දකුණට කැරකෙන්න අමාරු ඇයි?

මේ දවස් වල තිරගත වන වාලම්පුරි චිත්‍රපටය ගැන ගොඩක් අය කතා කරලා තිබුණා. චිත්‍රපටය ගැන දන්නේ ඒ ගැන විවිධ අය ලියා තිබුණු දේවල් පමණයි. විදේශගතව සිටින විට අහිමි වන දේවල් අතරින් එකක් තමයි ඔය වගේ චිත්‍රපටයක්, වේදිකා නාට්‍යයක් බලන්න තිබෙන අවස්ථාව. ටෙලිනාට්‍ය හා අදාළවනම් මේ ප්‍රශ්නය නැහැ.

වාලම්පුරි චිත්‍රපටය ලංකාවෙන් පිටත ලෝකය පුරාමත් තිරගත වෙනවා. එය සිංහල චිත්‍රපට නිෂ්පාදකයින්ගේ පැත්තෙන් බැලුවත්, විදේශගත සිංහල චිත්‍රපට රසිකයින්ගේ පැත්තෙන් බැලුවත් ඉතාම හොඳ ප්‍රවණතාවක්. නමුත් අපේ නගරය කිට්ටුව පාතක එවැනි ප්‍රදර්ශනය කිරීමක් තවම සංවිධානය වී නැහැ.

හැබැයි වාලම්පුරි සිංහල චිත්‍රපටය බැලුවද කියලා කවුරු හරි ඇහුවොත් බය නැතුව ඔව් කියන්නනම් පුළුවන්කම තිබෙනවා. ඊට හේතුව මේ වාලම්පුරි සිංහල චිත්‍රපටය හැර තවත් සිංහල වාලම්පුරි චිත්‍රපටයක්ද තිබීම සහ ඒ වෙනත් වාලම්පුරි චිත්‍රපටය නරඹා තිබීමයි. පළමු වාලම්පුරි සිංහල චිත්‍රපටය තිරගත වුනේ අසූව දශකයේ මුල් කාලයේදීයි. මම හිතන්නේ 1981දී පමණ. චිත්‍රපටය හදා තිබුණේ වාලම්පුරි නමම තිබුණු රොඩ්නි ජොන්ක්ලාස්ගේ නවකතාවක් මත පදනම්වයි. “මුහුද යට දර්ශන” ගැන කියමින් චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු කළ බව මතකයි. ප්‍රධාන චරිතය රඟපෑවේ විජය.

ඒ වාලම්පුරි සිංහල චිත්‍රපටයේ කතාව වගේම මේ වාලම්පුරි සිංහල චිත්‍රපටයේ කතාවත් වාලම්පුරියකට සම්බන්ධයි. වාලම්පුරියක් කියා කියන්නේ දක්ෂිණාවර්ත සංඛයක්. එසේත් නැත්නම් දකුණට කැරකුණු හක් ගෙඩියක් හෙවත් හක් බෙල්ලෙකුගේ කටුවක්. හක් බෙල්ලෙක් කියා කියන්නේ ඉන්දියානු සාගරය ආශ්‍රිතව හමු වන මුහුදු බෙල්ලන් විශේෂයක්. විද්‍යාත්මක නම ටර්බිනෙල්ලා පයිරම් (Turbinella pyrum).

වාලම්පුරි කියන නම සිංහලයට බිඳී ඇවිත් තියෙන්නේ දෙමළ භාෂාවෙන්. දෙමළ වචනය වලම්පුරි සන්ගු (வலம்புரிச் சங்கு). එහි තේරුම දක්ෂිණාවර්ත සංඛය යන්නයි. එය දක්ෂිණාවර්තී සංඛ (दक्षिणावर्ती शंख) කියන සංස්කෘත වචනයේ දෙමළ පරිවර්තනයක්. වලම් (வலம்) යන්නෙහි දකුණ කියන තේරුම තියෙනවා. පුරි (புரி) යන්නෙහි හැරවුණු යන අර්ථය තිබෙනවා. මේ අර්ථයෙන් වත්මන් දෙමළ බසෙහි පුරි යන්න යෙදෙනවා දකින්න අමාරු වුනත් පැරණි දෙමළ සාහිත්‍යයෙහි එසේ යෙදෙන තැන් හමු වෙනවා. සන්ගු කියන්නේ ශංඛය. වලම්පුරි කියන වචනය හෝ එහි ප්‍රභේදයක් මලයාලම්, කන්නඩ සහ තෙලිඟු යන අනෙකුත් දකුණු ඉන්දියානු භාෂා වලද භාවිතා වෙනවා. මලයාලම් වචනය වලංපිරි ශංඛ් (വലംപിരി ശംഖ്).

