යුක්තිය පමාවීම යුක්තිය ප්‍රතික්ෂේප කිරීමකි යනුවෙන් කියමනක් තියනවා. මේ ඒක ඇත්ත කියලා තහවුරු වෙන අවස්ථාවක්. 1988 දි කළබල කාලේ පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීමක් වෙනවා. ඊට අදාලව එම නිවස අසල හතර දෙනෙකුට එරෙහිව සිද්ධියෙන් වසර 12කට පස්සේ ඒ කියන්නේ 2000 අවුරුද්දෙද් නීතිපතිවරයා කොළඹ මහාධිකරණ ඉදිරියේ නඩු පවරනවා. නඩුව අවුරුදු 14ක් තිස්සේ ඇදි ඇදී යනවා. අවසානයේ 2014දි තීන්දුව දෙනවා. හතර දෙනාටම මරණ දඩුවම සහ සිර දඬුවම් නියම කරනවා.
හතර දෙනාගෙන් කෙනෙක් නඩු තීන්දුව දුන්නට පස්සේ විත්ති කූඩුවේ ඉඳන් කියනවා, මට හරියට කතා කරන්නත් බෑ, මට ඇවිදින්නත් බෑ, කිසිම සාක්කියක් නැතුව මාව වැරදිකාරයෙක් කරලා තියෙන්නේ කියලා. තව කෙනෙක් කියනවා පොලිසිය බොරු නඩුවක් දැම්මේ කියලා.
මේ හතර දෙනා අභියාචනා කරනවා මේ තීන්දුවට විරුද්ධව අභියාචනාධිකරණයට. අභියාචනාධිකරණය ඉදිරිපිට වසර 11ක් තිස්සේ මේ අභියාචනය ඇදි ඇදී යනවා. අභියාචනාධිකරණය මේ අභියාචනය විභාග කරන්නේ 2025 අප්‍රේල් 29.
වසර 11 තිස්සේ ඇදි ඇදී ආපු අභියාචනයේ තීන්දුව පී කුමාරරත්නම් විනිසුරුතුමා පසුගිය 15 වැනිදා ප්‍රකාශයට පත් කරනවා. මහාධිකරණ තීන්දුව ලබාදීලා තියෙන්නේ සාක්කි සහ විත්තිකරුවන් විත්තිකූඩුවේ සිට කරපු ප්‍රකාශ විශ්ලේෂණය කිරීමෙන් තොරව බව අභියාචනාධිකරණය තීන්දු කරනවා. ඒ අනුව විත්තිකරුවන් හතර දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරනවා. සිද්ධියෙන් වසර 37කට පසු තමයි නඩු කටයුතු අවසන් වෙන්නේ.
ප්‍රශ්නෙ ඒක නෙමේ. නඩුවේ තීන්දු දෙද්දි විත්තිකරුවන් වසර 11ක් තිස්සේ බන්ධනාගාරයේ දඩුවම් විඳිමින් ඉන්නවා. ඒ විතරක් නෙමේ, නිදහස් කරන්න කියලා තීන්දු කරපු හතර දෙනාගෙන් දෙන්නෙක්ම තීන්දුව ලබා දෙන පහුගිය මැයි 15 වෙද්දි මැරිලා. ඔවුන් මැරිලා ගියේ වැරදිකරුවන් විදිහට. තමන් නිදහස් කියලා අධිකරණය තීන්දු කළා කියලවත් අහන්න ඔවුන් අවස්ථාව ලැබුණේ නෑ.
අන්තිමට වින්දිතයන්ටත් යුක්තියක් නෑ. චූදිතයන්ටත් යුක්තියක් නෑ.
අප්‍රේල් 29 විභාග කරලා සති දෙකක් තුනක් වගේ කාලයක් ඇතුළත මැයි 15 වැනිදා තීන්දුව ලබා දුන් අභියාචනාධිකරණ විනිසුරු පී කුමාරරත්නම් මහතාට සහ ආර් පී හෙට්ටිආරච්චි මහතාට ස්තුතියි. නඩුව ප්‍රමාධ වෙන්න හේතුව නීතිපති දෙපාර්තමේන්තුවේ, අධිකරණ ක්‍රියාවලියේ තියන දෝෂ වගේම පෙනී සිටින නීතිඥවරුන්ගෙත් දෝෂ තියනවා. මේ නඩු ගොනුව බැලුවොත් නීතිඥවරුන් දින අරං තියන විදිහත් බලන්න පුලුවන් වෙයි. උසාවියටවත්, නීතිඥවරුන්ටවත්, නීතිපති දෙපාර්තමේන්තුවට වත් තනි තනිවම ඇගිල්ල දිගු කරලා වැඩක් නෑ.
ප්‍රශ්නෙ තියෙන්නේ කොහෙද? අවශ්‍ය වෙන්නේ ඔළුගෙඩි මාරුවක් නෙමේ. සිස්ටම් මාරුවක්.
මීට අදාල සවිස්තරාත්මක වීඩියෝව පහලින් තියනවා.
තරිඳු ජයවර්ධන – 2025 මැයි 27 වැනිදා