වදහිංසාවට පාත්‍ර වූවන්ට සහය වීමේ ජාත්‍යන්තර දිනය සමගාමීව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් පැවැත්වූ සාකච්ඡාව

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් වදහිංසාවට පාත්‍ර වූවන්ට සහය වීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව අද දින (25) ප්‍රතිපත්තිමය සාකච්ඡාවක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේ දී පැවැත්විණි.

ඒ අනුව 1994 අංක 22 දරන වදහිංසනයට, කෲර අමානුෂික හෝ අවමන් සහගත සැළකිල්ලට හා දඬුවම්වලට එරෙහි ජාත්‍යන්තර පනත සම්මත වී වසර 30ක් ගතවන මෙම මොහොතේ ශ්‍රී ලංකාවේ තවමත් පවතින වදහිංසාවට එරෙහිව යුක්තිය ක්‍රියාත්මක කිරීම සඳහා පැවැත්වූ මෙම වැඩසටහනට නීති විශේෂඥයින්, රාජ තාන්තිකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, මානව හිමිකම් ආරක්ෂිකයින් හා වින්දිතයින් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමනාකාරිනී රශ්මිකා විජේසිංහ මෙනෙවිය විසින් ආරම්භක අදහස් දැක්වීම සිදු කරන ලද අතර, ඇය එහිදි සංවිධානය විසින් වදහිංසාවට එරෙහිව හා ඒ සම්බන්ධව සිදුකළ මැදිහත් වීම්, පරීක්ෂණයන් හා අධ්‍යනයන් සම්බන්ධව කරුණු අවධාරණය කළාය.

ඉන් අනතුරුව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ව්‍යාපෘති සම්බන්ධීකාරකවන සුනෙත් ගජනායක මහතා විසින් ආයතනය විසින් මෙතෙක් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් නඩුකරයන් සම්බන්ධව සඳහන් කරමින් මෙම උත්සවයට පැමිණිසිටි වින්දිතයන්හට සිය අත්දැකීම් බෙදා ගැනීමට ඉඩ ලබා දීය.

එහිදී හිටපු අලෙවි නියෝජිතයෙකු වන චන්දිම මධුෂාන් මහතා, 2019 වසරේ දී පොලිසිය විසින් නීති විරෝධී ලෙස රඳවා තබාගෙන අමානුෂික ලෙස වදහිංසාවට ලක් වූ ආකාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කළේය. එමෙන්ම සමාජ ක්‍රියාකාරිනි අමිතා ප්‍රියන්ති මහත්මිය විසින් 2000 වසරේ දී පොලිස් අත්අඩංගුවේ සිටිය දී මියගිය සිය සහෝදරයා වෙනුවෙන් යුක්තිය ඉටු කරගැනීමට වසර 25ක් තිස්සේ මුහුණ දෙන ආකාරයත් එහිදී ඇය මුහුණදෙන ගැටලු සහ ඇයගේ අත්දැකීම් රැස්ව සිටි පිරිස සමඟ බෙදා ගන්නා ලදී. තවද අපරාධ නඩු පැවරීමේ අසාර්ථකත්වය සහ පොලිස් වගවීම නොමැතිකම පිළිබඳ කරුණු ඉස්මතු කළාය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ (HRCSL) කොමසාරිස් ආචාර්ය ගෙහාන් ගුණතිලක මහතා රැස්ව සිටි පිරිස අමතමින් අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ වදහිංසාවට එරෙහිව පවතින නීති රාමුව කොතරම් ශක්තිමත් වූව ද වදහිංසාව තවමත් මෙරට පවතින බවයි. ඒ අනුව 2023 වසරේ වදහිංසන පැමිණිලි 500ට වඩා අධික ප්‍රමාණයක් වාර්තා වූ බවත් 2024 වසරේ 700ට අධික ප්‍රමාණයක් වාර්තා වූ බවත් එයට හේතුව කොතරම් ශක්තිමත් නීතිමය පනත් පැවතුනත් අප රට තුළ වගවීම නොමැතිකම මෙම වදහිංසාවට හේතුව බව සඳහන් කරන ලදී. තවද වදහිංසන පැමිණිළි සම්බන්ධව පැමිණිළි විමර්ෂණය කිරීමට ස්වාධීන කොමිෂන් සභාවක අත්‍යවශ්‍යතාවය ඉස්මතු කළ ඔහු දකුණු අප්‍රිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය හා ඇමරිකව වැනි රටවල පවතින විමර්ෂණ යාන්ත්‍රණය සම්බන්ධව කරුණු අවධාරණය කළේය.

