විදුලි ගාස්තු සුබසාධනය කළ යුතුද?

කලින් ලිපියෙන් කතා කළ මාතෘකාව වූ ලංවිම පාඩුවට පවත්වාගෙන යාමේ ප්‍රශ්නය දේශපාලනික ප්‍රශ්නයක් නෙමෙයි. එහි තිබෙන්නේ තාක්ෂණික ප්‍රශ්නයක්. එක දිගටම පාඩු ලබන ආයතනයකට දිගුකාලීනව පවතින්න බැහැ. ඒ නිසා එවැනි ආයතනයක ප්‍රධාන අරමුණ ලාබ ඉපැයීම නොවී වෙනත් අරමුණක් වුනත් අවසාන වශයෙන් ඒ වෙනත් අරමුණ හෝ ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ. අරමුණ කුමක් වුනත් එය ඉටු කරගත හැක්කේ ආයතනය පවතිනවානම් පමණයි.

ලංවිම වැනි එක දිගට පාඩු ලබපු රාජ්‍ය ආයතන වැහිලා ගිහින් නැහැ. එහෙම වැහිලා ගිහින් නැත්තේ වරින් වර බදු මුදල් යොදවා එම ආයතන බේරාගැනීම නිසා. ඒ විදිහට පාඩු ලබන රාජ්‍ය ආයතන බදු මුදල් වලින් නඩත්තු කළ යුතුයිද කියන එක සරල තාක්ෂණික ප්‍රශ්නයක් නෙමෙයි. එයින් එහාට ගිය දේශපාලනික ප්‍රශ්නයක්. ඒ නිසා, විවිධ දේශපාලන ධාරා ඇතුළේ ප්‍රශ්නයට දෙන පිළිතුරු වෙනස් වෙන්න පුළුවන්.

දේශපාලනික හේතු මත ලංවිම වැනි ආයතනයක් බදු මුදල් යොදවා සුබසාධනය කළ යුතුයි කියන තැනට ආවත්, ලංකාවේ සිදු වුනේ එය සිදු විය යුතු නිවැරදි ක්‍රමයට නෙමෙයි. මූල්‍ය අරමුදල ලංවිම වැනි ආයතන පාඩුවට පවත්වා ගෙන යන එකට විරුද්ධ වෙන්නේ එය කරන ක්‍රමයේ වැරැද්ද නිසා මිසක් ලංවිම සුබසාධනය කිරීමට විරුද්ධ වෙන පදනමකින් නෙමෙයි. සුබසාධනය කියන්නේ මූල්‍ය අරමුදලේ වැඩ සටහනේම තිබෙන ප්‍රධාන අංගයක්.

ආයතනයක් බදු මුදලින් සුබසාධනය කරනවානම් ඒ වෙනුවෙන් කලින්ම බදු මුදල් වෙන් කළ යුතුයි. එසේ නොකර ආයතනය පවත්වා ගෙන යන්න බැරි වෙන තුරු ඉඳලා බදු මුදල් වෙන් කරන්න බලාගෙන ඉන්නවා කියන්නේ රජය විසින් අනාගත බැරකම් ගොඩ ගසා ගැනීමක්. ණය එකතු වීමක් වගේම තමයි. ඒ නිසා, එසේ කිරීම ණය තිරසාරත්වය ඇති කිරීම සඳහා හදා තිබෙන වැඩ පිළිවෙලකට බාධාවක්. එය නොකළ යුතු දෙයක් බව තේරුම් ගන්න අමාරු නැහැ. ඒ වගේම එය දේශපාලන ප්‍රතිපත්ති වලට සෘජු සම්බන්ධයක් නැති කරුණක්.

දේශපාලන ප්‍රතිපත්ති වලට සෘජු සම්බන්ධයක් නැති වුනත් වක්‍ර සම්බන්ධයක් තිබෙනවා. සුබසාධනය කරන ක්‍රමය අදාළ වෙන්නේ සුබසාධනය කරන නිසා. සුබසාධනය කිරීම හෝ නොකිරීම දේශපාලනික කරුණක්. මේ ලිපියෙන් ඒ ගැනත් ටිකක් කතා කරමු.

විදුලි ගාස්තු සුබසාධනය කිරීම වෙනුවෙන් දේශපාලනිකව පෙනී සිටින අය එසේ කරන ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. පළමු හේතුව ජීවන වියදම අඩු කිරීම. විශේෂයෙන්ම අඩු ආදායම්ලාභීන්ගේ. දෙවන හේතුව නිෂ්පාදන පිරිවැය අඩු කිරීම මගින් අපනයන තරඟකාරිත්වය ඇති කිරීම. මෙහිදී පහසුවෙන්ම අමතක කරන සරල කාරණය වන්නේ ඔය විදිහට විදුලි ගාස්තු සුබසාධනය කරද්දී එහි පිරිවැය කාට හෝ දරන්න වෙනවා කියන එක.

අඩු ආදායම්ලාභීන් සුබසාධනය කරද්දී එහි පිරිවැය ඉහළ ආදායම්ලාභීන්ට දරන්න වෙනවා. මෙය දේශපාලනිකයි තමයි. අරමුණ ආදායම් විෂමතා අඩු කිරීම. නමුත් දේශපාලනිකව ඉහළ ආදායම්ලාභීන්ගේ වියදමින් අඩු ආදායම්ලාභීන්ව සුබසාධනය කළ යුතුයි කියන ස්ථාවරයට ආවත් ලංවිම වැනි ආයතන පාඩුවට පවත්වා ගෙන යාම අදාළ අරමුණට යා හැකි නරකම ආකාරයක්.

