්ගේ පෞද්ගලික වාහනවලින් පාරට එනවා.”
“මිනිස්සුන්ට බදු බරක් වෙලා තියෙන්නේ බදු අරගෙන මහ ජනතාවට දැනෙන කිසි දෙයක් රජය මගින් නොකරන එක. ඉතින් මෙන්න මේ තත්ත්වය වෙනස් කරන එක අත්‍යවශය යි. එහෙම කළොත් මේක මිනිස්සුන්ට බරක් වෙන්නේ නැහැ.”
“වෙන රටවල් තියෙනවා… යුරෝපයේ රටවල් මිනිස්සුන්ගේ ආදායමෙන් හරි අඩක් ගන්නවා. කැනඩා රජය මිනිස්සුන්ගේ ආදයමෙන් අරි අඩක් ගන්නවා. 50%ක් ම ගන්නවා, එහෙම ගත්තට මිනිස්සු පැමිණිලි කරන් නැත්තෙ මොක ද? හැම දේ ම රජයෙන් දෙනවා.”
“මෙහෙම බදු අරගෙන හම්බ වෙන මොකවත් නැහැ.. ඕක යි තත්ත්වය.”
“ඒකයි මිනිස්සු මේකට විරුද්ධ. මේක වෙනස් නොකර බදු විතරක් ගහගෙන යන්න බැහැ. කොහොමත් මේ විදිහට බදු ගැහුවා ම අර්ථිකය එන්න එන්න ම හැකිළෙන්න පටන් අරන් තියෙන්නේ. දැන් මේ අවුරුද්දේ තුන හමාර වුණොත් ලබන අවුරුද්දේ 3 වෙයි. ඊළඟ අවුරුද්දෙ 2 වෙයි. ඔහොම පල්ලෙහාට එන ගමනක් යන්නේ. ෂුවර් ආයිත් බලන්න දෙයක් නෑ.”
බීබීසී – සිංහල