දිස්ත්‍රික්කයක් භාර පළමු කාන්තා DIG කලුතරට – අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමු වතාවට දිස්ත්‍රික්කයක් භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරක් සඳහා කාන්තා නිලධාරිනියක පත් කර තිබෙනවා. ඇය නියෝජ්‍ය පොලිස්පති ජයන්තා පද්මිනී වීරසූරියයි. දිස්ත්‍රික්කය කලුතරයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වෙනුවෙන් අපි පොලිසියේ කාන්තා වෘත්තිකයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මීට වසර පහකට පමණ පෙර ලිපි මාලාවක් ලිව්වා. එහිදී අපට එවකට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්තා පද්මිනී වීරසූරිය ගැනත් ලිපියක් ලියන්නට අවස්ථාව ලැබුණා. ඒ වෙනුවෙන් අපි ඇය හමු වී සාකච්ඡා කළා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ධුරයට පත් වූ පළමු කාන්තාව ද ඇයයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවත් එක්ක පොලිසියේ තිබෙන සම්බන්ධය මොකක්ද කියා විමසමින් අපි සංවාදය ආරම්භ කළා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ – විමර්ශන තනතුර හොබවන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්තා පද්මිනී වීරසූරිය අපට කරුණු පැහැදිලි කරදුන්නේ මෙසේයි:

“අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව කියන්නේ ස්වාධීන කොමිසන් සභාවක්. එය පත්කර තිබෙන්නේ 1994 අංක 19 දරණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභා පනතේ 3(1) වගන්තිය ප්‍රකාරවයි. එහි විමර්ශන, පාලන, නීති, ගණකාධිකාරී අංශ තිබෙනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ බලතල අනුව විමර්ශන අංශය විසින් කරනු ලබන විමර්ශනවලට සහාය සඳහා අවශ්‍ය නිලධාරීන් පොලිස් සේවයෙන් අනුයුක්ත කරගන්නවා. ඒ සඳහා පොලිස් නිලධාරීන්ට අයදුම් කරන්නට පුළුවන්. ”

ඒ අන්දමින්, ජයන්තා පද්මිනී වීරසූරිය මහත්මිය 2016 වසරේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ සේවයට එක්වුණේ සහකාර පොලිස් අධිකාරිවරියක ලෙසයි.  පොලිස් අධිකාරි ධුරයට උසස්වීම් ලැබීමෙන් අනතුරුව, ඒ වන විට පුරප්පාඩු වී තිබුණු කොමිසන් සභාවේ අධ්‍යක්ෂ – විමර්ශන ධුරය සඳහා ඇය පත්කරනු ලැබුවා. ඇය තමයි පළමුවරට එම තනතුරට පත් වූ කාන්තාව.

 “මගේ ගම රත්නපුර දිස්ත්‍රික්කයේ බුළුතොට හෙල්වලින් වටවුණු, සිංහරාජ වනාන්තරය ආසන්නයේ පිහිටි කොළොන්න කියන සුන්දර ගම. සහෝදර සහෝදරියන් අටදෙනෙකුගෙන් යුත් පවුලේ මං තමයි බාලම දරුවා. මව්පියන් ගොවියන්. කොළොන්න මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ සමත් වුණ මම උසස් පෙළ ජීව විද්‍යා විෂයයන් හදාරන්නට රත්නපුර සුමන බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළ සමත් වුණත්, අපේ අවුරුද්දේ හිටිහැටියේ විශ්වවිද්‍යාලයට බඳවාගැනීමේ ලකුණු මට්ටම ඉහළ ගිය නිසා සරසවි වරම් ලැබුණේ නැහැ. නැවත උසස් පෙළ විභාගය කරන්නට නම් රත්නපුරේ බෝඩිං වෙලා ටියුෂන් පන්ති එහෙම යන්නට ඕනැ. මව්පියන්ට කරදර කරන්නට අකැමැති නිසා මං ගුරු, හෙද ආදී රැකියා සඳහා වන තරග විභාගවලට අයදුම් කළා. මුලින්ම ලැබුණු රැකියාව පොලිස් දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක තනතුර.”

