ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ පළමු නඩුව පවරයි  

2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රීමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්විමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පැවරුණු පළමු අවස්ථාව මෙය බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළ බව බීබීසී සිංහල වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.

එමෙන්ම, තරග පාවාදීමේ චෝදනා යටතේ අපරාධ නීතිය යටතේ දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව අධිකරණයක නඩු පැවරුණු ‘ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බවද’ ඔහු පවසා තිබේ.

2020 වසරේ නොවැම්බර් මස 21 සහ එම මස 22 වනදා අතර කාල සීමාව තුළ මුරුසී දිවයිනේදී සහ හම්බන්තොටදී ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ හැකි අයුරින් එම තරගාවලියට සහභාගි වූ කලම්බු කින්ග්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබූ තරිඳු රත්නායකට තරග පාවාදීම සඳහා වෙනත් පාර්ශවයක් ඉදිරිපත් කළ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් නොදෙන ලෙස ඔහුගෙන් අයැද සිටීම, ඔහුව පෙළඹවීම සහ ඊට අවශ්‍ය උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්විමේ පනත යටතේ සචිත්‍ර සේනානායකට නීතිපතිවරයා චෝදනා නඟා තිබේ.

Social Sharing
නවතම පුවත්