ආර්ථික  වගවීම  සිට යුද කාලීන වගවීම දක්වා – ජෙහාන් පෙරේරා

මාස හතකට පෙර පැවැති මහමැතිවරණයේදී ජනතාවගේ ජනවරම ‘පද්ධති වෙනසක්’ සඳහා විය. ජාතික ජන බලවේගයට අතිමහත් ලෙස ඡන්දය දුන් ජනයාගේ ප්‍රධාන බලාපොරොත්තුව වූයේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමයි. දිගු සිවිල් යුද්ධය පැවැති රටේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ජීවත්වන ජනයා, රටේ අනෙකුත් ප්‍රදේශවල තම සෙසු පුරවැසියන් සමඟ ඔවුන්ගේ ආර්ථික තත්වයන් වැඩිදියුණු කිරීම සහ ඔවුන් අත්විඳ ඇති දශක ගණනාවක කොන්කිරීමෙන් මිදීම සඳහා ඡන්දය ලබාදුන්හ. මෙය සිදුවනු ඇතැයි ඔවුන් සිතූ එක් ක්‍රමයක් වූයේ, ආර්ථික සංවර්ධනය ඔස්සේ, සම්පත් උදුරා ගත් අතීත දූෂණය අඩුකිරීමෙනි. ජාතික ජන බලවේගයේ කේන්ද්‍රීය පොරොන්දුවක් වූයේ පිරිසිදුව රට පාලනය කිරීම, දූෂිතයින්ට වගවීම ලබාදීම සහ කොල්ලකෑමට ලක්කර විදේශයන්හි සඟවා ඇති බව කියන ඩොලර් බිලියන ගණනක් ආපසු ලබාගැනීමයි. කෙසේවෙතත්, රජය පිළිබඳව මේ වන විට පවතින පොදු සහ වර්ධනය වන විවේචනයක් නම්, මෙම ප්‍රකෘතිමත්වීම තවමත් සැළකිව යුතු ආකාරයකින් ක්‍රියාත්මක වී නොමැති බවයි.

පසුගිය සතිවලදී, හිටපු ආණ්ඩුවල සාමාජිකයන් වූ සහ දූෂිතයන් යැයි සැළකෙන දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීම් රාශියක් සිදුවී තිබේ. ඔවුන්ගෙන් සමහරකුට, ඔවුන් සම්බන්ධ වී ඇතැයි සැළකෙන ප්‍රමාණයට වඩා බෙහෙවින් තවත් කුඩා වැරදි සඳහා චෝදනා එල්ල වී ඇත. ඔවුන්ගෙන් පිරිසක්, අවශ්‍ය බදු නොගෙවා වාහන මිලදී ගැනීම සහ තවත් සමහරු රජයේ අරමුදල් භාවිත කර නියමිත ප්‍රතිපාදනවලින් පිටත දේ මිලදී ගැනීම සඳහා අත්අඩංගුවට ගෙන ඇත. සමහර අවස්ථාවල දී, ඔවුන්ට චෝදනා එල්ල වී ඇති වැරදි, ඔවුන් සැකකරන විශාල, වඩා පද්ධතිමය දූෂණයට සාපේක්ෂව සුළු බව පෙනේ. එහෙත්, අධිකරණය අනපේක්ෂිත ලෙස දැඩි දඬුවම් ලබා දී ඇති අතර, එය නීතිමය සහ දේශපාලන වාතාවරණයේ වෙනසක් පෙන්නුම් කරයි.

විදේශයන්හි සඟවා ඇතැයි සැළකෙන බිලියන ගණනක් ධනය රජයට ආපසු ගෙනඒමට හැකි වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනට කිසිදු ඇඟවීමක් නොමැත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කරන ලද විමර්ශන මගින් මෙතෙක් අවධානය යොමුකර ඇත්තේ, හඳුනාගත් දේශපාලනඥයන්ගේ නිල ඉපැයීම්වලට නොගැලපෙන ලෙස උපයාගෙන ඇති දේපළ, සුඛෝපභෝගී හෝටල් සහ ඉඩම් වැනි දේශීය වත්කම් අනාවරණය කරගැනීම කෙරෙහිය. කෙසේවෙතත්, නම්කරන ලද දුෂිතයන්, ඔවුන් දූෂිත ක්‍රියාවන්හි සැබෑ ප්‍රමාණයට වඩා කුඩා විය හැකි වුවද, ඔවුන් ලුහුබැඳීම සක්‍රීයව සිදුකරන බව යන කාරණය, රජයේ එම කාර්යය සඳහා ඇති කැපවීම කෙරෙහි විශ්වාසය නැවත ඇතිකර තිබේ.