අපරාධ වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ (නීතිය හා නීතිය බලාත්මක කිරීමේ අංශය) අධ්‍යක්ෂ එස්.එස්.කේ. කස්තුරිආරච්චි මහත්මිය, 2023 අංක 24 දරන අපරාධ වින්දිතයින් සහ සාක්ෂිකරුවන්ට සහාය වීම සහ ආරක්ෂා කිරීම (සංශෝධන) පනතේ විෂය පථය පිළිබඳව විස්තර කළාය. එම පනත තුළින් වින්දිතයින්ගේ පවුලේ සාමාජිකයින්ට ආරක්ෂාව සපයන ආකාරය සහ දුරස්ථ සාක්ෂි සහ වන්දි ලබා දෙන ආකාරය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් එහිදී සිදු කළාය.

ඉන් අනතුරුව නීතිඥ දුලාන් දසනායක මහතා විසින් වධහිංසා පනත යටතේ සිදුකර ඇති පැමිණිලි ප්‍රමණයන් සම්බන්ධව වසරයන් දෙකක දී තොරතුරු දැනගැනීමේ පනත මඟින් සිදුකළ විමසීම් හා ඒ සඳහා ලැබුණු පිළිතුරුවල පරස්පරයන් පෙන්වා දීය. ඒ අනුව 2023 වසර වනවිට වසර 30ක් පුරාවට නඩු පැවරීම් 115ක් වාර්තා වී ඇති අතර ලැබුණු පිළිතුරු අනුව 2024 වසර වනවිට වසර 30 පුරාවට නඩු පැවරීම් වාර්තා වී ඇත්තේ 107කි. ඒ අනුව එම තොරතුරුවල පවත්නා පරස්පරය පෙන්වා දුන් ඔහු පවසා සිටියේ ‘වදහිංසනය අශිෂ්ඨත්වයේ වරදක්’ බවයි. තවද නඩු ප්‍රමාදය පිළිබඳ ගැටලුව ඉස්මතු කළ ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හා සිරගත කිරීම් සම්බන්ධව උදාහරණ දෙමින් කරුණු පැහැදිළි කළේය. තවද පොලිසීය විසින් 54 වගන්තිය යටතේ සිදුකරන වදහිංසනයන් හා රඳවා තබා ගැනීම් පිළිබඳ විස්තර පැහැදිළි කිරීමක් සිදුකළේය. ඉන් අනතුරුව ඔහු විසින් ස්වාධීන විමර්ෂණ කොමිෂන් සභාවක අවශ්‍යතාවය ද ඉස්මතු කළේය.

ඉන් අනතුරුව සංවාද මණ්ඩපය ඇරඹුණු අතර එහිදි විද්වත් කථිකයන් විසින් වදහිංසනයෙන් තොරව විමර්ෂණය කිරීම සඳහා අවශ්‍යවන්නාවූ තාක්ෂණික හා විශේෂඥ දැනුමෙහි අවශ්‍යතාවය, වින්දිතයන්ට අවශ්‍යවන මානසික ප්‍රතිකාරවල අවශ්‍යතාවය හා ස්වාධීන කොමිෂන් සභාවක අවශ්‍යතාවයත් පිළිබඳ කරුණු පැහැදිළි කෙරිණි. තවද නීති ප්‍රතිසංස්කරණයන්, වදහිංසනය සම්බන්ධව මහජන අධ්‍යාපනය සහ ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු විය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ (HRCSL) කොමසාරිස් ආචාර්ය ගෙහාන් ගුණතිලක
අපරාධ වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ (නීතිය හා නීතිය බලාත්මක කිරීමේ අංශය) අධ්‍යක්ෂ එස්.එස්.කේ. කස්තුරිආරච්චි මහත්මිය
නීතිඥ දුලාන් දසනායක මහතා
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමනාකාරිනී රශ්මිකා විජේසිංහ මෙනෙවිය
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ව්‍යාපෘති සම්බන්ධීකාරකවන සුනෙත් ගජනායක මහතා
හිටපු අලෙවි නියෝජිතයෙකු වන චන්දිම මධුෂාන් මහතා
සමාජ ක්‍රියාකාරිනි අමිතා ප්‍රියන්ති මහත්මිය
Social Sharing

නවතම