පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැඟව සිටීම හේතුවෙන් ඒ හරහා ශ්‍රී ලංකා පොලීසියට සිදුවන අපකීර්තිය වළක්වා ගැනීමේ අරමුණ ඇතිව පොලිස්පතිවරයා සොයා ගැනීමට විමර්ශන සිදු කළ කණ්ඩායම්වලට සහායවීම සඳහා මහජන සහාය පැතූ බව එවක පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කළේය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිදු කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව හමුවේ ජුලි 01දා සාක්ෂි ලබා දෙමින් බුද්ධික මනතුංග මහතා මේ බව ප්‍රකාශ කළේය.
පොලිස්පතිවරයා සොයා ගැනීමට යෙදවූ පොලිස් කණ්ඩායම්වලට දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා ගැනීමට නොහැකි වූ බවත් ඒ අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මහජන සහාය පැතීමට උපදෙස් ලබා දුන් බවද ඒ මහතා පැවසීය. ඒ අනුව පසුගිය මාර්තු 06 වැනිදා තමා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අදාළ ඉල්ලීම ජනතාවට ඉදිරිපත් කළ බව ද ඒ මහතා පැවසීය.
මේ අතර 2025 මාර්තු 06 වැනිදා තමා විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ලේ සංජීව ඝාතනයේ විමර්ශනවල ප්‍රගතිය, මිද්දෙණිය ඝාතනයේ විමර්ශනවල ප්‍රගතිය, වෙඩිතැබීම් ඇතුළු අපරාධ පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් යැයි ද සාක්ෂිකරු ප්‍රශ්න කිරීම් හමුවේ සඳහන් කළේය.
ජූලි 01 දින නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතාගේ පාර්ශ්වය සහ නීතිඥ සංජීව වීරවික්රම මහතා පෙනී සිටි වගඋත්තරකාර පාර්ශ්වයේ සාක්ෂි විමසීම අවසන් කළ බව පරීක්ෂණ කමිටුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රකාශ කළේය.
මෙම කමිටුව හමුවේ දෙපාර්ශ්වයම නියෝජනය කරමින් සාක්ෂිකරුවන් 37ක් කැඳවා සාක්ෂි මෙහෙය වූ බව කමිටු සාමාජික විනිසුරු නීල් ඉද්දවල මහතා පැවසීය.
පරීක්ෂණ කමිටුව වෙත ඊයේ දිනයේදී හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී වයි.එස්. කීර්තිසේන මහතා කැඳවා සාක්ෂි විමසීම සිදු කළේය.
මෙහිදී බුද්ධික මනතුංග මහතා විසින් සිදු කරන ලද මාධ්‍ය සාකච්ඡාවේ පටිගත කළ දර්ශන පරීක්ෂණ කමිටුව හමුවේ ප්‍රදර්ශනය කරන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා සිදු කළ යෝජනාවට වග උත්තරකාර පාර්ශ්වයේ නීතිඥ සංජය වීරවික්රම මහතා දැඩිව සිය විරෝධය පළ කළේය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම අදහස් සලකා බැලූ පරීක්ෂණ කමිටුව එය ප්‍රදර්ශනය කිරීම සිදු නොකිරීමට තීරණය කළේය.
පරීක්ෂණ කමිටුව හමුවේ දෙපාර්ශ්වයේම සාක්ෂි කැඳවීම අවසන් වූ අතර ලිඛිත දේශන මේ මස 8 වැනි දින භාරදීමට කමිටුව නිර්දේශ කෙරිණ.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා – දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු අධිකරණ නියෝගයෙන් පස්සෙ ඔබතුමා කාර්යභාරයක් සිදු කළාද?
