පසුගිය දිනවල වැදගත් අපරාධ නඩු කිහිපයක තීන්දු ලබාදීම පිළිබදව වාර්තා වුනා. ඉන් ඒකක් වුයේ හත්හැවිරිදි දැරිවියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධව හැට දෙහැවිරිදි පස්දරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 17ක බරපතල වැඩ සහිතව සිරදඩුවම් නියම කිරීමයි.
තවත් සිද්ධියක් වාර්තා වුනේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. තරුණයෙකුට කෲර වදහිංසා කිරීම සම්බන්ධව පැවති නඩුවේ තීන්දුව ලබා දෙමින් අදාල තරුණයාගේ මූලික අයිතිවාසකම් කඩී වී ඇති බවට නිගමනය කරමින් අදාල තරුණයාට රුපියල් ලක්ෂ 12ක වන්දියක් පොලිස් නිළධාරීන්ගේ පුද්ගලික මුදලින් ගෙවීමට නියෝග කර තිබුනා. අමතරව අදාල පොලිස් නිළධාරීන්ට එරෙහිව 1994 අංක 22 දරණ වදහිංසා පනත යටතේ නඩු පැවරීමට ඇති හැකියාව අධ්‍යනය කර අදාල කටයුතු සිදු කරන ලෙස ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබුනා.
පසුගිය සතියේ අහන්න ලැබුන මේ නඩු තීන්දු අධිකරණ ක්‍රමය කෙරෙහි විශ්වාස තබන, යුක්ති ගරුක මිනිසුන්ගේ බලාපොරොත්තු නන්වන ඉතා වැදගත් නඩු තීන්දු ලෙස සැලකිය හැකියි. එමෙන්ම, මෙවැනි නඩු තීන්දු අධිකරණ ක්‍රමය පිළිබදව මහජන විශ්වාසය නැවත නැවතත් තහවුරු කරමින් අධිකරණ ක්‍රමය කෙරෙහි ගෞරවය ඉහල දැමෙන නඩු තීන්දු ලෙස ද සැලකිය හැකියි.
නමුත්, මෙම නඩු තීන්දු ලබා දීම සදහා ගෙන ඇති කාලය පිළිබදව සැලකිල්ලට ගැනීමේ දී අපේ අධිකරණ ක්‍රමය පිළිබදව ඒ අයුරින්ම සතුටු විය හැකි හෝ අධිකරණ ක්‍රමය කෙරෙහි විශ්වාසය තැබිය හැකි ද යන්න පිළිබදව නැවතත් සලකා බැලිය යුතු මට්ටමක පවතී.
පසුගිය සතියේ වාර්තා වූ පළමු සිද්ධිය වන දැරිය දූෂණය කිරීමේ සිද්ධිය වාර්තා වී ඇත්තේ 2015 ජුලි 3 වන දිනයි. මේ සම්බන්ධව නඩු විභාගය අවසන් වෙන්නෙ 2025 මැයි මාසයේදීය. නඩුව අවසන් වෙන කොට දැන් එම දැරියගේ වයස අවුරුදු 17ක් වී ඇති අතර, සම්පුර්ණ නඩු විභාගය අවසන් කිරීමට වසර 10ක් ගතවී තිබේ.
දෙවැනි සිදුවීම තඹුත්තේගම සුසිල් ප්‍රියංකර තරුණයාගේ කණ පැලීම සිද්ධියයි. 2012 අගෝස්තු මාසයේ මේ සිද්ධි වාර්තා විය. 2012 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණුකරනු ලැබූ මූලික අයිතිවාසිකම් නඩුවේ විභාගය අවසන් වී තීන්දුව ලබා දෙන්නේ 2025 මැයි මාසයේ. වසර දෙකක් තුළ මූලික අයිතිවාසිකම් නඩුවක් විභාගකර අවසන් කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් ව තිබුනත් මේ නඩුව විභාගකර අවසන් කිරීමට වසර 13කට ආසන්න කාලයක් ගත වී තිබේ.
මේ නඩුවේ නිර්දේශ පරිදි නීතිපතිවරයා විසින් වදහිංසා පනත යටතේ නඩු පවරණු ලැබුවොත්, එම නඩු විභාගය සදහාත් අවම වශයෙන් තවත් වසර 5කට වැඩි කාලයක් ගතවීමට ඉඩ තිබේ.
2002 වසරේ දී මේ ආකාරයේම පොලිස් පහරදීමකට ලක් වූ ජෙරාඩ් මර්වින් පෙරේරාගේ මූලික අයිතිවාසිකම් නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශ අනුව පැවරූ වදහිංසා නඩුව අවසන් කිරීමට මීගමුව මහාධිකරණයට වසර 6ක් ගත විය. අගතියට පත් පාර්ෂවය අදාල තීන්දුව පිළිනොගත් නිසා ඇපීල් උසාවියටත් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණය නැවත මෙම නඩුව විභාගය මුල සිට ආරම්භ කිරීමට මීගමුව මහාධිකරණයට නියෝග කර තිබුනි. ඒ අනුව නැවත ඒම නඩුව විභාගය 2012 වසරේ දී ආරම්භ වූ අතර ඒහි තීන්දුව ලබාදීම 2019 වසරේ දී සිදු විය. ජෙරාඩ් සිද්ධියේ දී මූලික අයිතිවාසිකම් නඩුව වසරක් තුළ අවසන් වුවත් වදහිංසාවට ඒරෙහිව නඩු සම්පුර්ණයෙන් අවසන් වීමට වසර 16ක් ගතවී තිබුනි.
ශ්‍රී ලංකාවේ පවතින නඩු ප්‍රමාදයන් ගැන මීටත් වඩා උදාහරනයන් අපට ඔ්නෑ තරම් සොයා ගත හැක. අපේ රටේ මෙතරම් බරපත අපරාධ සංස්කