මෙම වසරේ මුල් මාස 05 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණිලි 2,000ක්

 

2025 වසරේ ගතවූ මාස 05 ඇතුළත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණිලි 2,000 ඉක්මවා ලැබී ඇති බව වාර්තා වේ.

කොමිසන් සභාව පවසන ආකාරයට අනුව 2025 වසරේ ජනවාරි මස පළමුවනදා සිට මැයි මස 31 වනදා දක්වා කාලය තුළ කොමිසන් සභාව වෙත පැමිණිලි 2,138ක් ලැබී ඇති බවයි. තවද 2024 වර්ෂයේ ඉතිරිව ඇති පැමිණිලි ද සමගින් මේ වන විට කොමිසන් සභාව සතුව පවතින සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2,221ක් බවයි.

එමෙන්ම ඉන් පැමිණිලි 224ක් විමර්ශනයට නියෝග කර ඇති අතර ප්‍රමාණවත් කරුණු නොතිබීම හා පනතට අදාළ නොවීම යන කරුණු මත පැමිණිලි 524ක් විමර්ශනය නොකිරීමට තීරණය කර ඇත. පැමිණිලි 282ක් විමර්ශනය සඳහා වෙනත් ආයතන වෙත යොමු කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් මේ වසරේ ගත වූ මාසය 05ට අදාළව නිකුත් කළ ප්‍රගති වාර්තාවේ දැක්වේ.

මෙම කාලය තුළ අල්ලස් කොමිසම විසින් සමස්ත වැටලීම් ප්‍රමාණය 44ක් සිදුකර ඇති අතර ඉන් සාර්ථකවූ වැටලිම් ප්‍රාමාණය 25කි. එන් සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව ගතවූ මාස 05 තුළ අල්ලස් කොමිසම විසින් මහාධිකරණයේ නඩු පැවරීම් 42ක් සිදුකර ඇති අතර හිටපු අමාත්‍යවරයෙකු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු, ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු, පොලිස් නිලධරීන් 11 දෙනෙකු ඇතුළු චූදිතයින් 45 දෙනෙකුට අදාළව එම නඩු පැවරීම් සිදුකර ඇති බව සඳහන් වේ.

එමෙන්ම අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවලට අදාළව අදාළ කාලය තුළ හිටපු අමාත්‍යවරයෙකු, සතොස හිටපු සභාපතිවරයෙකු, පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු, ඇතුළු 19 දෙනෙකු වරදකරුවන් බවට පත්ව තිබේ. අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩු 272ක් මේ වන විට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බව ද අදාළ ප්‍රගති වාර්තාවේ සඳහන් වේ.

Social Sharing

අවකාශය පුවත්