උතුර සහ නැගෙනහිර

දීර්ඝකාලීනව සිවිල් යුද්ධය පැවැති රටේ උතුර හා නැගෙනහිර ප්‍රදේශවල ජීවත්වන ජනයා, රටේ අනෙකුත් ප්‍රදේශවල සිටින තම සෙසු පුරවැසියන් සමඟ එක්ව, ඔවුන්ගේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමට හේතු වන ‘පද්ධති වෙනසක්’ සඳහා ඡන්දය ලබාදුන්හ. ඊට අමතරව, දේශපාලනයේ නව මුහුණුවර වන ජාතික ජන බලවේගය විසින් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ යුක්තිය ලබාදෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් ඔවුහු ඡන්දය භාවිත කළහ. ඔවුන්ට යහපත් ලෙස ජීවිතය පවත්වාගැනීමට සහ සමෘද්ධිමත් වීමට ආර්ථික සම්පත් අවශ්‍ය වන තරමටම, යුද්ධය අතරතුර සිදු වූ වධහිංසා සහ ඝාතන පිළිබඳ බිහිසුණු වාර්තා නොසළකා හැරිය නොහැක. යුද්ධය අත්විඳි ජනයා සහ උතුර, නැගෙනහිර හෝ ඉන් පිටත ජීවත් වුවද, සිදු වූ දේ පිළිබඳ මතකයන් දිගටම හොල්මන් කරයි.

යුද්ධය වසර 16කට පෙර අවසන් වුවද, අතුරුදහන්වූවන්ගේ පවුල් තවමත් සත්‍යය, යුක්තිය සහ වන්දි ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටිති. සිය ආදරණීයයන්ගේ ඉරණම සහ ඔවුන් සිටින ස්ථානය පිළිබඳ දැනුමක් නොමැතිව, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සමස්ත ප්‍රජාවන් කෙරෙහිම හොල්මන් කරන අතර, සංහිඳියාව සඳහා රටේ උත්සාහයන් අඩපණ කරයි. සාක්ෂිකරුවන්ට අනුව, 1990 සැප්තැම්බර් 5 වැනි දින නැගෙනහිර විශ්වවිද්‍යාල කඳවුරේ පුද්ගලයන් 158 දෙනෙකු හමුදාව විසින් රඳවාගෙන සිටි බව සඳහන් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ඊට උදාහරණයක් වේ. කෙසේවෙතත්, එයින් වැඩි යමක් සිදුවී නොමැත.

යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ අවශ්‍යතාවලින් අවධානය වෙනතකට හැරවීමට පසුගිය සෑම පාලනයක්ම උත්සාහ කර ඇත. පෙර පැවති ආණ්ඩුවලට අතීතය සමඟ කටයුතු කිරීමට කිසිදු රුචියක් නොතිබිණි. පෙර පැවැති ආණ්ඩුවල ඉහළම නායකයන් බොහෝදෙනෙක් යුද්ධයට සම්බන්ධ වූහ. ජනාධිපතිවරුන් සිය බලයෙන්ම ආරක්ෂක අමාත්‍ය ධුර දැරූ අතර, සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන අණදෙන නිලධාරීන්ද විය. දෙවැනි ගැටළුව වී ඇත්තේ, අතීතයේ ඇත්ත වශයෙන්ම සිදු වූ දේ පිළිබඳ මතභේදාත්මක හා වේදනාකාරී කරුණු හඹායෑමට බහුතර ඡන්දදායකයන්ගේ උනන්දුව නොමැතිකමයි. උතුර සහ නැගෙනහිරින් පිටත ජීවත්වන ජනතාවට රට සාමාන්‍ය තත්ත්වයට සහ සාමයට පැමිණ ඇති බවට සරල විශ්වාසයක් ඇත.

යුද්ධය අතරතුර ආරක්ෂක හමුදා භාරව කටයුතු කිරීමේ ඉතිහාසයක් නොමැති බැවින්, අතීතය සමඟ කටයුතු කරන, කල් පවතින විසඳුමක් බොහෝ විට වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව සතුව පවතිනු ඇත. එහෙත් ඒ වෙනුවෙන් අතීතයේ අභියෝගයට මුහුණදීම සඳහා දේශපාලන කැපවීමක් අවශ්‍ය වේ. වත්මන් ආණ්ඩුව යටතේ පවා, මුලතිව් සහ ත්‍රිකුණාමලය වැනි ස්ථානවල ඉඩම් අත්පත් කරගැනීම් පිළිබඳ වාර්තා දිගටම පවතින අතර, එමගින් දශක ගණනාවක් තිස්සේ අවිශ්වාසයට හේතු වූ නව ජනාවාස පිහිටුවීම සහ සුළුතරය කොන්කිරීමේ රටාවන්ම ප්‍රතිරාව කරයි. මෙම රටා විසින්, යුද්ධයේ තර්කනය සැබවින්ම අවසන් වී නැති අතර, හුදෙක් ස්වරූපය මාරුකර ඇති බවට පවතින මතය ශක්තිමත් කරයි. නීතිය තෝරාගෙන බලාත්මක කිරීම සහ මධ්‍යගත තීරණ ගැනීම හරහා සෙමින් හුස්ම හිරකරවන බවක් ඔවුන්ට දැනෙන අතර, විවෘත ගැටුමක් වෙනුවට, ඉඩම් ප්‍රතිස්ථාපනයේ නිලධාරිවාදී සහ පරිපාලන ප්‍රමාදයන් දැන් ක්‍රියාත්මකව පවතින බව පෙනෙන්නට තිබේ.

