රජය වත්මන් සිදුවීම් කෙරෙහි ප්‍රවේශමෙන් අවධානය යොමුකරමින් සිටින බව පෙනේ. අතීතයෙන් උරුම වූ බරපතල ආර්ථික අර්බුදයක් සමඟ රට තවමත් පොරබදමින් සිටී. පසුගිය වසර 76න් වැඩි කාලයක් ශ්‍රී ලංකාව පාලනය කළ ‘ඒකාබද්ධ විපක්ෂයෙන්’ ද රජයට ප්‍රබල අභියෝග පැමිණෙමින් තිබේ. ඒ සමඟම, ලෝකය තමන්ගේම අර්බුදවලට මුහුණදෙයි. නිදසුනක් වශයෙන්, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපද-ඊශ්‍රායල් ඒකාබද්ධ ප්‍රහාර එල්ලවී ඇති අතර, එහිදී අන්තර්ජාතික නීති නොසළකා හැර ලැබේ. එවැනි දුෂ්කර හා අවිනිශ්චිත කාලයකදී, රජය ඥානවන්තව ක්‍රියාකළ යුතු අතර, දේශපාලන විශ්වාසයන් මත පමණක් පදනම් වූ අවදානම් වළක්වා ගත යුතුය. විශේෂයෙන් කුඩා හා අඩු සංවර්ධිත රටවලට, ගෝලීය දේශපාලනයේ යථාර්ථයන් සහ පීඩන සමඟ රජයේ අදහස් සහ ඉලක්ක සමතුලිත කිරීම වැදගත් වේ.
කෙසේ වෙතත්, ගෝලීය බලය ක්‍රියාත්මක වන ආකාරය රජය පැහැදිලිව තේරුම් ගෙන ඇති බව පෙනේ. ආර්ථික අර්බුදයට මුහුණදීමට උත්සාහ කරන ආකාරයෙන් මෙය පැහැදිලි වේ. ආණ්ඩුවේ නායකයන්ට මාක්ස්වාදී විශ්වාසයන් තිබුණත්, ඔවුන් ගෝලීය ධනේශ්වර ක්‍රමය හෝ මූල්‍ය ආධාර සඳහා ලෝකයේ අවසාන විකල්පය ලෙස හඳුන්වන අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) වැනි බලවත් ආයතන විවේචනය නොකරයි. ඒ වෙනුවට, රජය ආර්ථිකය නිවැරදි කිරීම සඳහා IMF හි නිර්දේශ අනුගමනය කරයි. මෙම ආකාරයේ ප්‍රවේශයක් සමහර දේශපාලන චින්තකයන් ‘සමතුලිත හැසිරීම’ ලෙස හඳුන්වයි, එනම් රජය ගෝලීය බල ව්‍යුහයට ගැලපෙන පරිදි තම ක්‍රියාවන් සකස් කරමින් සිටීමයි. රජය අන්තර්ජාතික ආයතනවල බලපෑම හඳුනාගෙන, එම යථාර්ථයට ගැලපෙන පරිදි තම ප්‍රතිපත්ති සකස්කරමින් සිටින බව එයින් පෙන්නුම් කෙරේ.
ගෝලීය මූල්‍ය දෘෂ්ටි කෝණයකින්, IMF නියෝජනය කරන්නේ වත්මන් අන්තර්ජාතික ආර්ථික ක්‍රමය වන අතර, එය ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලැබේ. කෙසේවෙතත්, IMF සැලැස්ම විසින් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන අධික ආර්ථික බර ලිහිල් කර නැත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ පෙර ආණ්ඩුව විසින් මුලින් සිදුකරන ලද ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගනුදෙනුවේ බොහෝ කොටස් වත්මන් ආණ්ඩුව අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි. රජය IMF ගිවිසුමට ඇලී සිටීමට හේතුව, මේ මොහොතේ වඩා හොඳ විකල්පයක් නොපෙනීමයි. 2025 ජුනි 15-16 දිනවල ඉහළ පෙළේ IMF කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔවුන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ඔවුන්ගේ සංචාරය IMF ඇපකරය සහ ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අඛණ්ඩ සාකච්ඡාවල කොටසක් විය.
