මේ ප්‍රශ්නය, මගේ සමාජ මාධ්‍ය – පණිවිඩවල සහ කතා-බහ කරනවිට ඇසුණ, සාකච්ඡා කළ ප්‍රශ්නවලින් එකක්ය. ඇතැම් අයගේ තිබුණේ ප්‍රශ්නයකටත් වඩා බලාපොරොත්තු කඩවීම පිළිබද දුක්මුසු හැගීමක්, ඒ හැගීම ප්‍රකාශ වූ එක් ක්‍රමයක් තමයි මේ වචන කිහිපය, ‘එයා කිව්වාම, මෙයාලා කරයි ද?’ මෙය මතුව තිබුණේ, ජුනි 27 අප විසින් පළකල පෝස්ට් එකක් සම්බන්ධයෙනි. එහි මෙසේ සදහන් වී තිබිණි. ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද පනත(OSA) අහෝසි කරන්න’ – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් වෝල්කර් ටර්ක්ප (Volker Türk) විසින් ආණ්ඩුවට අවධාරණය කරයි’ යනුවෙනි.
මෙයට පදනම් වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් Volker Türk ශ්‍රී ලංකාවේ සිදුකළ නිළ සංචාරය නිමා කරමින් පැවති මාධ්‍ය හමුවේදී දක්වන ලද අදහස්ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද පනත අහෝසි කිරීම පිලිබද සෘජු – පැහැදිලි අදහසක් මහකොමසාරිස්වරයා විසින් ආණ්ඩුවට ලබා දී තිබුණි. එවැනි ආකාරයේ තවත් ඉතා වැදගත් ප්‍රතිසංස්කරණයන් මාළිමාණ්ඩුවට යෝජනා කර තිබිණි. සමරිසි විවාහය අපරාධයක් නොවන බවට යෝජනා කරන පවතින පනත් කෙටුම්පත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දිගු කාලීනව රඳවාගෙන සිටින රැඳවියන් නිදහස් කිරීම, පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය ආදී කරුණු පිළිබද ප්‍රශස්ත අදහස් ඔහු විසින් ඉදිරිපත් කර තිබිණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA), මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද පනත(OSA) අහෝසි කිරීම සහ ජාතික ජන බලවේගය(NPP)
මෙම පනත් දෙකම අහෝසි කිරීම සම්බන්ධයෙන් ඊයේ(26) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරයා විසින් ආණ්ඩුවට අවධාරණය කිරිමට පෙර, එය අහෝසි කරනවා යැයි පවසන ලද්දේ ජාතික ජන බලවේගයයි.(වසර ගණනාවක සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු ජාත්‍යන්තර සංවිධානත්, දේශිය සංවිධාන ඇතුලු පුරවැසියන් විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයැයි ප්‍රභල ව්‍යාපාරයක් තිබූ/තිබෙන බව අප අමතක නොකළ යුතුය) විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ වැදගත්කම ගැන පුන පුනා කීවේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු ජතික ජන බලවේගයයි. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද පනත (Online Safety Act – OSA) අහෝසිකරනවා යැයි පවසන ලද්දේ ද වර්තමාන අගමැතිණී හරිණි අමරසූරිය යි. එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුලු මර්දනීය පනත් අහෝසි කිරීම සම්බන්ධයෙන් පැවති කිසිදු ආණ්ඩුවකට වඩා ප්‍රභල හඩක් මතු කරන ලද දේශපාලන පක්ෂ අතුරින් ජනතා විමුක්ති පෙරමුණ(JVP) ඇතුලු ජාතික ජන බලවේගය(NPP) ප්‍රමුඛත්වයේ සිටියේ ය.
ඒ ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගැනීමට පෙරය.
දැන් ඔවුන් ආණ්ඩු බලය ලබා ගෙන ඇත. නමුත් දැන් ඔවුන් ඒ සම්බන්ධයෙන් පවසන්නේ ‘අපි ඒ ගැන සමාලෝචනය කරනවා’ යන්නය. මේ තමයි බලය ලබා ගැනීමට පෙර ජනතාව හමුවේ දෙන ලද පොරොන්දු බලය ලබා ගත් පසු අමු අමුවේ නග්න ලෙස වෙනස් කරන, ශ්‍රී ලංකාවේ කාලයක් තිස්සෙ පවතින ජරා ජීර්ණ දේශපාලන සංස්කෘතියේ ප්‍රමුඛ ලක්ෂණය ය. එය වෙනස් කරනවා යැයි සපත කරමින් පැමිණි ජාතික ජන බලවේගයත් මේ කාරණයේදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද දේශපාලන සංස්කෘතියේම කොටසක් නියෝජනය කරනවා යැයි කීවොත් එය මේ කරුණ ඇසුරින් නිවැරදි නොවන්නේද? වසර ගනනාවක් පුරා දේශීයවත්, ජාත්‍යන්තරවත් දැඩි විවේචනයට ලක්වූ මර්දනීය පනතක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ගැන අද මේ නව ආණ්ඩුව දරමින් සිටින ස්ථාවරය පිළිබද ඔවුන් ලැජ්ජා විය යුතුය. බලය ලබා ගැනීමට පෙර OSA අහෝසි කරනවා යැයි කියූ ජාතික ජන බලවේගය දැන් ඔවුන්ගේ එම ප්‍රතිපත්තිය වෙනස් වී තිබීම ගැනද ලැජ්ජාවට පත්වීම පමණක් නොව, එසේ වන්නේ නම්, පරණ දේශපාලන කුණු කූඩයට වැටෙන්නට නියමිත බව ද තේරුම් ගත යුතුය.
එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා විසින් මෙම පනත් 2ක සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් එම පනත් දෙකම අහෝසිකළ යුතු යැයි ආණ්ඩුවට අවධාරණය කරන ලද්දේ මෙවැනි සංදර්භයක් තුළ ය.
‘ඔව්, එයාලා කිව්වට එයාලට කරන්න පුලුවන්ද?’
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාට හෝ එවැනි ජාත්‍යන්තර සංවිධානයකට හෝ එහි නියෝජිතයෙක්ට රාජ්‍යක නීති වෙනස් කරන්න, විශේෂයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් රාමුවට නොගැලපෙන නීති අහෝසි කරන්න හෝ ප්‍රතිසංස්කරණය කරන්න යෝජනා කළ හැකියි. ඒ පිළිබද ආදාළ රාජ්‍යන් වෙත අවධාරණය කළ හැකියි. එය ලංකාවටත් පොදු තත්ත්වයකි.
නමුත් අතිශය මර්දනීය නීතියක් වුවත්(PTA වැනි) අහෝසි කිරීමට යෝජනා කිරීමත්, අහෝසි කිරීමට අවශ්‍ය යටිතල පහසුකම්(තේරුනේ නැතිනම් තේරුම් කර දීමත් ආදී 🙂 ) සකස් කිරීමත් කළ හැකි වුවත්, ඔවුන්ට එය ප්‍රායෝගිකව කළ නොහැකියි.
එය සිදුකල යුත්තේ අදාළ රාජ්‍ය විසින්ය. මෙම තත්ත්වය තුළ අප විසින්ය. ‘ශ්‍රී ලංකාව’ නම් රාජ්‍ය විසින්ය.
තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, ජාත්‍යන්තර මානව හිමිකම් රාමුව තුළ රාජ්‍යයක නීති පද්ධතිය, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, ICCPR, සහ වෙනත් ගිවිසුම්වලට අනුකූල විය යුතු බව පිළිගත් මතයකි. PTA සහ OSA වැනි පනත්, ප්‍රකාශනයේ නිදහස, අත්තනෝමතික රඳවා ගැනීමෙන් වැළැකී සිටීමට ඇති අයිතිය, වධ හිංසාවට ලක්නොවී සිටීමේ අයිතිය සහ පුද්ගලික නිදහස – ආරක්ෂාව යනාදි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට හඳුනාගෙන ඇති තත්ත්වයකි. එවැනි තත්ත්වයක් තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාට, මෙවැනි පනත් අහෝසි කිරීමට යෝජනා කළ හැකි වුවත්, ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම රාජ්‍යය සතුය. එම මර්දනීය නීති අප විසින් අහෝසි කිරීමට කිසිදු උත්සහයක් නොගන්නේ නම් ප්‍රශ්ණය ඇත්තේ ‘අපගේ ශිෂ්ටත්වය තුළ’ මිසක් වෙනත් තැනක තැනක නොවේ.
අප විසින් එය සිදුනොකරන්නේ නම් කුමක් විය හැකිද?
ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව(ජාතික ජන බලවේගය) තමන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමටත්, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමටත් බැඳී සිටී. PTA සහ OSA අහෝසි නොකිරීමෙන්, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බලපෑම්, ආර්ථික තත්ත්වයට අහිතකර තත්ත්වයන්ට මෙන්ම දේශීය අස්ථාවරත්වයට මුහුණ දීමට සිදුවිය හැකි අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී හා ආර්ථික ස්ථාවරත්වයට තීරණාත්මකව බලපෑ හැකිය.
එසේම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) යෝජනා යටතේ, මානව හිමිකම් තත්ත්වයන් පිළිබඳව නිරන්තර සමාලෝචනයට ලක්වේ. PTA සහ OSA අහෝසි නොකිරීම, මෙම යෝජනාවලට අනුකූල නොවීමක් ලෙස සැලකිය හැක. UNHRC හි 2026 මාර්තු සැසිවාරයේදී, ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයක් සිදුවනු ඇත. PTA සහ OSA පිළිබඳව කිසිදු ප්‍රගතියක් නොමැති නම්, ශ්‍රී ලංකාව පිළිබද තවදුරටත් යෝජනා හෝ බලපෑම් එල්ල විය හැක.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව, සහ යුරෝපා සංගමයේ GSP+ වරප්‍රසාද යනාදිය මත ශ්‍රී ලංකාවේ ආර්ථිකය රඳා පවතී. මානව හිමිකම් උල්ලංඝනයන්, විශේෂයෙන් PTA හා OSA හේතුවෙන්, මෙම ආයතන ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර හෝ වරප්‍රසාද පිළිබද ප්‍රශ්ණ මතු විය හැක. 2010 දී, ශ්‍රී ලංකාවට GSP+ වරප්‍රසාද අහිමි වූයේ මානව හිමිකම් පිලිබද අහිතකර තත්ත්වයන් හේතුවෙනි. PTA සහ OSA අහෝසි නොකිරීම, GSP+ වරප්‍රසාද නැවත අහිමි වීමට හෝ IMF ණය ලබා ගැනීමේදී දැඩි කොන්දේසි ඉදිරිපත් වීමට හේතු විය හැක. එබැවින්, GSP+ අහිමි වීම, ශ්‍රී ලංකාවේ රෙදිපිළි අපනයන කර්මාන්තයට බරපතළ ලෙස බලපාන අතර, රැකියා අහිමි වීම හා ආර්ථික අස්ථාවරත්වය තවත් උත්සන්නවනු ඇත.
PTA සහ OSA අහෝසි නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විවේචන තීව්‍ර වීම, රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට බලපානු ඇත. යුරෝපා සංගමය, එක්සත් ජනපදය, සහ කැනඩාව වැනි රටවල්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයන් පිළිබඳව දැඩි ස්ථාවරයක් දරණ අතර එය ඉදිරියේදී තවදුරටත් තීව්‍ර විය හැක.
එසේම, ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම් (ICCPR, CAT) වලට බැඳී සිටින රාජ්‍යයකි. එබැවින් එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාගේ යෝජනාවලට අනුකූල නොවීම, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර විශ්වසනීයත්වයට හානිකර තත්ත්වයක් උදාවිය හැකිය. එවැනි සහ තවත් එවන් ආකාරයේ මානව හිමිකම් පිළිබද ගැටලු සහගත තත්වයන් මත, ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර වේදිකාවලදී “මානව හිමිකම් උල්ලංඝනය කරන රාජ්‍යයක්” ලෙස හඳුනා ගැනීමට ලක්විය හැක. මෙය, ජාත්‍යන්තර සහයෝගීතාවලට හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට දැඩි ලෙස හානිකරනු ලබයි. ජාත්‍යන්තර විශ්වසනීයත්වයට හානි වීම වැනි බලපෑම් ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලනික ස්ථාවරත්වයට තර්ජනයක් බව ශ්‍රී ලංකා ආණ්ඩුව අවබෝධකර ගත යුතුය. එබැවින්, ආණ්ඩුව පොරොන්දු වූ පරිදි වහාම මෙම මර්දනිය නීති අහෝසි කිරීමට පියවර ගත යුතුය.
එය එසේ නොවන්නේ නම්, සෑම විටම මෙන් ඒක ‘ජිනීවා ප්‍රශ්ණයක්’ සේ සලකා සැපට නිදා ගත හැකිය. නමුත් ඒ ‘සැප’ නින්ද තාවකාලික බව අප සිහිතබා ගත යුතුය. “ජිනීවා ප්‍රශ්නයක්” ලෙස ගනිමින් PTA සහ OSA අහෝසි කිරීම පිළිබඳ ‘සමාජ වගකීම’ අමතක කර, තාවකාලික “සැප” නින්දකට රට ඇද දමන්න කිසිවෙක්ටවත් ඉඩ නොතැබිය යුතුය. එවිට, එවන් නින්දකින් අවදි වන විට, ජනතාවගේ බලාපොරොත්තු බිඳවැටී, යුක්තිය මරා දමා, ජාතික සමගිය, නිදහස හා ගෞරවය ගැඹුරු කුණුකන්දල්වල ගිලී ඇති රටක ඛේදවාචකය අපිටම මුණගැසෙනු ඇත.
එබැවින්, එවන් තත්ත්වයකට පත්නොවී සිටීමට ආණ්ඩුවට බලකිරීම මේ මොහොතේ අප සියලු පුරවැසියන්ගේ ප්‍රමුඛ වගකීමකි! අපි එය ඉටු කරමු!
සම්පත් සමරකෝන් - vikalpa.org