විදුලි ගාස්තු සුබසාධනය කරද්දී එහි වාසිය යන්නේ වැඩිපුරම විදුලිය පරිභෝජනය කරන අයට මිසක් අඩු ආදායම්ලාභීන්ට නෙමෙයි. පරිභෝජනය වැඩි වෙද්දී ඉහළ යන ඒකක ගාස්තු ක්‍රමය නිසා මේ තත්ත්වය පාලනය වන නමුත් අඩු ආදායම්ලාභීන් සුබසාධනය කළ හැකි හොඳම ක්‍රමය එසේ සුබසාධනය කළ යුතු අයට කෙළින්ම සල්ලි දෙන එකයි. මූල්‍ය අරමුදල විසින් ඉන්ධන, විදුලි ගාස්තු ආදිය සුබසාධනය නොකළ යුතුයි කියා යෝජනා කරන අතරම අස්වැසුම වැනි වැඩ පිළිවෙලවල් වෙනුවෙන් පෙනී සිටින්නේ ඒ නිසා.

ඉන්ධන, විදුලිය ආදිය සුබසාධනය කරද්දී වෙන්නේ ඒවා වැඩියෙන් පරිභෝජනය කරන්න පෙළඹීමක් ඇති වෙන එක. නමුත් අතට සල්ලි ලැබෙද්දී වැඩියෙන් පරිභෝජනය කරන්නේ තමන්ට වඩාත්ම අවශ්‍ය දේවල්. ඒ දේවල් මොනවාද කියන එක එක් එක් පවුල් ඒකකය අනුව වෙනස් වෙනවා. බදු මුදල් වලින් එකම මුදල ලැබෙද්දී ඒ මුදල් වියදම් කරන විදිහ පවුල් ඒකකයකට තීරණය කළ හැකි වූ විට ඔවුන් ඔවුන්ට හොඳම, අවශ්‍යම දේවල් මිල දී ගන්නවා. නමුත් ඒ වෙනුවට ඒ මුදල් යොදවා ඉන්ධන, විදුලි ගාස්තු ආදී රජය විසින් තීරණය කරන නිශ්චිත දේවල් සුබසාධනය කළ විට තමන්ට වඩා අවශ්‍ය දේවල් පරිභෝජනය කිරීමේ අවස්ථාව නැති වෙනවා. ඒ නිසා, සුබසාධනය වඩාත්ම කාර්යක්ෂම ලෙස සිදු වෙන්නේ කෙලින්ම අතට සල්ලි දුන් විටයි.

විදුලි ගාස්තු අඩු කිරීමෙන් නිෂ්පාදන පිරිවැය අඩු කළ හැකිද?

විදුලි ගාස්තු කියන්නේ නිෂ්පාදන පිරිවැයෙහි කොටසක්. ඒ නිසා, යම් පිරිවැය අඩු වීමක් සිදු වෙනවා. නමුත් ප්‍රශ්නය ඒ පිරිවැය ආවරණය කරන්න බදු එකතු කරද්දී නැවත පිරිවැය ඉහළ යන එක. අවසාන වශයෙන් දෙපැත්ත කැපිලා ගියාට පස්සේ සමස්ත පිරිවැයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔය වැඩේ බොරු වැඩක්.

මොන විදිහකින් හෝ නිෂ්පාදන පිරිවැය අඩු කරලා, බදු මුදල් යොදවා සුබසාධනය නොකර, ඉන්ධන, විදුලි ගාස්තු ආදිය අඩු කළ හැකිනම් ඒක වෙනම කතාවක්. එහි වාසියක් තිබෙන බව ඉතාම පැහැදිලියි. නමුත් ප්‍රායෝගිකව ඔය වැඩේ කියන තරම් ලේසි නැහැ. අදාළ රාජ්‍ය ව්‍යවසාය වල කොපමණ අකාර්යක්ෂමතා තිබෙනවා වුනත්, ඒ අකාර්යක්ෂමතා මුළුමනින්ම නැති කළත්. ලංකාවට විදුලි ගාස්තු වලින් අනෙක් රටවල් එක්ක තරඟ කරන්න අමාරුයි. මෙය ලංකාවට විශේෂ වාසියක් නැති ක්ෂේත්‍රයක්.

අපනයන නිෂ්පාදන වල පිරිවැය කෙරෙහි විදුලි ගාස්තු බලපානවා තමයි. නමුත් එය පිරිවැයෙහි එක් කොටසක් පමණයි. ඒ කොටස නිසා ලංකාවට ආයෝජකයෝ එන්නේ නැත්නම් අදාළ කර්මාන්ත ලංකාවට හරියන කර්මාන්ත නෙමෙයි. කළ යුත්තේ විශාල ලෙස විදුලිය අවශ්‍ය කර්මාන්ත තරඟකාරී ලෙස විදුලිය නිපදවිය හැකි රටවලට කරගන්න ඇරලා ලංකාවට අඩු පිරිවැයකින් සැපයිය හැකි කවර හෝ නිෂ්පාදන යෙදවුම් වැඩියෙන් අවශ්‍ය වන කර්මාන්ත වලට වැඩි අවධානයක් යොමු කරන එකයි.

#ඉකොනොමැට්ටා #economatta

Social Sharing
ආර්ථික පුවත්