එදා රනිල්ට එරෙහි වීමෙන් අද විඳවන හඳුන්නෙත්ති – සී ජේ අමරතුංග

චීනයේ පැවති ලෝක ආර්ථික සමුළුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා සහභාගී වීමත් එහි දී විමසු ප්‍රශ්නවලට ඔහු නොගැළපෙන පිළිතුරු ලබා දීම සහ එහි දී ඔහුගේ ඉංග්‍රීසි දැනුමේ අඩුව ප්‍රදර්ශනය වීමත් සම්බන්ධයෙන් විශාල මාධ්‍ය කතිකාවත් ඇති වී තිබේ.

සමහරු ප්‍රශ්න කරන්නේ තමන්ගේ ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් නැති බව දැන දැන ම මෙබඳු ජාත්‍යන්තර සමුළුවකට සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයා සහභාගී වීම පිළිබඳව ය. වෙනත් අය කියන්නේ ප්‍රශ්නය ඉංග්‍රීසි දැනුම නොව ඔහුට ප්‍රශ්න නොතේරීම සහ ඒවාට පිළිතුරු දීමට දැනුමක් නොතිබීම බව යි. මේ ප්‍රශ්න දෙක එකිනෙකට වෙනස් බව බොහෝ දෙනා කියති. නමුත් මේ දෙකෙහි සම්බන්ධයක් තිබිය හැකි ය. ප්‍රශ්නවලට පිළිතුරු දීමට තරම් දැනුමක් සහ ධාරිතාවක් නොමැති වීමට හේතුව ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් නොවීම විය හැකි ය.

අද වන විට ලෝකයේ ආර්ථික, දේශපාලන මෙන් ම අනෙක් සියලු ක්ෂේත්‍රවල දැනුම වර්ධනය වන්නේ ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි භාෂාවෙනි. ඒ පිළිබඳ බොහෝ ප්‍රවෘත්ති පළ වන්නේ ද ඉංග්‍රීසියෙනි. ඒවා කියැවීමට එම සංවාද ඇසුරු කිරීමට ඉංග්‍රීසි දැනුම අවශ්‍ය ය. මේ වන විට සිංහල, දෙමළ භාෂාවලින් ද මෙම දැනුම යම් ප්‍රමාණයක් ඇතත්, ඉහළ දැනුම් මට්ටමක් ලබා ගැනීමට එම දැනුම ප්‍රමාණවත් නැත.

එබැවින් යම් පමණකට හෝ ඉංග්‍රීසි දැනුම නොමැතිව ඉහළ දැනුම් මට්ටමක් හෝ බුද්ධිමය ධාරිතාවයක් වර්ධනය කර ගැනීමේ හැකියාව ඉතා විරල ය.

ඇමති සුනිල් හඳුන්නෙත්ති තුළින් ද අපට  ප්‍රදර්ශනය වුයේ එම තත්ත්වය යි.

සුනිල් හඳුන්නෙත්ති යනු ජවිපෙ ප්‍රධාන නායකයෙකි. ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ ප්‍රධානියෙකි. ආණ්ඩුවේ ආර්ථික දර්ශනය සහ ප්‍රතිපත්ති පිළිබඳ වගකීම් දරන ප්‍රධානියෙකි. ආණ්ඩුවේ ආර්ථික දැක්ම පැහැදිලි කිරීමේ ධාරිතාවයක්, හැකියාවක් ඔහුට තිබිය යුතු ය. ලෝක ආර්ථික සමුළුව ඉදිරියේ ප්‍රදර්ශනය වුයේ ඔහුට එම හැකියාව නැති බව යි. එමෙන් ම ආණ්ඩුවේ ආර්ථික දර්ශනයේ දුර්වලතාවය ද ඒ මගින් පෙන්නුම් කළ බව පෙනෙන්නට තිබේ.

ඇමති හඳුන්නෙත්ති ද වින්දිතයෙකි

කෙසේ වෙතත්, අප තේරුම් ගත යුතු කාරණය නම් මෙය හුදෙක් සුනිල් හඳුන්නෙත්ති පිළිබඳ ප්‍රශ්නයක් නොවන බව යි. එමෙන් ම එය ජනතා විමුක්ති පෙරමුණට හෝ එහි නායකයින්ට සීමා වූ ප්‍රශ්නයක් ද නොවේ. මෙය අප රටේ වත්මන් පරම්පරාව ඇතුළු තරුණ පරම්පරා ගණනාවක් මුහුණ දී ඇති ඛේදවාචකයකි.

ඒ අනුව අප මෙන් ම හඳුන්නෙත්ති ද මෙම ඛේදවාචකයේ වින්දිතයෙකි.