පිළිතුර – ඔව් ස්වාමීනි, අධිකරණ නියෝගයෙන් පස්සේ මාධ්‍යය මේ සම්බන්ධයෙන් කිහිපවරක්ම මගෙන් ප්‍රශ්න කළා. මොහු සම්බන්ධයෙන්, දේශබන්දු තෙන්නකෝන් මහතා ඇයි අත්අඩංගුවට ගන්නෙ නැත්තෙ කියලා. මම 2025.03.06 වන දින මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස මා වෙත පවරා ඇති වගකීමක් තිබෙනවා. එහිදී පොලීසිය පාර්ශ්වයෙන් ජනතාව වෙත ජනගත කළ යුතු මත ජනතාව අතරට ගෙනයාම, පොලීසිය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් ක්‍රමවේද යටතේ සිදු කරන ප්‍රකාශ සිදුවීම් පිළිබඳ පොලිස් මතය ප්‍රකාශ කිරීම ඉන් කිහිපයක්. ඒ වගේම එදිනෙදා විද්‍යුත් මාධ්‍ය, පුවත්පත්, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ පොලීසිය සම්බන්ධයෙන් සිදුකරන මාධ්‍ය වාර්තා එක් රැස් කර ඒවා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම, අවශ්‍ය පියවර ගැනීම ආදියත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වෙත පැවරෙන වගකීමක්. එම කොට්ඨාසය සෘජුව පොලිස්පතිවරයාගේ අධීක්ෂණයට ලක් වෙනවා. ඒ වගේම යම් මාධ්‍ය සාකච්ඡාවක් සිදු කිරීමට පෙර මම පොලිස්පතිවරයා ඇතුළු අදාළ අංශවලින් විමසීම් සිදු කරමින් අවශ්‍ය තොරතුරු එක්රැස් කර ගැනීමත් සිදු කරනවා.
ඒ වගේම 2025-02-27 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කළා. ඉන් පසුව දින කිහිපයක් ගතවීමෙන් පසුවයි මෙම මාධ්‍ය සාකච්ඡාව සිදු කළේ. මොකද මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් විසින් මගෙන් වරින්වර විමසීම් කළා. ඒ අය සඳහන් කළා, පොලිස්පතිවරයා නිසාද අත් අඩංගුවට ගැනීමක් සිදු නොකරන්නේ කියලා. ඒ ආකාරයට පවා මාධ්‍ය විසින් ප්‍රශ්න කළා. ඒ අනුවයි මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේ. මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේ සුහුරුපායේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පිහිටි කොටසේ තිබෙන ශාලාවේදීයි. මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නට පෙර මම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස දැනට වැඩබලන පොලිස්පතිතුමාගෙන් විමසීමක් කළා. මේ සම්බන්ධයෙන් මම කුමන ප්‍රකාශයක් ද කරන්නෙ කියලා. එහිදී වැඩ බලන පොලිස්පතිවරයා මට ප්‍රකාශ කළා විමර්ශන කණ්ඩායම් සඳහා සහායවීම වෙනුවෙන් මහජන සහාය ඉල්ලා සිටින ලෙස. ඒ වගේම දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් මහජන සහය පතන ලෙස මෙන්ම ඒ මහතාට සැඟව සිටීමට සහාය දක්වන්නේනම් එයද දඬුවම් ලැබිය හැකි වරදක් බව ප්‍රකාශ කරන ලෙසද එතුමා මට උපදෙස් ලබාදුන්නා.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා –
ඔබතුමා දන්නවද දේශබන්දු තෙන්නකෝන් මහතා අතුරුදහන් වුණා කියලා.
පිළිතුර – ඔව් ස්වාමීනි, මම දැනගත්තා.
සභාපති විනිසුරු – අතුරුදහන් වුණා කියලා දැනගත්තේ කවදද?
පිළිතුර – අධිකරණ නියෝගයෙන් දින දෙකකට පමණ පසු ස්වාමීනි.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා – මෙම මාධ්‍ය සාකච්ඡාවට යන්න කලින් ඔබතුමා දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් තොරතුරු දැනගත්තාද?
