බයියන් ලෙස ඇතැම් පිරිස් හැඳින්වීමේ තත්ත්වයක් දේශපාලන කතිකාවට එක් ව ඇත. බයියන් සහ ටෝයියන් ලෙසත්, ඊට වෙනස් ආකාරයෙනුත් විවිධ දේශපාලන පක්ෂ,ව්‍යාපාර සහ කණ්ඩායම් පිළිබඳව සඳහන් කරනු දක්නට ඇත. ඇතැම් විට පුද්ගලයින් සම්බන්ධයෙන් මෙන් ම උප කුලක ලෙස ද ඇතැම් හැඳින්වීම් දක්නට ලැබෙයි. බයියන්ට අමතරව ජෙබයියන්, සජබයියන් සහ ටොබයියන් ලෙස ද හඳුන්වන අවස්ථා ඇත. එම හැඳින්වීම් සිදු කරන්නේ ඇතැම් ගති ලක්ෂණ සහ හැසීරීම් පදනම් කරගෙන බව ද පෙනෙන්නට තිබේ.
දේශපාලන නායකයින්, පුද්ගලයින් සඳහා මෙම නාමකරණය යොදන අවස්ථා ඇත. 2019 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වූ අවස්ථාවේ එක් විචාරකයකු එය හඳුන්වා තිබුණේ “බයියන්ට ටෝයියෙක්, ටෝයියන්ට බයියෙක්” වශයෙනි.
අද දේශපාලන කතිකාවේ යොදාගන්නා බයියන් යන්න අතීතයේ යොදාගන්නා ලද්දේ ගමෙන් නගරයට පැමිණි පිරිස්වලට අපහාසයක් වශයෙනි. නගරයේ සමාජයෙන් ඔවුන් කොන් කරන ලද්දේ “ගොඩයන්” “බයියන්” නැතහොත් “ගොඩේ බයියන්” වශයෙනි. නගරෙයේ සමාජය එය යොදා ගන්නා ලද්දේ ගමෙන් පැමිණි පිරිස් කොන් කිරීමට සහ පීඩාවට ලක් කිරීමට ය.
අපි බයියෝ වෙමු
අපි බොහෝ දෙනෙකු ගම් වලින් නගරයට පැමිණි අය වන අතර ඒ අනුව සමාජයීය වශයෙන් බයියන් වෙමු. එමෙන් ම නගරෙයේ ජීවිතයට හුරු වුව ද , ටොයි සමාජය සමග පෑහෙන්නට නොගිය සහ ඔවුන්ගේ වටිනාකම් නොපිළිගත් මා වැනි බොහෝ දෙනා හැඳින්විය හැක්කේ සංස්කෘතික බයියන් වශයෙනි. ටොයි සමාජයේ තිබෙන පිළිගැනීම්, වටිනාකම් සහ ඇතැම් සිරිත් විරිත් සමග පැහීමක් අපට නැත. ඒ හා පෑහෙන්නට අපි කිසි දිනෙක උත්සාහ නොකෙළෙමු.
එම සමාජයීය සහ සංස්කෘතික බයිකමට වෙනස් ව, දේශපාලන බයිවාදය බයියන්ගේ ඇතැම් ගති ලක්ෂණ මත පදනම් වූ වෙන ම චින්තනයක් නැතහොත් හැසිරීම් රටාවක් ලෙස හඳුනාගත හැකි ය.
මෙය තේරුම් ගැනීමට නම් සැබෑ බයියන් කවුද කියා මදක් සොයා බැලිය යුතු ය.
බයියන් අපට හමුවන්නේ නගරයෙන් ඈත අතීතයේ පැවති නොදියුණු ගම්වලිනි. එම ගම්වල ජනයා නගරයේ හඳුන්වන ලද්දේ පෙර කී පරිදි බයියන් සහ ගොඩයන් වශයෙනි.
බයියන් ගැන අසන්නට ලැබුණු එක් අදහසක් නම් බ්රතාන්යයන්ට එරෙහිව 1818 කැරැල්ලට සහභාගී වී කැරැල්ලේ පරාජයෙන් පසු ඈත ප්‍රදේශවලට (නුවර කලාවියට) පසුබැස සැඟවුණු පිරිස බයියන් ලෙස හඳුන්වනු ලැබූ බව යි. ඒ බ්‍රිතාන්‍ය පාලකයින්ට බයේ සැඟවුණු පිරිස යන අර්ථයෙනි. එම අදහසේ සත්‍ය අසත්‍යතාවය අපි නොදනිමු.