දෙමළ භාෂාවේ වලම්පුරි සන්ගු කියන වචනය තමයි සන්ගු හැලිලා වාලම්පුරිය විදිහට සිංහලයට එකතු වෙලා තියෙන්නේ. ලංකාවේ මුතු කිමිදීමේ කර්මාන්තයේ යෙදුනු අයගේ වාර්ගික මිශ්‍රණය ඊට හේතු වෙන්න ඇති. මුතු කිමිදීමේ කර්මාන්තය ආශ්‍රිතව හීන් බණ්ඩලාට රාසම්මලා හමු වෙද්දී ඔය වගේ අලුත් වචනත් භාෂාවට එකතු වෙනවා.

දක්ෂිණාවර්ත සංඛ ඉතා දුර්ලභයි. වැඩිපුර තිබෙන්නේ වාමාවර්ත සංඛ. මේවාට සිංහලෙන් නිකම්ම හක්ගෙඩි කියනවා මිසක් විශේෂණයක් එකතු කරන්නේ නැහැ. නමුත් දකුණු ඉන්දියානු භාෂා වල ඉඩම්පුරි කියන වචනය හෝ එහි ප්‍රභේදයක් භාවිතා වෙනවා. දෙමළෙන්නම් ඉඩම්පුරි සංගු (இடம்புறி சங்கு). මලයාලම් වචනය ඉඩංපිරි ශංඛ් (വലംപിരി ശംഖ്). මෙහි අර්ථය වමට හැරවුණු යන්නයි.

හක්ගෙඩිය, හක්බෙල්ලා වගේ වචන වල හක් වෙලා තියෙන්නේ ශංඛ කියන සංස්කෘත වචනය. ශංඛ සක් වෙලා පසුව හක් වෙලා තිබෙනවා.

“මහබඹහු මුනිඳුට

සේසත් නඟති මුදුනට

එ මුනි සඳු පුදයට

පිඹිති සක්‌ සක්‌ දෙවිඳු එහි සිට”

බුදු ගුණ අලංකාරයේ එන ඔය කවියේ පළමු සක් ශක්‍ර දේවේන්ද්‍රයා. දෙවෙනි සක් ශංඛය. ආසියානු කලාපයේ හක්ගෙඩියට සංස්කෘතික වටිනාකමක් ලැබෙන්න හක් පිඹීමේදී එන නාදයත් හේතු වී තිබෙනවා. කවියේ හැටියට ඔය වැඩේ කරලා තියෙන්නේ මිනිස්සු පමණක් නෙමෙයි.

දකුණට කැරකුණු පමණින් හක් බෙලි කටුවකට විශාල වටිනාකමක් ලැබෙන්න පුළුවන්ද?

වාලම්පුරියකට වටිනාකමක් ලැබෙන්නෙත් අනෙක් හැම දේකටම වටිනාකමක් ලැබෙන ක්‍රමයට. ඒ කියන්නේ අදාළ වටිනාකම ගෙවන්න සූදානම් කවුරු හෝ කෙනෙක් හෝ පිරිසක් ඉන්න නිසා. ආසියානු කලාපය තුළ සාමාන්‍ය හක්ගෙඩියක් හෙවත් වාමාවර්ත සංඛයකට වුනත් යම් සංස්කෘතික වටිනාකමක් තිබෙනවා. සංස්කෘතික වටිනාකමක් ආර්ථික වටිනාකමක් බවට පරිවර්තනය වීම සාමාන්‍ය තත්ත්වයක්.

සංඛ හදන ටර්බිනෙල්ලා පයිරම් මුහුදු බෙල්ලා ඉන්නේ ආසියානු කලාපයේ. ඒ නිසා, ශංඛ හමු වන්නේත් මේ කලාපයෙන්. විශේෂයෙන්ම ලංකාව සහ දකුණු ඉන්දියාව ආශ්‍රිතව ශංඛ වැඩිපුර හමු වෙනවා. ඊට අමතරව බෙංගාල බොක්ක ආශ්‍රිතවද යම් තරමකට හමු වෙනවා.

කෙනෙකුට ශංඛයක් ලැබෙන්නනම් ශංඛයක් මුහුදු වෙරළට පාවී එන්න ඕනෑ. එහෙම නැත්නම් මුහුදේ කිමිදිලා හොයා ගන්න ඕනෑ. දෙවැන්න අමාරු වැඩක්. පළමුවැන්න අහම්බයකින් සිදු වෙන දෙයක්. අහම්බයක් වුනත් ඔය අහඹු අවස්ථාව බොහෝ විට ලැබෙන්නේ මුහුදුබඩ ප්‍රදේශයක ජීවත් වන කෙනෙකුටයි. මැණික් නැති ප්‍රදේශයකින් අහම්බෙන් මැණික් හමු වෙන්නේ නැහැ. රත්තරන් නැති ප්‍රදේශයකින් අහම්බෙන් රත්තරන් හමු වෙන්නේ නැහැ.

සුදු, සුමුදු, හඬක් නිපදවිය හැකි, හක්බෙලි කටුවක් මුහුදු වෙරළේ තිබී හමු වෙන කෙනෙකුට ඒ කෙරෙහි ආසාවක් ඇති වෙන එක පුදුම වෙන්න තරම් දෙයක් නෙමෙයි. එවැනිම ආසාවක් මුහුදුබඩ ප්‍රදේශයක ජීවත් නොවන කෙනෙකුටත් ඇති වෙන්න පුළුවන්. නමුත් එවැන්නෙක් මුහුදක් කිට්ටුවට ආවා කියලා ඒ වෙලාවේම වෙරළේ තිබී හොඳ හක් ගෙඩියක් හමු වෙන්නේ නැහැ. ඒ නිසා, මුහුදු වෙරළෙන් කලින්ම හක් ගෙඩි එකතු කරගෙන සිටින ඒ ප්‍රදේශයේ ජීවත් වන අයෙකුට ඔය වගේ පිටින් ආ කෙනෙක් එක්ක හුවමාරුවක් කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ එක්කම හක් ගෙඩියක් ආර්ථික වටිනාකමක් තියෙන භාණ්ඩයක් බවට පත් වෙනවා.

හුවමාරුව හරහා හක් ගෙඩි මුහුදෙන් ඈත ප්‍රදේශ වලටත් යන්න පුළුවන්. ආසියානු කලාපයේ හින්දු, බෞද්ධ වගේම ජෛන ආගමික කටයුතු වලදී හක් ගෙඩි භාවිතා වෙනවා. මේ විදිහට භාවිතය වැඩි වෙද්දී ඉල්ලුම ඉහළ ගොස් වටිනාකමද ඉහළ යනවා. හැම හක් ගෙඩියක්ම එක සමාන නොවන නිසා මිල දී ගන්නා තැනැත්තාගේ අවශ්‍යතාවයේ තරම වගේම හක් ගෙඩියක භෞතික ලක්ෂණද එහි හුවමාරු වටිනාකම කෙරෙහි බලපාන්න පටන් ගන්නවා. වඩා හොඳ හඬක් නිපදවන, වඩා පැහැපත් හක් ගෙඩි වලට වැඩි ඉල්ලුමක් ඇති වෙනවා. හැම හක් ගෙඩියම එවැන්නක් නොවීම ඊට හේතුවයි. වෙනත් විදිහකින් කිවුවොත් හොඳ හක් ගෙඩි දුලබ වීම.

මිනිස්සු ස්වභාවයෙන්ම විවිධත්වයට කැමතියි. සමහර විට දක්ෂිණාවර්ත හක් ගෙඩියකට මුලින්ම වැඩි ඉල්ලුමක් ඇති වෙන්න හේතු වෙන්න ඇත්තේ වෙනස් දේවල් අයිති කරගන්න මිනිස්සුන්ට තිබෙන ස්වභාවික කැමැත්ත නිසා. මේ කැමැත්ත බොහෝ දෙනෙකුට තිබුණත්, ඒ තරමට දක්ෂිණාවර්ත ශංඛ නැති නිසා අවසාන වශයෙන් වෙන්නේ දක්ෂිණාවර්ත ශංඛයක මිල විශාල ලෙස ඉහළ යාම.

ඉල්ලුම නිසා දක්ෂිණාවර්ත ශංඛයක මිල ඉහළ යද්දී එසේ මිල ඉහළ යාම නිසාම එයට තවත් අමතර ඉල්ලුමක් ඇති වෙනවා. එවිට මිල තව දුරටත් ඉහළ යනවා. ඔය වගේ තත්ත්වයක් යටතේදී අහම්බෙන් මුහුඳු වෙරලේ තිබී දක්ෂිණාවර්ත ශංඛයක් හොයා ගන්නා කෙනෙකුට ඒ වෙනුවෙන් සැලකිය යුතු වටිනාකමක් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා. එය අහම්බයක් හේතුවෙන් එවැන්නෙකුගේ වාසනාවට සිදු වන දෙයක්.

සමහර විට මේ හුවමාරුව දිගින් දිගටම සිදු වෙන්න පුළුවන්. දක්ෂිණාවර්ත ශංඛයක් අතින් අත මාරු වෙන හැම විටෙකම, සමහර චිත්‍ර හා වෙනත් කලා කෘති වල වෙළඳපොළ වටිනාකම ඉහළ යන ක්‍රමයට, ශංඛයේ වටිනාකම ඉහළ යනවා. මේ දාමයට සම්බන්ධ වන හැමෝගෙම ජීවිත වඩා යහපත් වෙනවා. එය තමයි ගනුදෙනු වල ස්වභාවය. වාලම්පුරි වලින් වාසනාව ගේනවා කියන අදහස ප්‍රචලිත වුනේ මේ විදිහට වෙන්න පුළුවන්.

වාලම්පුරි ඔය තරම්ම දුර්ලභ ඇයි?

ශංඛයක් දක්ෂිණාවර්ත හෝ වාමාවර්ත වෙන්නේ හක් බෙල්ලන්ගේ ජානමය වෙනස්කම් නිසා. ඒ තරම්ම සුලබ නැති ටර්බිනෙල්ලා පයිරම් හෙවත් හක් බෙල්ලන්ව යොදාගෙන පර්යේෂණ කර නැතත්, ඔවුන්ට ආසන්නව සමාන ජානමය ව්‍යුහයක් තිබෙන වෙනත් බෙල්ලන් වර්ග ඇසුරෙන් හඳුනාගෙන තිබෙන පරිදි, බෙලිකටුවේ දිශානතිය තීරණය වෙන්නේ තනි ජානයකින්. වසර කිහිපයකට පෙර ජපන් විද්‍යාඥයින් විසින් මෙම ජානය වෙනස් කිරීම මගින් බෙල්ලෙකුගේ කටුවේ දිශාව වෙනස් කිරීමටද සමත් වුනා.

අපි මෙම ජානයේ ඇලීල ප්‍රභේද දෙක D සහ d ලෙස හඳුන්වමු. මේ දෙකෙන් කටුව දකුණට කරකවන්නට හේතු වන ඇලීලය D. වඩා බහුල, සාමාන්‍ය ඇලීලය d. මේ දෙකෙන් D ප්‍රමුඛ ඇලීලය වන අතර d නිලීන ඇලීලයයි. ඒ නිසා, අවම වශයෙන් එක් D ඇලීලයක් උරුම වුවහොත් d ඇලීලයේ බලපෑම යටපත් වෙනවා.

සාමාන්‍යයෙන් ඩීඑන්ඒ අණුවේ පිටපත් හදද්දී එක් භෂ්ම යුගලයක් විකෘති වීමේ සම්භාවිතාව බිලියනයකින් එකක් පමණ අඩු සම්භාවිතාවක්. නමුත් d ඇලීලයක් D ඇලීලයක් බවට පත් වීම සඳහා ඩීඑන්ඒ අණුවේ අදාළ කොටසේ භෂ්ම යුගල දහසකට ආසන්න ප්‍රමාණයෙන් කුමක් හෝ එකක් විකෘති වීම ප්‍රමාණවත්. ඒ නිසා, අහම්බෙන් D ඇලීලයක් හැදෙන්න මිලියනයකින් එකක පමණ සම්භාවිතාවක් තිබෙනවා. එවැනි විකෘතියක් අහම්බයකින් සිදු වුනාට පස්සේ වෙන්නේ කුමක්ද?

හක් බෙල්ලෙකුට හක් බෙලි මවගෙන් හා හක් බෙලි පියාගෙන් ලැබෙන ජාන අනුව, DD, Dd හෝ dd යන ආකාර තුනෙන් ඕනෑම ආකාරයක ප්‍රවේණිදර්ශයක් උරුම වෙන්න පුළුවන්. සාමාන්‍ය මෙන්ඩලියානු ආකෘතිය අනුව, DD සහ Dd ප්‍රවේණිදර්ශ උරුමව ඇත්නම් දක්ෂිණාවර්ත බෙලිකටුවක්ද, dd ප්‍රවේණිදර්ශය උරුමව ඇත්නම් වාමාවර්ත බෙලිකටුවක්ද ජනිතයෙකුට උරුම විය යුතු වුවත්, හක් බෙලි කටු හා අදාළව පරිණාමය සිදු වන්නේ සාමාන්‍ය මෙන්ඩලියානු ආකෘතිය අනුව නෙමෙයි. මෙහිදී රූපානුදර්ශය තීරණය කරන්නේ ජනිතයාගේ ප්‍රවේණිදර්ශය නොව ජනිතයාගේ මවගේ ප්‍රවේණිදර්ශයයි.

ඉහත හේතුව නිසා Dd ප්‍රවේණිදර්ශය සහිත හක්බෙලි ජනිතයෙකුගේ රූපානුදර්ශය දක්ෂිණාවෘත බෙලිකටුවක් වන්නේ D ඇලීලය මවගෙන් උරුම වුවහොත් පමණයි. එය උරුම වී තිබෙන්නේ හක් බෙලි පියාගෙන්නම්, D ඇලීලයක් තිබුණත්, බෙලිකටුව කැරකෙන්නේ වමටයි. අනෙක් අතට,  ප්‍රවේණිදර්ශය dd වුවද, D ඇලීලයක් මවගෙන් උරුමව නැතත්, මවගේ ප්‍රවේණිදර්ශය Ddනම් ජනිතයාට දක්ෂිණාවෘත බෙලිකටුවක් හිමි වෙනවා. ජනිතයාගේ ප්‍රවේණිදර්ශය DDනම්, මවගේ ප්‍රවේණිදර්ශය DD හෝ Dd යන දෙකෙන් එකක් විය යුතු බැවින් අනිවාර්යයෙන්ම දක්ෂිණාවෘත බෙලිකටුවක් හිමි වෙනවා.

මේ අයුරින් මවගේ ප්‍රවේණිදර්ශය අනුව රූපානුදර්ශය තීරණය වීමට හේතුවනම් කටුව කැරකෙන දිශාව තීරණය වන්නේ කළල වර්ධනයේ මුල්ම අවස්ථාවේදී වීමයි. ඒ වෙද්දී බලපෑමක් කළ හැක්කේ මවගේ DNA එකෙන් හදන ප්‍රෝටීන් වලටයි.

වාලම්පුරි මෙතරම් දුලබ ඇයි කියන කරුණ ඉහත විස්තරයෙන් පැහැදිලි වන්නේ නැහැ. එසේ වීමට හේතුව දක්ෂිණාවෘත බෙලිකටු රූපානුදර්ශයට වාමාවර්ත බෙලිකටු රූපානුදර්ශය සාමාන්‍ය තත්ත්වය වන පරිසරයක් තුළ පරිණාමික පැවැත්මක් නොමැති වීමයි. මීට හේතුව කටු දෙපැත්තට කැරකුණු හක් බෙල්ලන් දෙදෙනෙකුට එකතු වී ජනිතයින් බිහි කිරීම සඳහා ලිංගික අවයව සමීප කර ගැනීම ඉතාම අසීරු වීමයි.

වාමාවර්ත හක් බෙල්ලන් සිටින ගහණයක සිදු වන අහඹු ජාන විකෘතියක් හේතුවෙන් දක්ෂිණාවෘත බෙලිකටු රූපානුදර්ශය සහිත හක් බෙල්ලෙකු බිහි වුනද, එවැන්නෙකුට ජනිතයින් බිහි කිරීම සඳහා දක්ෂිණාවෘත බෙලිකටු රූපානුදර්ශය සහිත සහකරුවෙකු හමු වීමේ ඉඩකඩ සීමිතයි. ඒ නිසා, මෙම ඇලීලය ප්‍රමුඛ ඇලීලයක් වුනත් එයට පරිණාමික වාසියක් නැහැ.

දක්ෂිණාවෘත බෙලිකටු රූපානුදර්ශය සහිත හක් බෙල්ලන් විසින් මුහුණ දෙන සහකරුවන් සොයා ගැනීමේ ප්‍රශ්නය නිසා බෝහෝ විට සිදු වන්නේ අහම්බෙන් හැදුණු D ඇලීලයක් ඉතා ඉක්මණින් ගහණයෙන් වඳ වී යාමයි. කෙසේ වුවත්, හක් බෙලි පියාගෙන් D ඇලීලය උරුමව, Dd ප්‍රවේණිදර්ශය සහිතව බිහිවන ජනිතයින්ගේ රූපානුදර්ශය වාමාවර්ත බෙලිකටුවක් බැවින් ඔවුන්ගේ ජනිතයින් මගින් D ඇලීලයට ගහණය තුළ පරම්පරා ගණනාවක් පැවතිය හැකියි. ඒ නිසා, එක් පරම්පරාවක් තුළ ගහණයෙන් ඇලීලය මුළුමනින්ම වඳ වී යාම පාලනය වෙනවා. Dd ප්‍රවේණිදර්ශය හා වාමාවර්ත රූපානුදර්ශය ඇති පිරිමි හක්බෙල්ලෙකුගේ ගැහැණු ජනිතයින් විසින් වාලම්පුරි බිහි කරන අතර එය දුලබ සිදු වීමක්.

හක් බෙල්ලන්ගේ දක්ෂිණාවෘත රූපානුදර්ශයට පරිණාමික පැවැත්ම තර්ජනයක් වී තිබෙන්නේ හක් බෙල්ලන්න්ගේ ලෝකය වාමාවෘත රූපානුදර්ශ පිරුණු තැනක් නිසා. යම් හෙයකින් හක් බෙල්ලන්ගේ ලෝකය දක්ෂිණාවෘත රූපානුදර්ශ පිරුණු තැනක් වීනම්, අද වාලම්පුරි වලට ලැබී තිබෙන වටිනාකම ලැබිය හැකිව තිබුණේ ඉඩම්පුරි හෙවත් සාමාන්‍ය හක්ගෙඩි වලටයි.

වාලම්පුරි චිත්‍රපටයට ලොකු ඉල්ලුමක් ඇති වී තිබෙන්නේද එවැනි චිත්‍රපට දුලබ නිසා විය යුතුයි. අලුත් වාලම්පුරි චිත්‍රපටයේ නමට පැරණි චිත්‍රපටයේ නොතිබුණු හීන හතහමාරක්ද එකතු වී තිබෙනවා. අප වැනි විදේශගතව සිටින අයෙකුට මෙවැනි චිත්‍රපටයක් උණු උණුවේ නරඹන එකත් හීනයක් නිසා අපට එවැන්නක් වාලම්පුරි එක්ක හීන අටහමාරක්!

මේ හීන අටහමාර හැබෑ කරගන්න විදේශගත ලාංකිකයින් බොහෝ දෙනෙකුටද අවස්ථාව ලැබී තිබෙනවා. එය සිංහල චිත්‍රපට හදන අයට හොඳ පූර්වාදර්ශයක්. අවාසනාවට, විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් ජීවත් නොවන අපේ නගරයේ මෙවැනි සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කර එහි පිරිවැය ආවරණය කරගන්න අමාරුයි. කවුරුවත් පාඩුවට වැඩකට අත ගහන්නේ නැහැ. ඒ නිසා මම මේ වාසනාවන්ත ශ්‍රී ලාංකිකයෝ ගොඩේ නැහැ.

#ඉකොනොමැට්ටා #economatta

Social Sharing

අවකාශය නවතම