මෙරට වත්මන් අධ්‍යාපනයේ ආරම්භය ලෙස යටත් විජිත පාලන සමය සැලකිය හැකි ය. විශේෂයෙන් බ්‍රිතාන්‍ය පාලනය යටතේ රජයේ සහ ආගමික ආයතනවල පාසල් ආරම්භ වී ය. එමන් ම ජාතික පුනරුදය යටතේ ආනන්ද, නාලන්දා වැනි පාසල් ද බිහිකරනු ලැබී ය. එම පාසල්වල ප්‍රධන අරමුණ වුයේ දේශීය ප්‍රජාවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම යි.

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ආරම්භ වන විට ස්වභාෂා අධ්‍යාපනය පිළිබඳ අදහසක් වර්ධනය වී ය. නමුත් එම අධ්‍යාපනය ගැන එකල කතා කළේ සාමාන්‍ය ජනයාට ලබාදෙන ප්‍රථමික අධ්‍යාපනය ස්වභාෂා විය යුතු ලෙස ය. මධ්‍ය මහා විද්‍යාලවල මෙන් ම පෞද්ගලික සහ ආගමික පාසල්වල ඉගැන්වීම් කළේ ඉංග්‍රීසියෙනි. උසස් අධ්‍යාපනය ද ලබාදෙන ලද්දේ ඉංග්‍රීසි භාෂාවෙනි. එකල බිහි වූ බොහෝ ප්‍රාඥයින් බිහි වුයේ එම අධ්‍යාපනය තුළිනි.

සිංහල පමණයි විපත

මෙම තත්ත්වයේ බරපතළ වෙනසක් සිදුවන්නේ 1956 න් පසුව ය. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමත් සමග ඉංග්‍රීසි අධ්‍යාපනය ද වෙනස් වී ය. රාජ්‍ය භාෂාව නොවන විට රජයේ සේවය සඳහා ද ඉංග්‍රීසි දැනුම අනිවාර්ය නොවන බවට පත්විය. එකල අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ වුයේ රාජ්‍ය සේවයට ඇතුළත් වීම යි. ඉන් පසු දශක ගණනාවක් තිස්සේ අපට දකින්නට ලැබෙන්නේ ඉංග්‍රීසි අධ්‍යාපනය නොසලකා හැරීමේ තත්ත්වයකි. සියලු දේ සිංහලෙන් කළ හැකි සහ කළ යුතු බව එකල පැවති ආධිපත්‍යධාරී මතවාදය යි.

ප්‍රතිඵලය වුයේ ඉන් පසු තරුණ පරම්පරා ගණනාවක් ඉංග්‍රීසි දැනුම නොමැති පිරිසක් බවට පත්වීම යි. ඒ නිසා ම ඉංග්‍රීසියෙන් වර්ධනය වන ලෝක දැනුම උකහා ගැනීමට නොහැකි පිරිසක් බවට මොවුහු පත්වුහ. මා ඇතුළු බොහෝ දෙනා ඇතුළත් වන්නේ එම පරම්පරාවන්ට ය.

මීට දින ගණනකට පෙර මහාචාර්ය නිර්මාල් රන්ජිත් මහතා පළ කළ වීඩියෝවක මාතෘකාව වුයේ “ මහාචාර්ය තනතුරට මා නුසුදුසු වන්නේ ඇයි?”  යන්න යි. ඔහු එහි දී පෙන්වා දෙන්නේ අතීතයේ සිටි මහාචාර්යවරු කෙතරම් ධාරිතාවක් සහ දැනුමක් සහිත පිරිසක් ද යන්න යි. ඔහු සඳහන් කරන අතීතයේ සිටි මහාචාර්යවරු බොහෝ දෙනා ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූ ඉංග්‍රීසියෙන් කටයුතු කළ අය වෙති. ඔවුන්ගේ ධාරිතාවය වර්ධනය වන්නේ එම ඉංග්‍රීසි අධ්‍යාපනය සමගින් ය.

මහාචාර්ය නිර්මාල් මෙහි දී තමා උපමා කොට කතා කරන්නේ මෙරට සමස්ත අධ්‍යාපනයේ පිරිහීම පිළිබඳව ය.

අපේ රට පසුගිය දශක කිහිපයක් තිස්සේ බුද්ධිමය පරිහානියකට යෑමට හේතු වූ ඛේදවාචකය එය යි.

ඉංග්‍රීසි දැනුම ගැන කතා කිරීමේ දී ඉංග්‍රීසි බසින් එදිනෙදා කටයුතු කර ගැනීමේ හැකියාව සහ එම භාෂාවෙන් බුද්ධිමය සංවාදවල යෙදීමේ හැකියාව අතර විශාල පරතරයක් තිබෙන බව ද තේරුම් ගත යුතු ය.