බයියන්ට ප්‍රශ්නයක් නොවූ බයිකම
අප දන්නා නුවර කලාවියේ බයියන්ට නම් බයිකම ප්‍රශ්නයක් වුයේ නැත. ඔවුන් තමන්ව හඳුන්වා ගත්තේ ද බයියන් වශයෙනි. ඔවුන් “ ඒකා අපේ බයියෙක්” කියා කීවොත් ඒ කියන්නේ තමන්ගේ ගමේ කෙනෙක් නැතහොත් ඥාතියකු බව යි. බයියන්ට බයි බාසාවක් ද තිබිණි. තමන්ට දැනුනු ප්‍රශ්නයක් කියන විට “අදෝ, බයියෝ බලාපන් එයි දිහා” කියා එය ආරම්භ කරනු ඇත. බයියෝ යන්න ඔවුන් එකිනෙකාට කරන ආමන්ත්‍රණයකි..
එමෙන් ම ඔවුන් බයෙන් ජීවත් වූ පිරිසකි. පැරණි සමාජයේ රදළ පීඩනයට යටත්ව සිටි ඔවුන්ට ජීවත් වන්නට සිදු වී තිබුණේ රදළයින්ට සහ රජුට ඇති බිය සමග ය.
එමෙන් ම ඔවුන් නගරයට සහ පිටස්තර සමාජයට බියෙන් ජීවත් වූ බව ද පෙනී යන කරුණකි.
බයියන්ගේ ම නොවන අපේ පැරණි දරු නැලවිල්ලකින් කියැවුණේ “ මගේ පුතා හරි හපනා – දවසක කොළඹට යනවා – පනම් තුනක් පඩි කනවා – ඉන් පනමක් මට දෙනවා “ යනුවෙනි. එම මවට අනුව ඔවුන්ගේ දරිද්‍රතාවයට විසඳුම පුතා කොළඹට ගොස් රැකියාවක යෙදීම යි. පුතාගේ හපන්කම නම් ගමේ කුලෑටිකමෙන් මිදී කොළඹට යෑම යි. කොළඹ සමාජයට පිවිසීම යි.
බිය බයිකමේ ප්‍රධාන ලක්ෂණය යි
පැරණි ගැමියන් නගරයට බියවීම ගැන මෙබඳු නිරීක්ෂණ බොහොමයක් සොයාගත හැකි ය. මෙම බිය බයිකමේ ප්‍රධාන ලක්ෂණයකි.
දැන් අපි දේශපාලන බයිවාදය පරීක්ෂා කළහොත් එහි ද අපට දකින්නට ලැබෙන්නේ බිය යි. බොහෝ දේට බියවීම සහ හැම පැත්තකින් ම අවදානමක්, සතුරුකමක් දැකීම දේශපාලන බයිවාදයේ ප්‍රධාන ලක්ෂණය යි.
බටහිරට බියවීම, ඇමෙරිකාවට බියවීම, ඉන්දියාවට බියවීම, චීනයට බියවීම ආදිය නිසා බයියන් රටේ ආර්ථිකය ලෝකයට විවෘත කිරීමට බියවෙති. ඔවුන් බලන්නේ සහ පෙනී සිටින්නේ රට වටේ තාප්ප ගහගෙන ආරක්ෂා වීම වෙනුවෙනි. ආත්ම විශ්වාසයකින් යුතුව ලෝකය සමග ගනුදෙනු කිරීමට ඔවුන් දක්වන්නේ මාරාන්තික බියකි.
රට තුළ ද ඔවුන් අනෙක් ප්‍රජාවන්ට බියවෙති. දෙමළ ජනයාට, මුස්ලිම් ජනයාට බියවීම ඔවුන්ගේ දේශපාලනයේ ප්‍රධාන ලක්ෂණයකි. සිංහල බයි ජනයා සිතන්නේ දෙමළ, මුස්ලිම් ජනයා තමන් යටපත් කරනු ඇති බව යි. දෙමළ, මුස්ලිම් ජනයා සිතන්නේ සිංහලයා ඔවුන් යටපත් කරන බව යි. මේ බිය අවසානයේ ක්‍රියාත්මක වන්නේ වෛරයක් වශයෙනි.