ඇය විද්‍යා ගුරුවරියක් වන්නට ආසා කළා. උප පොලිස් පරීක්ෂක පුහුණුවෙන් පසු වවුනියාවේ රැකියාව කරද්දී ඇයට ගුරු පත්වීමක් ද ලැබුණා. ඇය හෙද සේවයටත් ඇලුම් කළා. ඇගේ කණ්ඩායමේ සිටි ඇතැම් උප පොලිස් පරීක්ෂකවරියන් එවැනි රැකියාවලට ආපසු යද්දී ඇය දිගටම ඉදිරියට ආවා. යුද්ධය මැද වවුනියාවේ රැකියාවේ යෙදී සිටියදී පොලිස් මූලස්ථානයේ පිහිටි තොරතුරු තාක්ෂණ කොට්ඨාසයට ඇය තෝරාගනු ලබනවා.

“මගේ පවුලේ කිසිකෙනෙකු පොලිසියට සම්බන්ධ නැහැ. හැබැයි, කොළොන්න පොලිසිය තිබුණේ මගේ ගෙදරට පෙනෙන හරියේ. එහි සේවය කළේ කඳුහෙල් තරණය කරමින් ඉතා දුෂ්කර අන්දමින් රාජකාරි කරන්නට සිදුවුණ පොලිස් නිලධාරීන් පිරිසක්. ඒත්, පොලිස් අභ්‍යාස විද්‍යාලයට ඇතුළු වුණාට පස්සෙ මට තේරුණා, අපේ දක්ෂතා අනුව තෝරාගත හැකි විවිධ අංශ පොලිස් දෙපාර්තමේන්තුවේ තිබෙන බව.”

පොලිස් කොස්තාපල්වරියක ලෙස පොලිස් සේවයට බැඳෙන අයටත් මේ වගේ පාරවල් තිබෙනවාද කියන ප්‍රශ්නය අප ඇගෙන් ඇසුවා. “තමන්ට උවමනාවක් තිබෙනවා නම් පුළුවන්,” ඇය පැවසුවා.

ඇය ඇගේ ජීවිතයෙන්ම උදාහරණ දැක්වූවා. “මගේ පොලිස් වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයට බැඳීම. මගේ පාසල් ජීවිතේදී මට හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාගන්නට අවස්ථාව ලැබුණෙ නැහැ. ඒකට ගුරු හිඟය බලපෑවා. සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂයට සම්මාන සාමාර්ථයක් තිබුණත්, පොලිස් තොරතුරු කොට්ඨාසයේ සේවය කරද්දී ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කරගැනීමේ වැදගත්කම මට තේරුණා. රැකියාව කරන අතරේම, සේවය අවසන් වෙලා මං ඉංග්‍රීසි පන්තියකට ගිහින් ඉගෙනගත්තා. වැඩ අවසන් කරලා දුවලා දුවලා තමයි පන්තියට යන්නෙ. සමහර දවස්වලට ප්‍රමාද වෙනවා. රෑවෙලා පන්තිය අවසන් වෙලා 154 බස් එකේ ඇවිත් කොළඹ විශ්වවිද්‍යාලෙ ළඟින් බැහැලා ඒ දවස්වල මං නතර වෙලා හිටපු පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ බැරැක්කවලට පාළු පාර දිගේ දිව්වා. එහෙම තමයි ඉංග්‍රීසි ඉගෙනගත්තෙ.”

අදත් ඇය බොහෝ පොත පත කියවන කෙනෙක්. “දැනුම තමයි බලය,” ඇය පවසනවා.

අවුරුදු පහකට පසු විභාගය සමත් වූ ඇය පොලිස් පරීක්ෂක ලෙස උසස්වීමක් ලබාගත්තා. 2006දී පළමු වරට කාන්තා පොලිස් නිලධාරිනියන්ටත් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම්වලට සම්බන්ධ වීමේ අවස්ථාව ලබාදුන් විට ඇය ඒ වෙනුවෙන් අයදුම් කර තෝරාගැනීමේ විභාගය සමත් වී ඒ සඳහා අවස්ථාව ලබාගත්තා.

