පාසල් දැරියක දූෂණය කිරීමේ සිද්ධියේ ගුරුවරියට හා සැමියාට වසර 45ක සිරදඬුවම්

දුෂ්කර ප්‍රදේශයක පාසලක තමා යටතේ ඉගෙන ගන්නා බාලවයස්කාර සිසුවියක් කොළඹ පෙන්වීමට බව පවසා සිය නිවසට කැඳවාගෙනැවිත් සැමියා සමඟ එක්ව රංචු ගැසී ස්ත්‍රී දූෂණය කිරීමේ චෝදනාව ඇතුළු අධිචෝදනා 6කට වැරැදිකාරිය වූ ගුරුවරියකට හා ඇගේ සැමියාට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා බරපතළ වැඩ සහිතව වසර 45ක සිරදඬුවමක් නියම කළේය.

විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබුණු චෝදනා සියල්ලටම චුදිතයන් වැරැදිකරුවන් කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඬුවම් කාලය වසර 15කින් එකවර ගෙවෙන ලෙස දඬුවම් නියම කෙරිණි.එම දඬුවමට අමතරව රුපියල් 30,000 බැගින් දඩයක් ද නියම විය.

වින්දිත දැරියට ලක්ෂ 15 බැගින් වන්දි ගෙවීමටත් නියෝග

වින්දිත දැරියට රුපියල් ලක්ෂ 15 බැගින් වන්දියක් ගෙවීමට විත්තිකරුවන් දෙදෙනාට නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන් එම වන්දියෙන් රුපියල් ලක්ෂ 5 බැගින් වන්දියක් ගෙවීම ප්‍රමාණවත් බවට නියෝග කළේය. එම වන්දි මුදල් නොගෙවන්නේ නම් වසර 6 බැගින් විත්තිකරුවන්ට අමතරව සිරදඬුවම් නියම විය.

මෙලෙස දඬුවම් නියම වූයේ දුෂ්කර ප්‍රදේශයක පාසලක ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කළ 35 හැවිරිදි තැනැත්තියකට සහ ඇගේ සැමියා වූ 37 හැවිරිදි තැනැත්තකුටය.

ලිංගික තෘප්තිය ලබා ගැනීමට යම් තැනැත්තකුගේ ශරීරයේ කොටසක් භාවිත කිරීම ස්ත්‍රී දූෂණ චෝදනාව යටතේ ගැනෙන වරදක් බව පෙන්වා දුන් විනිසුරුවරයා සැමියාට ඒ සඳහා අනුබලදීමෙන් සහ සහායදීමෙන් විත්තිකාරිය වරදට හවුල්ව ඇති බව ප්‍රකාශ කළේය.

ස්ත්‍රී දූෂණ චෝදනාව විත්තිකාරියකට එල්ලවීම අධිකරණ ක්ෂේත්‍රයේ විරල අවස්ථාවක්

ස්ත්‍රී දූෂණ චෝදනාව විත්තිකාරියකට එල්ල වන අවස්ථාව අධිකරණ ක්ෂේත්‍රයේ විරල බව පෙන්වාදුන් අධිකරණය මෙහිදී චුදිත තැනැත්තිය එම ක්‍රියාවලියට සාමූහික හවුල්ව ඇති නිසා රංචු ගැසී ස්ත්‍රී දූෂණය කිරීමේ චෝදනාවට වැරැදිකාරිය කරන බව කියා සිටියේය.

සැමියාගේ පිළිකුල් සහගත ආශාවන් සන්තර්පණය කර ගැනීමට තමා යටතේ ඉගෙනගන්නා පාසල් ශිෂ්‍යාවකගේ ජීවිතය අඳුරු කිරීම දැඩි දඬුවම් පැමිණ විය යුතු කාරණයක් බව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා ගුරුවරයා දෙවියකු ලෙස සලකන සමාජයක ගුරුවරයාගේ හැසීරීම අන්‍යයන්ට ආදර්ශයක් විය යුතු බව පෙන්වා දුන්නේය.

විත්තිකාරිය කොළඹ පෙන්වීමට බව පවසා වින්දිත දැරිය සිය නිවෙසට කැඳවා ගෙනැවිත් සැමියා සමඟ එක්ව අපයෝජනය කර ඇත.

ගුරුවරිය බිය ගැන්වීම නිසා වින්දිත දැරිය අදාළ සිදුවීම මවුපියන්ට දන්වා නැත. පසු අවස්ථාවක ගම්මුන් නඩයක් ලෙස එක්ව සිරිපාදේ කරුණා කර තිබේ. කිසියම් හේතුවකට දැරියට සිරිපා කන්ද නැඟීමට නොහැකි බව පවසා ඇත. කිල්ලට අසුවීමෙන් හෝ බොරු කියා කට වරද්දා ගැනීම කළහොත් කන්ද නඟින්න බැරිවන බවට මොවුන් තුළ විශ්වාසයක් ඇත. තමන්ට කන්ද නැඟීමට නොහැකි වූයේ තමනට වූ අතවරය මවුපියන්ට සැඟවීම නිසා බවට දැරිය කල්පනා කර ඇත. එසේ විශ්වාස කළ දැරිය අදාළ සිදුවීම නඩයේ අයකුට පවසා ඇත.

ග්‍රාමීය නූගත් පරිසරයක ජීවත්වන මොවුන් ඒ පිළිබඳ පොලීසියට පැමිණිලි නොකර පොලිස් හදිසි ඇමතුම් අංකය වූ 119ට දන්වා තිබේ. ඔවුන් ඒ ගැන ළමා ආරක්ෂණ අධිකාරිය දැනුම්වත් කිරීමෙන් පසු විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා ඇත.

පසුව විත්තිකරුවන්ට එරෙහිව බරපතළ ලිංගික අපයෝජනය, ඒ සඳහා අනුබලදීම, රංචු ගැසී ස්ත්‍රී දූෂණය කිරීම ඇතුළු චෝදනා 6ක් යටතේ නඩු පැවරිණි. රජයේ අධිනීතිඥ කේෂාණී විජේසිංහ මහත්මිය පැමිණිල්ල මෙහෙයවූවාය.

චන්දන ජයවීර – දිනමිණ

Social Sharing
අවකාශය නවතම පුවත්