“ආණ්ඩුවේ විසිල් විතරයි – බල්ටි නැහැ” යන්න පසුගිය කාලයේ ඉතා ජනප්‍රිය වූ කතාවකි. එම විවේචනය කළේ වත්මන් මාලිමා ආණ්ඩුවට නොවේ. පසුගිය ආණ්ඩුවක් පිළිබඳ මෙම ප්‍රකාශය කළේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ය.
කෙසේ වෙතත්, දැන් එම විවේචනය මාලිමා ආණ්ඩුව වෙත එල්ල වෙමින් පවතියි. දැන් මාලිමා ආණ්ඩුවේ විවේචකයින් කියන්නේ “මාලිමා ආණ්ඩුවේ විසිල් විතරයි – බල්ටි නැහැ” යනුවෙනි. ඒ කියන්නේ ආණ්ඩුවේ කයිවාරු තරමට වැඩ නැති බව යි. රට එකතැන නැවතී ඇති බවට ද චෝදනා එල්ල වී තිබේ.
සමහරු කියන්නේ ආණ්ඩුවේ නායකයින්ගේ සහ මැති ඇමතිවරුන්ගේ ආදුනික බව, අපරිණත බව මෙයට හේතු වී ඇති බව යි. මොවුන්ට ධාරිතාවයක් නැති බව ආණ්ඩුවේ සහකරුවන් පවා පවසන තත්ත්වයක් පවතියි. එම අදහසින් කියන්නේ මොවුන්ගේ පුද්ගලික අපරිණත බව ප්රශ්නයේ හේතුව බව යි.
දර්ශනයේ දුගී බව
නමුත් අපට පෙනෙන්නේ මාලිමා ආණ්ඩුවේ අපරිණත බව තිබෙන්නේ ඔවුන්ගේ දර්ශනයේ ම බව යි. ආණ්ඩුවට බල්ටි බැරි වී තිබෙන්නේ දර්ශනයේ දුගී බව නිසා ය.
සහල් වෙළෙඳපොළට පිවිසී මිල පාලනය කිරීමේ උත්සාහයේ දී මෙය පෙනෙන්නට තිබිණි. වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය පිළිබඳ මොවුන්ට තිබුණේ අඩු අවබෝධයකි. ඔවුන්ගේ දැක්ම වුයේ සහල් මෝල් හිමි මාෆියාවක් වෙළෙඳපොළ පාලනය කරමින් අධික ලාභ ලබන බව යි. රජය මැදිහත් වී ගොවියන්ට හොඳ මිලක් දී ජනතාවට අඩු මිලට සහල් දෙන බව ඔවුහු කී හ. එය සම්පුර්ණයෙන් අසාර්ථක බල්ටියක් වූ බව දැන් පැහැදිලි කරුණකි.
තවත් බල්ටි ගැන ආණ්ඩුව ප්‍රකාශ කළ ද ඒ සදහා ඇති හැකියාව පිළිබඳ තක්සේරුවක් නැත. කළ හැකි ආකාරය ගැන ඔවුන්ට ඇත්තේ විරෝධාකල්පයකි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය ගැන කළ ප්‍රකාශ උදාහරණයක් ලෙස ගත හැකි ය. එය නවීකරණය කරන බව කීවත් ඒ සඳහා යෙදවිය යුතු ඩොලර් බිලියන දෙකකට වැඩි මුදල සපයා ගැනීමේ ක්‍රමයක් රජයට නැත. එය කළ හැක්කේ පෞද්ගලික ආයෝජන ලබා ගැනීමෙනි. නමුත් මාලිමා ආණ්ඩුව එයට සුදානම් නැත. ඔවුන්ට අනුව එය ජාතික සම්පත් විකිනීමකි. නමුත් දැන් තිබෙන්නේ ජාතික විපතකි. එය සම්පතක් වන්නේ පෞද්ගලික ආයෝජන ලබාගෙන සංවර්ධනය කළ හොත් පමණකි. එම බල්ටියට ආණ්ඩුව සුදානම් නැත.
ආණ්ඩුවට බෑ
එප්පාවල පොස්පේට් නිධිය සංවර්ධනය කොට පොහොර නිපදවීමේ කතාව ද ඒ හා සමානය. එයට දේශීය, විදේශීය ආයෝජකයින් කැඳවා ගැනීමට ආණ්ඩුව සුදානම් නැත. ආණ්ඩුවට එය කරන්නට මුදල් නැත. එබැවින් දිගට ම කරන්නට වන්නේ පොස්පේට් ගල් කඩා විකිණීම පමණකි. වෙන බල්ටියක් බැරි ය.
සල්පියුරික් හැදීම, වැසූ කම්හල් ඇරීම වැනි අනෙක් බොහෝ කතා ගැන ද තත්ත්වය මීට සමාන ය.
අධ්‍යාපනය, සෞඛ්‍යය ඇතුළු ආණ්ඩුව ප්රාග්ධනය යෙදවිය යුතු ම අංශ තිබේ. ඒ සඳහා ද මුදල් නැත. ඒ සඳහා මුදල් ලබාගත හැකි ක්‍රමයක් වන්නේ දැන් රජය යටතේ ඇති නමුත් පෞද්ගලික අංශයට හොදින් කළ හැකි ආයතන විකුණා එම මුදල් වඩා ප්‍රමුකතා දිය යුතු අංශවලට ලබා දීම යි. ආණ්ඩුව පෞද්ගලිකකරණය විරුද්ධ නිසා එය කරන්නේ ද නැත. එම අංශ වලින් ද ආණ්ඩුවෙන් බල්ටි බලාපොරොත්තු විය නොහැකි ය.
රාජපක්ෂ ක්‍රමය
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රජයේ වියදම් වැඩි කළේ ණය ගැනීම සහ මුදල් අච්චු ගැසීම මගිනි. එයින් රට අර්බුදයට ගිය නිසා දැන් ඒවාට සීමා පැනවී තිබේ. රජයට මුදල් ලැබෙන අනෙක් මාර්ගය බදු වැඩි කිරීම යි. මාලිමා ආණ්ඩුව කළේ තිබුණු බදු ද අඩුකර ගැනීම යි.
රාජ්‍ය අංශය පුළුල් කොට පවත්වාගෙන යාමට දැන් ආණ්ඩුවට අවශ්‍ය වී ඇතත්, ඒ සඳහා මුදල් නැත.රජයට ඇති විකල්ප මාර්ගය වන්නේ පෞද්ගලික ආයෝජන ලබාගෙන කර්මාන්ත සංවර්ධනය කිරීම යි. එයට ද මාලිමා ආණ්ඩුව කැමති නැත. එවිට සිදුවන්නේ කිසිවක් කළ නොහැකි වීම යි. දැන් ආණ්ඩුවට සිදු වී තිබෙන්නේ එය යි. එයින් ගොඩයන මාවතක් ගැන දැක්මක් ඔවුන්ට නැත.
මේ සියල්ලෙන් පෙනී යන්නේ ආණ්ඩුවට බල්ටි බැරි වී තිබෙන්නේ ඔවුන්ගේ දර්ශනයේ තිබෙන දරිද්‍රතාවය නිසා බව ය.
yukthiya.lk