ඉංග්‍රීසි කියන්නේ කතාබහ පමණක් නොවේ

එමෙන් ම ඉංග්‍රීසි දැනුම නොමැතිකම එම භාෂාවෙන් එදිනෙදා කටයුතු කර ගැනීමේ ප්‍රශ්නයට වඩා බරපතළ වූ  තම දැනුම සහ ධාරිතාව වර්ධනය කර ගැනීමේ ප්‍රශ්නයක් ද වෙයි. අද ලෝක දැනුම විශාල  ලෙස වර්ධනය වන්නේ සහ සංවාද සිදුවන්නේ ඉංග්‍රීසියෙනි. එමෙන් ම ලෝකයේ ආර්ථික දේශපාලන තොරතුරුවලට ප්‍රවිශ්ට වීමට ද භාෂා දැනුම අවශ්‍ය වෙයි. ඉංග්‍රීසි භාෂා දැනුම නොමැතිව එම බුද්ධිමය සංවාදවලට සහ දැනුමට විවෘත වීම සහ එම දැනුම උකහා ගැනීම අපහසු ය. එවිට අපගේ දැනුම සහ ධාරිතාවය වර්ධනය වන්නේ නැත.

කාලයක් තිස්සේ අප කරගත් මෙම අපරාධයට අපි ද වගකිව යුත්තෙමු.

රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමතිව සිටිය දී 1982 ඉදිරිපත් කළ අධ්‍යාපන ධවල පත්‍රිකාවේ එක් ප්‍රධාන යෝජනාවක් වුයේ උසස් අධ්‍යාපනයේ දී ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කිරීම යි. එදා අපි එයට එරෙහි වී එය පරාජය කළෙමු. අප හිතුවේ එය ගම්බද ජනයාට අවස්ථා අහිමි කොට නාගරික මැද පන්තිකයින්ට උසස් අධ්‍යාපනය සීමා කිරීමේ උත්සහයක් වශයෙනි.

රනිල් පරදා ජයපැන් බීම

එවකට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නයකතිවය තිබුණේ ජනතා විමුක්ති පෙරමුණට ය. සභාපති ව සිටියේ පසුව පක්ෂයේ ප්‍රධාන නායකයකු වූ ඩී එම් ආනන්ද යි. අපි ජවිපෙට සම්බන්ධ නැතත් මොරටු සරසවියේ ශිෂ්‍ය සභාව වශයෙන් අවිවිශිබමයේ සාමාජිකයෝ වූයෙමු. මොරටුව ශිෂ්‍ය සභාවේ සභාපති ලෙස මම කටයුතු කළෙමි. අපි සියලු දෙනා එක්ව පාසල් සිසුන්ද සම්බන්ධ කරගත් විශාල විරෝධතාවයක් කොට ධවල පත්‍රිකාව පරාජය කොට ජයපැන් බීවෙමු. එහි ඇතැම් කොටස් එම රජය පසුව ක්‍රියාත්මක කළ ද ඉංග්‍රීසි අනිවාර්ය කිරීමට ඉන්පසු කිසිවකු කතා කළේ නැත.

අද හඳුන්නේත්තිත් ,ජනතා විමුක්ති පෙරමුණත්. අපත් විදවන්නේ එදා රනිල්ගේ යෝජනාවට විරුද්ධ වී එය පරාජය කිරීමේ පාපය යි.

මාලිමා ආණ්ඩුවට දිගට ම සහය දිය යුතු බව කියන මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා කියන්නේ අද ආණ්ඩු බලය හිමිව තිබෙන්නේ අඩු ම බුද්ධිමය ධාරිතාවක් ඇති පිරිසට බව යි. ඒ අප රටේ ඛේදවාචකය යි.

ලෝක ආර්ථිකයට විවෘත වීම, විදේශ ගතවීම් වැඩිවීම, අන්තර්ජාලය වැනි බොහෝ හේතු නිසා අද මෙම තත්ත්වයේ වෙනසක් සිදුවෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. නමුත් එය අද පවතින්නේ විශාල බුද්ධිමය සංවාද ලෙස නොව කෙටි පණිවිඩ සංවාද වශයෙනි. එනම් “ටික් ටොක් “ ඉංග්‍රීසි වර්ධනයකි. එය ඉන් ඉදිරියට යා යුතුව ඇත.

මේ විපත අප කරගත්තේ ජාතිකවාදයට කොටු වීමෙනි. දැන්වත් එම මෝඩ කමෙන් මිදීම අවශ්‍ය වෙයි.

yukthiya.lk

Social Sharing

අවකාශය නවතම