තරුණයෙකුට වදහිංසා කළ පොලිස් ලොක්කෝ දෙදෙනෙකුට ලක්ෂ 20ක් ගෙවන්න නියෝග

2019 වසරේ දී රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන පහරදී අමානුෂික වද හිංසාවට ලක් කිරීම තුළින් උරගස් මංහන්දිය පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා සහ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ වෙනුවෙන් ඔවුන් සිය පෞද්ගලික මුදල් වලින් ලක්ෂ 10 බැගින් වන්දි සහ නඩු ගාස්තු පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) නියෝග කළේය. එම වන්දි මුදල් මාස හයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ සඳහන් වේ.

ඒ අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු වග උත්තරකාර උරගස්මං හංදිය පොලිසියේ ස්ථානාධිපති හරිත් සහ එහි අපරාධ අංශයේ ස්ථානාධිපති හිරාන් යන නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් ජාතික පොලිස් කොමිසමට යොමු කරන ලෙසත් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ වැඩිදුරටත් නියෝග කර ඇත.

මත්තක ප්‍රදේශයේ පදිංචි පී.ඒ.එස්. මධුෂාන් නමැත්තකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එස්.තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.

පෙත්සම්කරු සඳහන් කර සිටින්නේ තමන් සේවය කළ ආයතනය ගබඩාවේ තිබූ රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌරගස් මං හංදිය පොලීසිය තමන්ව සොයන බවට ලැබුණු තොරතුරකට අනුව නීතිඥවරයෙකු සමග එම පොලිස් ස්ථානයට ගිය බවත්, පසුව ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව නිදහස් කරන බවට නීතිඥවරයාට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවයි.

පසුව දෙවන වග උත්තරකාර අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තමන්ගේ දෑත් වලට මාංචු දමා බිම දිගේ අපරාධ අංශය පිටුපස තිබූ කාමරයකට රැගෙන ගොස් තවත් පොලිස් නිලධාරියෙකුගේ සහාය ඇතිව පහර දුන් බවත් ඒ හේතුවෙන් තමන්ගේ දෑත් ආබාදයට ලක් වූ බව සඳහන් කර සිටි.

ඉන් පසුව  අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තමාගේ ලිංගේන්ද්‍රිය තද කරමින් පහර දුන් බවත් ඒ අවස්ථාවේදී ඇතිවූ වේදනාව හේතුවෙන් තමන් සිහිසුන් වූ බවත් පෙත්සම්කරු කියා සිටියේය.

පසුදා පළමු වගඋත්තරකාර පොලිස් ස්ථානාධිපතිවරයා මෙම සොරකම සමථයට පත් කිරීම සඳහා ලක්ෂ තුනක මුදලක් වෙළඳසැලේ හිමිකරුට ගෙවිය යුතු බව සඳහන් කරමින් පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර ඇති අතර පසුව පෙත්සම්කරු නාගොඩ රජයේ රෝහලට ඇතුළත්ව දින 12ක් එහි නේවාසික ප්‍රතිකාර ගෙන තිබේ.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයටත් පත් කරමින් විනිසුරු මඩුල්ල කියා සිටියේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමට අදාළ වන කරුණු ඉදිරිපත් කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් ව ඇති බවයි. එමෙන්ම පෙත්සම්කරු සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අධිකරණ වෛද්‍ය වාර්තා පිරික්සීමේදී ඔහු බරපතල වද හිංසනයට භාජන වී තිබෙන බව අධිකරණය හමුවේ තහවුරු වන බවත්  විනිසුරු මඩුල්ල කියා සිටියේය.

මේ තුළින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කර තිබේ.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර වගඋත්රකරුවන් වෙනුවෙන් නීතිඥ ඉදුනිල් පුංචිහේවා මහත්මිය පෙනී සිට තිබේ.

Social Sharing

අවකාශය නවතම