විදේශ ආයෝජකයින්ට බියවීම, ව්‍යාපාරිකයින්ට බියවීම ආදී වශයෙන් මෙම බිය අපට බොහෝ අංශවල හඳුනාගත හැකි ය.
බිය නිසා ශක්තිමත් වන බයිවාදය
මෙම ඇතැම් බියවීම් සඳහා හේතු තිබිය හැකි ය. නමුත් දේශපාලන බයිවාදයේ කරන්නේ බිය අසීමිත ලෙස වර්ධනය කිරීම යි. එම දේශපාලනය පවතින්නේ ඒ ආකාරයෙනි.
දේශපාලන බයිවාදයේ දකින්නට ලැබෙන ජාතිකවාදය, වර්ගවාදය, ආර්ථික ජාතිවාදය, ආරක්ෂණවාදය ආදී සියල්ල ශක්තිමත් වන්නේ බය නමැති සාධකය මගින් බව පහසුවෙන් හඳුනාගත හැකි ය. ඒ සියල්ලෙන් කියන්නේ අපට තිබෙන භයානක අනතුරක් ගැන ය. එසේ කියා බයියන් බියවද්දා තම අරමුණු වෙනුවෙන් යොදාගැනීම බයිවාදී දේශපාලනයේ පිළිවෙත යි.
ටෝයිවාදය ඉතා පහසුවෙන් වෙනකොට හඳුනාගත හැකි ය. එමගින් යෝජනා කරන්නේ ලෝකය සමග නොබියව විවෘතව ගනුදෙනු කිරීමට ය. ලෝකයේ වෙනත් රටවල් අප සමග සියලු ගනුදෙනු කරන්නේ අප වෙනුවෙන් නොව ඔවුන්ගේ වාසිය වෙනුවෙනි. නමුත් දෙපාර්ශවයට ම වාසි අත් නොවන්නේ නම් ගනුදෙනු සිදුවන්නේ නැත. ලෝක වෙළෙඳාම සහ ජාත්‍යන්තර සබඳතා පවතින්නේ ඒ ආකාරයෙනි. එම යථාර්ථය තේරුම් ගෙන ආත්ම විශ්වාසයෙන් යුතුව විවෘතව ගනුදෙනු කිරීම ටොයිවාදී දේශපාලනය යි.
ටොයිවාදයේ හරය
මෙරට ටෝයිවාදයේ ප්‍රධාන ප්‍රකාශකයකු ලෙස සැලකිය හැකි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී සහ ජනාධිපතිතුමා සමග සාකච්ඡාවේ දී පැහැදිලිව කීවේ අපේ රට වටා බැඳ තිබෙන තාප්ප කඩා දමා හැම අතට ම පාලම් බැඳිය යුතු බව යි. ඒ කියන්නේ ලෝකය සමග විවෘතව ගනුදෙනු කළ යුතු බව යි. බයිවාදයේ බයට එරෙහි ටෝයිවාදයේ හරය එය යි. බයට එරෙහිව ආත්ම විශ්වාසය යි.
කෙසේ වෙතත්, බයියන්ගේ ජන්ම ගතියක් නැතහොත් සංස්කෘතික ලක්ෂණයක් වන බිය තුරන් කිරීම පහසු නැත. බිය මත පදනම් වූ බයිවාදය ශක්තිමත් දේශපාලන මතවාදයකි. එය විවිධ ස්වරුපවලින් ක්‍රියාත්මක වෙයි. එය ජනප්‍රිය දේශපාලනයකි. එමෙන් ම විනාශකාරී දේශපාලනයකි.
එබැවින් දේශපාලන බයිවාදය පරාජය කිරීම දුෂ්කර කටයුත්තකි. එමගින් ම ඇතිකරන විනාශය නිසා ඇතැම් විට බයිවාදය පරාජය වුවත්, එය වෙනත් ස්වරූපයකින් නැවත හිස ඔසවනු දැක ගත හැකි ය. එබැවින් නිරන්තර අවදානයෙන් සිටිමින් දිගට ම සටන් වැදීම අවශ්‍ය වෙයි.
yukthiya.lk