පිළිතුර – ඔව්, මම දැනගෙන හිටියා මේ මාධ්‍ය සාකච්ඡාවේදී මීඩියාවලින් මේ සම්බන්ධයෙන් තොරතුරු අහනවා කියලා. දින ගණනාවක සිට මෙම තොරතුරු එක්රැස් කළා. එහිදී මට තේරුනා මොහු අත්අඩංගුවට ගන්න බැහැ කියලා. අයි.ජී. ගෙන් ඇහුවා දේශබන්දු තෙන්නකෝන් මහතා ගැන ඇහුවොත් මොකද කියන්නේ කියලා. අයි.ජී. කිව්වා මහජන සහාය පතන්න කියලා. මට ලැබුණු තොරතුරු අනුව සැඟව සිටියා අතුරුදන් වුණා කියන නිගමනයට මම ආවා එතනදී.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා – පොලීසිය ගැන අප්‍රසාදයක් තියෙනව කියලා ඔබ දැනගත්තාද?
පිළිතුර – මාධ්‍යවේදීන් මගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළා ස්වාමීනී මේ සම්බන්ධයෙන්. එහිදී ඔවුන් කිව්වා ඔයාලට බැරිද තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්න කියලා. බුද්ධි අංශ කෝ කියලා ඇහුවා . සමාජ මාධ්‍ය හරහා පොලීසිය හාස්‍යයට ලක්වුණා. ඒවායින් තමා මම තීරණය කළේ පොලීසිය මේ වෙනකොට අප්‍රසාදයට ලක්වෙලා තියෙන්නේ කියලා. ඒ අනුව සමාජ මාධ්‍ය තුළ පොලීසිය සම්බන්ධයෙන් හා මේ සම්බන්ධයෙන් බරපතළ ලෙස විවේචන සිදුකරන විට මම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස මගේ ෆේස්බුක් ගිණුම හරහා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙසයි ඒ අදහස් දැක්වීම් සිදු කළේ. මොකද දිගින් දිගටම විවේචන එල්ලවූ නිසා.
අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා – පොලිස් ඉතිහාසයේ අවුරුදු 160ක කාලය තුළ පොලිස්පති කෙනෙක් අත්අඩංගුවට ගන්න කියලා නියෝගයක් නිකුත් කරල තියෙනවද? පොලිස් ඉතිහාසයේ අධිකරණය මගහැර සැඟව සිටියා කියල ඔබ දන්නවද?
පිළිතුර – නැත ස්වාමීනී. මගේ දැනුම අනුව මරණ පරීක්ෂණ වාර්තාවකින් ලැබුණ නියෝගයකට මෙවන් සිද්ධියක් වෙලා නැහැ.
නීතිඥ සංජීව වීරවික්රම මහතා – හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරව අත්අඩංගුවට ගන්න කියලා අධිකරණයෙන් නියෝගයක් තිබුණ කියලා ඔබ දන්නේ නැද්ද?
පිළිතුර – දන්නව ස්වාමීනී. ඒත් මෙවන් සිද්ධියකට නොවේ.
නීතිඥ සංජීව වීරවික්රම මහතා – මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයෙහි පළවූ පෝස්ට්වලට ඔබතුමා කමෙන්ට් කළේ ඇයි?
පිළිතුර – මෙතුමාගේ ක්‍රියාකලාපය නිසා ඒ පළවෙච්ච පෝස්ට්වලින් පොලීසිය ලැජ්ජාවට පත්වෙලා තිබුණා. ඉන් මිදීමට පොලීසියේ මතය පළකරන්න තමයි මම කමෙන්ට් කළේ.
නීතිඥ සංජීව වීරවික්රම මහතා – මම යෝජනා කරනවා ඔබතුමා දේශබන්දු තෙන්නකෝන් සමග තිබ්බ පෞද්ගලික වෛරයක් පිරිමහගන්න තමයි මේ විදිහට කමෙන්ට් කරලා තියෙන්නේ.
පිළිතුර – නැත ස්වාමීනී. අප දෙදෙනා අතර ඉතා හොඳ සම්බන්ධතාවක් තිබුණා. එතුමා සමඟ මගේ කිසිම වෛරයක් තිබුණේ නැහැ.