ද්විත්ව අර්බුදය
ශ්‍රී ලංකාව මෑතකදී අන්තර්ජාතික ණය ගෙවීමට අපොහොසත් වී බංකොලොත්භාවයට පත්විය. භාණ්ඩ හා සේවා 70% ක් පමණ වූ ඉතා ඉහළ උද්ධමනයකට මුහුණදුන් අතර දරිද්‍රතා මට්ටම් දෙගුණ විය. දැන් එය සෑම හතරදෙනකුගෙන් එක් අයකුටම බලපායි. මේ නිසා, අවදානම් තීරණ ගැනීමට රජයට හැකියාවක් නැත. රටේ ආර්ථිකය සහ එහි ජනතාව ආරක්ෂා කිරීම සඳහා, රජයට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) සහාය අවශ්‍ය වේ. වැරදි සඳහා ඉඩක් නොමැති බවට IMF අනතුරු අඟවා ඇති අතර, ශ්‍රී ලංකාවේ පෙර IMF වැඩසටහන් 16 න් අඩක් පමණ අසාර්ථක වූයේ, රට අතරමගදී ගමන් මාර්ගය වෙනස් කළ නිසා බව පෙන්වා දී ඇත. IMF හි පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් විසින් මෑතකදී කළ සංචාරයේදී අවධාරණය කරන ලද පරිදි, IMF පිළිබඳ සුපුරුදු මාක්ස්වාදී විවේචන ආණ්ඩුව විසින් පසෙකට දමා ඇත්තේ මන්දැයි යන්න මෙම අනතුරු ඇඟවීමෙන් පෙන්නුම් කෙරේ.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණදෙනවා පමණක් නොව, වසර 30ක සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා හේතුවෙන් රටේ කීර්තිනාමයට එල්ලවන ගෝලීය අභියෝගයක් හමුවේද පසුවෙයි. පසුගිය සතියේ, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වොල්කර් ටර්ක් ශ්‍රී ලංකාවට පැමිණියේය. එය 2016 වසරින් පසු එක්සත් ජාතීන්ගේ ඉහළම මානව හිමිකම් නිලධාරියෙකුගේ පළමු ශ්‍රී ලංකා සංචාරයයි. එම සංචාරය මෑත කාලීන IMF සංචාරය තරම් සාර්ථක කර ගැනීමට රජය දැඩි උත්සාහයක් දැරූ බව දැකගත හැකිවිය. විවිධ ප්රජාවන්ගෙන් පැමිණි ජනතාව හමුවීමට මහකොමසාරිස්වරයා රටේ උතුර හා නැගෙනහිර ප්‍රදේශවලට ගමන් කළේය. උතුරේ චෙම්මනි හි අලුතින් සොයාගත් සමූහ මිනීවළ නැරඹීමට ද ඔහු කටයුතු කළේය. රජය විවිධ පීඩන ප්‍රවේශමෙන් සමතුලිත කරන බව පෙනේ. එක් පැත්තකින්, එය ආණ්ඩුව සිය මාක්ස්වාදී පසුබිමට සමීපව සිටින අතරම, IMF හි ආර්ථික උපදෙස් ද අනුගමනය කරයි. ඒ සමඟම, රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පරීක්ෂණ සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.
චෙම්මනි සමූහ මිනීවළ නැරඹීම විශේෂයෙන් වැදගත් විය. අතීතයේ සිට පැවැති දුෂ්කරම හා මතභේදාත්මක කාරණයක් වන්නේ, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා යුද අපරාධ සිදුකළ බවට එල්ල වන චෝදනාවයි. දේශපාලන නායකයන් සහ ජනතාවගෙන් බහුතරයක් ඇතුළු බොහෝදෙනෙක් වසර 30 ක යුද්ධයේදී සටන් කළ සොල්දාදුවන් හඳුන්වන්නේ ‘රණ විරුවන්’ ලෙසිනි. මේ නිසා, ඔවුන්ට දඬුවම් කිරීමට එරෙහි දැඩි චිත්තවේගී හා දේශපාලනික විරෝධයක් පවතී. බොහෝ රටවල, සත්‍ය කොමිශන් සභා හෝ අධිකරණ හරහා අතීත ගැටුම් සමඟ කටයුතු කිරීමේදී බොහෝ විට ජාතික අභිමානය, මිනිසුන් අතීතය සිහිපත් කරන ආකාරය සහ වින්දිතයන්ගේ අයිතිවාසිකම් සමතුලිත කිරීම සිදුකරනු ලබයි. ප්‍රවේශමෙන් හසුරුවා නොගතහොත්, මෙම ගැටළු සමාජය තුළ බරපතල එකඟ නොවීම් ඇති කළ හැකිය.