අවසාන කොමිසම

වසර 16ක් ගතවී ඇතත්, ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූ ආකාරය පිළිබඳ අන්තර්ජාතික උනන්දුව තවමත් ඉහළ මට්ටමක පවතී. ශ්‍රී ලංකාවේ යුධ පිටිවලදී යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුකළ සහ ඒවාට අවසර දුන් අය වෙතින්, ලෝකයේ වඩාත් නරක අතට හැරෙන කලාපවලට පාඩම් උකහා ගත හැකිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වොල්කර් ටර්ක්ගේ ඉදිරි සංචාරය රටේ හොඳ නමට බරක් හෝ තර්ජනයක් ලෙස දැකීම වෙනුවට, ලෝකයට ආදර්ශයක් සැපයීම සඳහා අන්තර්ජාතික ප්‍රජාවේ සහාය ලබාගැනීමේ අවස්ථාවක් ලෙස රජය සැළකිව යුතුය. ‘පද්ධති වෙනසක්’ සඳහා ලබා දී ඇති ජනතා වරමෙන් ද ඇඟවෙන්නේ නිදහසින් පසු රට තුළ පීඩාවට පත් වූ ජනවාර්ගික-ආගමික ගැටළු විසඳීමට මෙය හොඳම කාලය බවයි.

ආර්ථික අපරාධ සම්බන්ධයෙන් වගවීම සඳහා පොදු අපේක්ෂාවන් සපුරාලීමේදී රජයට පැහැදිලි උපායමාර්ගයක් අනුගමනය කළ හැකිය. වගකිවයුතු රාජ්‍ය ආයතනවලට ස්වාධීනව ක්‍රියාත්මක වීමට අවසර දෙන්නේ නම්, ඒවාට යුක්තියේ ප්‍රබල මෙවලමක් වන නීතිය ක්‍රියාත්මක කළ හැකිය. මානව හිමිකම් සහ යුද අපරාධ සම්බන්ධයෙන්, රාජ්‍ය ආයතනවලට, අතීතයේ හඳුනාගෙන ඇති ‘සංකේතාත්මක නඩු’ සම්බන්ධයෙන් කටයුතු කළ හැකිය. එම නඩුවලදී දශක ගණනාවක් තිස්සේ පොදුවේ සාකච්ඡා වෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ යුද කාලීන අපයෝජන සිදුවීම් ගැන සඳහන් වේ. ත්‍රිකුණාමලය වෙරළ තීරයේ පාසල් සිසුන් පස්දෙනකු ඝාතනය කිරීම (2006), මුතූර්හි රාජ්‍ය නොවන සංවිධාන සේවකයන් 17 දෙනකු ඝාතනය කිරීම (2006) සහ ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ (2010) අතුරුදහන්වීම උදාහරණ වේ.

ඇත්ත වශයෙන්ම, 2021 දී, යුද්ධයේ උද්ගතවූ ගැටලුකාරී තත්වයන් පිළිබඳව සොයාබැලීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරන ලද අවසන් ජනාධිපති කොමිසමට (නවාස් කොමිසම) පැවරී තිබුණේ යුද්ධයට අදාළ පෙර පැවැති සියලුම විමර්ශන කොමිෂන් සභා වාර්තා පරීක්ෂා කර සිය සොයාගැනීම් අනාවරණය කිරීමයි. එහි පළමු කාර්යයය ලෙස ‘සංකේතාත්මක නඩු’ විමර්ශනය කිරීම සඳහා සත්‍ය සහ සංහිඳියා කොමිසමක් (TRC) පත්කිරීමට නවාස් කොමිසම එහිදී නිර්දේශ කළේය. එවැනි ක්‍රියාමාර්ගයක් මගින් වින්දිතයන්, සාමාන්‍ය ජනතාව සහ අන්තර්ජාතික ප්‍රජාව කෙරෙහි රජයේ අවංකභාවය පිළිබඳව විශ්වාසය ගොඩනඟනු ඇත. ආර්ථික දූෂණය නොඉවසන බවට විශ්වාසය ගොඩනඟන ප්‍රතිසංස්කරණය කරන ලද අල්ලස් හා දූෂණ කොමිසම මෙන්ම, සත්‍ය සහ සංහිඳියා කොමිසමක් හට අතීතය වසාදැමීමට සහ ජාතික සංවර්ධනය සඳහා එකට වැඩකිරීමට රටේ ජනතාව සහ ප්‍රජාවන් එක්සත් කිරීමට උපකාරී විය හැකිය.

Social Sharing

අවකාශය නවතම