“2007 ජනවාරි 1දා මම නැගෙනහිර ටිමෝරයේ සාමසාධක මෙහෙයුමට පිටත් වුණා. මං ඒ ගමන ගියේ මගේ විවාහය කල්දාලා. හමුදාවේ කපිතාන්වරයකු වුණ මගේ සැමියා මට ඒ සඳහා සහයෝගය දුන්නා. අවුරුද්දකුත් මාස දෙකක් පමණ මං එහි සේවය කළා. මට පැවරුණේ එහි පිරිස් අංශයේ දත්ත පදනමේ රාජකාරියි. මාස තුනකට පමණ පසුව මා එහි කණ්ඩායම් නායිකාව වුණා. එහි ඉන්න කාලෙ තමයි සහකාර පොලිස් අධිකාරි විභාගයට අයදුම් කළේ. මගේ සැමියා ලවා සටහන් පොත්, ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි එහෙම කුරියර් සේවයක් මගින් ගෙන්වාගෙන විභාගෙට සූදානම් වුණා. අපි තුන්දෙනෙකු නැවතී සිටි කුඩා නිවසේ විදුලිය තිබුණෙ නැහැ. රෑට ඉටිපන්දමක් පත්තු කරගෙන ආලින්දයේ බැම්ම උඩ පොත් තියාගෙන පාඩම් කළා. විභාගයට සති දෙකකට කලින් මම ලංකාවට ආවා. මට කොළඹ නතරවෙන්නට තැනක් තිබුණෙත් නැහැ. මගේ මිතුරියක් සති දෙකකට ඇගේ නිල නිවාසයේ නවාතැන් දුන්නා.”

අභියෝග නිසා ඇය පසුබැස්සේ නැහැ. ඒ වෙනුවට ඇය තවත් දිරිමත් වුණා. සහකාර පොලිස් අධිකාරි විභාගය සමත් වූ ඇය මුලින්ම පත්වුණේ පොලිස් රෝහලට.

“2010දී මා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට බැඳුණා. එතැන සේවයත් මගේ ජීවිතයේ තවත් වැදගත් සන්ධිස්ථානයක්. ත්‍රස්තවාදී කටයුතු ගැන විමර්ශන කරනකොට මට හිතුණා දුප්පත්කම වැනි කාරණාත් ඒ සැකකරුවන් ත්‍රස්තවාදයට යොමුවෙන්නට හේතු වුණ බව. කාටවත් අසාධාරණයක් නොවන විදියට මම විමර්ශන කළා. ඒ අවුරුදු පහ ඇතුළත මගේ විමර්ශන කුසලතා සංවර්ධනය වුණා.”

2014දී ඇය නැවතත් එක්සත් ජාතීන්ගේ සාමසාධක සේවයට සම්බන්ධ වෙනවා. එවර ඇය සේවය සේවය කළේ හයිටි රාජ්‍යයේයි. එහිදී ඇය කණ්ඩායම් භාර නිලධාරිවරිය ලෙස සේවය කළා. ඇය එහි වසරක කාලයක් සේවය කරමින් හයිටි පොලිස් නිලධාරීන් පුහුණු කළා. ඒ වන විට කුඩා දරුවන් දෙදෙනෙකුගේ මවක වුණත්, ඇය එම අත්දැකීම ලබාගන්නට පසුබට වුණේ නැහැ. එම අභියෝගයේදී ඇයට ඇගේ සමීප ඥාතීන්ගේ සහයෝගය ලැබුණා.

පොලිස් සේවයේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවයට වඩා කුසලතාවලට ප්‍රමුඛතාව ලබාදිය යුතු බවයි ඇය පෙන්වාදෙන්නේ. පොලිස් සේවය යනු කාන්තාවන්ට ඉදිරියට යාමට හා අවස්ථා ලබාගැනීමට තෝතැන්නක් බවයි ඇගේ අදහස. පොලිස් දෙපාර්තමේන්තුවේදී බොහෝ දෙස් විදෙස් පුහුණුවීම්වලට සහභාගි වූ ඇය මේ වන විට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරනවා.

“මගේ තාත්තා මං පොලිසියට බැඳෙද්දි මට මෙහෙම කිව්වා. ළමයෝ, මම ඔය ළමයින්ට ඉගැන්නුවේ අනුන්ගේ දෙයක් කඩාවඩාගෙන නෙමෙයි මගේ මහන්සියෙන්ය කියලා ඔහු කිව්වා. රජයේ සේවකයෙකු ලෙස මම අදත් රාජකාරි කරන්නේ ඒ වචනය අනුවයි,” යි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්තා පද්මිනී වීරසූරිය සංවේදී ලෙස පැවසුවා.

Social Sharing

අවකාශය නවතම