තවත් පූරණය කළයුතු තැන් ඇත
එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය, මෑතකදී IMF කළ සංචාරයට වඩා චිත්තවේගීය හා දේශපාලනික වශයෙන් සංවේදී වූ බව දැකගත හැකිවිය. IMF සංචාරයේ දී රජය සිය මූල්‍ය ඉලක්ක සපුරාගැනීමට සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට දිරිගැන්වීම කෙරෙහි අවධානය යොමු කළ අතර, ඒවා සාමාන්‍යයෙන් දැඩි හැඟීම් ඇති නොකරයි. එසේ වුවද, IMF සාකච්ඡා අතරතුර රජය ඇතැම් ගැටළු මඟහැරියේය. මෙයින් එකක් වූයේ පාඩු සිදුවන ජාතික ගුවන් සේවය වැනි රජය සතු වත්කම් පෞද්ගලීකරණය කිරීමයි. රජය සතු සමහර සමාගම් විකුණන්නේ නැති බව රජය පැහැදිලි කර ඇත. ප්‍රතිසංස්කරණ අවශ්‍ය වුවද, ජාතික වත්කම් ආරක්ෂා කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ සංචාරය IMF සංචාරයට වඩා බෙදීමක් ඇතිකළ බව දැකගත හැකිවිය. මන්ද, අතුරුදහන්වූවන්ට සිදුවූයේ කුමක්දැයි සොයාබැලීම සහ යුද අපරාධවලට වගකිව යුතු අයට දඬුවම් කිරීම වැනි අතීතයේ සංවේදී කරුණු සමඟ එය කටයුතු කර බැවිනි. 2015 දී, පෙර ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) යෝජනා 30/1 ට සහාය දීමෙන් මෙම ගැටළු විසඳීමට උත්සාහ කළේය. කෙසේවෙතත්, ප්‍රතිවාදී දේශපාලන පක්ෂ සහ ජාතිකවාදී කණ්ඩායම්වල දැඩි විරෝධයට මුහුණදීමට සිදු වූ බැවින් එයට එතරම් ප්‍රගතියක් ලබාගත නොහැකි විය. දැන්, මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්ක් චෙම්මනි මිනීවල පවතින ස්ථානයට පැමිණ ප්‍රදේශය පරීක්ෂා කර විවිධ ප්රජාවන්ගෙන් පැමිණි පුද්ගලයන් සමඟ කතාකරයි. මෙයින් පෙනීයන්නේ රජය අන්තර්ජාතික ප්‍රජාවට සහාය දිය හැකි වඩාත් විවෘත හා පොදු ප්‍රවේශයක් භාවිත කරන බවයි.
IMF සහ එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම් දෙකෙහිම ප්‍රතිඵල සමඟ ජීවත්වීමට සිදුවන්නේ ශ්‍රී ලංකා රජයට සහ ජනතාවටයි. අන්තර්ජාතික ප්‍රජාවේ නිලධාරීන් පැමිණ පිටව යා හැකි නමුත්, ඔවුන් හමුවේ ලබාදෙන ඕනෑම පොරොන්දුවක හෝ තීරණයක දිගුකාලීන බලපෑමට ශ්‍රී ලංකාවේ ජනතාවට මුහුණදීමට සිදුවනු ඇත. විසඳුම් සෙවීමේදී ශ්‍රී ලාංකික හඬට, දේශපාලන නායකයන් සහ සිවිල් සමාජයේ සාමාජිකයන් යන දෙපිරිසම ඇතුළත් කිරීම වැදගත් වන්නේ එබැවිනි. ඔවුන්ගේ සහයෝගය අවශ්‍ය වේ. ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තුවේ සහ මහජනතාව අතර විවෘතව සාකච්ඡා කළහොත් ඒවා කල් පවතිනු ඇත. ඉඩම් ආපසු ලබාදීම, සිවිල් ප්‍රදේශවල හමුදා පැවැත්ම අඩුකිරීම සහ වින්දිතයන් සඳහා වන්දි වැඩිකිරීම වැනි සමහර ක්ෂණික පියවර මගින් රජයේ සැබෑ කැපවීම පෙන්නුම් කළ හැකිය. අවසානයේ දී, පිටතින් බලහත්කාරයෙන් නොව, කල් පවතින විසඳුම් රට තුළින්ම පැමිණිය යුතුය.