නීතිඥ සංජීව වීරවික්රම මහතා – ඔබතුමා අද වෙනකොට පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරේ නැහැ නේද? ඉවත් කළා නේද?
පිළිතුර – ඉවත් කළා කියන එකට මම විරුද්ධයි ස්වාමීනී. මම දීර්ඝ කාලයක් ඉල්ලා හිටපු ස්ථාන මාරුව තමයි මට ලැබිල තියෙන්නේ.
නීතිඥ සංජීව වීරවික්රම මහතා – ඉෂාරා සෙව්වන්දි සොයන්න බැහැ කියලත් මේ වගේ මාධ්‍ය සාකච්ඡා තියල කිව්වද?
පිළිතුර – දේශබන්දු තෙන්නකෝන් හොයන්න බැහැ කියන එක එකක්. ඉෂාරා සෙව්වන්දි හොයන්න බැහැ කියන එක තව එකක්. මොහු රටේ පොලිස්පති. පොලිස්පති හොයන්න බැහැ කියන එකයි ඉෂාරා සොයන්න බැහැ කියන එකයි සංසන්දනය කරන්න බැහැ. ඒක පොලීසියට බලපාන්නේ ආකාර දෙකකට. පොලිස්පති හොයන්න බැහැ කියන එක තමයි පොලීසියට ලොකුවට දැනෙන්නෙ.
(අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී වයි.එස්. කීර්තිසේන මහතාගෙන් සාක්ෂි විමසීම.)
අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා – මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදුන් නියෝගයෙන් අනතුරුව ඔබට රාජකාරියක් පැවරුණාද?
පිළිතුර – ඔව් ස්වාමීනි.දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්න කියලා මගේ උසස් නිලධාරීන් මාව දැනුම්වත් කළා. එහිදී මට නිලධාරීන් 30කගේ කණ්ඩායමක් ලබාදුන්නා. ප්‍රදේශ විස්සක මම සෝදිසි මෙහෙයුම් කළා. නුගේගොඩ, ගම්පහ, නිට්ටඹුව, ගිරිඋල්ල, බෝපිටිය යන ප්‍රදේශවලත් සෝදිසි කළා.
අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා – දේශබන්දු තෙන්නකෝන් මහතා ඉන්නවද කියලා ඔබ ගිරිඋල්ල ප්‍රදේශයේ සෝදිසි කළාද?
පිළිතුර – ඔව්. මම දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ගිරිඋල්ල ප්‍රදේශයේ නිෙවසේ ආවේක්ෂණ රාජකාරි සඳහා නිලධාරීන් යෙදෙව්වා. එහිදී ඔහුගේ සහෝදරියගෙන් ප්‍රකාශයක් ලබාගත්තා.
අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා – දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඔහුගේ ගිරිඋල්ල නිවෙසේ සිටියාද?
පිළිතුර – නැත ස්වාමීනී.
අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා – එම නිවෙස ආශ්‍රිතව රාත්‍රී කාලයේ දී ආවේක්ෂණ රාජකාරි සිදුකළාද?
පිළිතුර – ඔව් ස්වාමීනි. දවස පුරාම ඒ ආසන්නයේ ආවේක්ෂණ රාජකාරි කළ බවට මගේ නිලධාරීන් මාව දැනුම්වත් කළා.
අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා – එම නිෙවසට දේශබන්දු තෙන්නකෝන් මහතා ආව නම්, බැහැරට ගියානම් ඔබගේ නිලධාරීන්ට සම්මුඛ වන්නට ඉඩ තිබෙනවාද?
පිළිතුර – ඔව් ස්වාමීනී. ඔහු ගමන් කළා නම් අනිවාර්යයෙන් අපේ නිලධාරීන්ට සම්මුඛ වනවා.
දිනමිණ – ස්වර්ණා විජේකෝන්