2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමත් වී ඇති බවට වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (20) උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචනයේදී මේ බව අනාවරණය වී තිබේ.
තවද 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය ආයෝජන ඩොලර් මිලියන 21කින්ද, අපනයන ආදායම ඩොලර් මිලයන 176කින්ද වර්ධනය වී ඇත. 2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 4,669ක විදේශ ආයෝජන ලබා ගැනීමට හැකි වී ඇති බවට වාර්තා වේ.
එමෙන්ම මෙරටට ආයෝජන කැඳවා ගැනීමේදී මුහුණ දෙන ගැටලු, අභියෝග සහ ඊට ගත හැකි විසඳුම් පිළිබඳව ද මෙම රැස්වීමේදී අවධානය යොමු කර ඇති අතර මෙහිදි අදහස් දක්වමින් ජනාධිපති පවසා ඇත්තේ ආර්ථිකය සහ ග්‍රාමීය ජන ජීවිතය ඉහළ තලයකට ඔසවා තැබීමේ කාර්යයෙහි විශාල වැඩ කොටසක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පැවරී ඇති බවයි. සාම්ප්‍රදායික ආයෝජන ක්ෂේත්‍ර කෙරෙහි ආයෝජන කැඳවා ගැනීමේ හැකියාව සීමා සහිත බැවින්, රටක් ලෙස නව ආයෝජන ක්ෂේත්‍ර හඳුනා ගත යුතුව ඇති බවත්, එහි වගකීම ආයෝජන මණ්ඩලයට පැවරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
1978 වසරේ සිට අප රට මේ දක්වා උපයා ගැනීමට සමත් ව ඇත්තේ ඩොලර් බිලියන 22කට ආසන්න ආයෝජන ප්‍රමාණයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කලාපයේ සෙසු රටවල් සමඟ සසඳා බැලීමේදී ශ්‍රී ලංකාව වේගයෙන් ඉදිරියට ගමන් කළ යුතුව තිබෙන බවත්, වියට්නාමය 2022 වසර තුළදී පමණක් ඩොලර් බිලියන 23ක ආයෝජන ඉලක්කයකට ළඟා වී ඇති බවත් පෙන්වා දී ඇත.
ආයෝජන දිශාගත කිරීමේදී සේවා අංශයේ ආයෝජන වැඩි කිරීමට අවධානය යොමු කරන ලෙසත් මඟහැරුණු අවස්ථා හඹා යාමෙන් ඔබ්බට ගොස් නව ආයෝජන අවස්ථා සොයා ගැනීම ආයෝජන මණ්ඩලයේ අරමුණ විය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇති අතර ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, ආයෝජන මණ්ඩලයේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් යන මහත්ම මහත්මිහු ඇතුළු ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව ඇත.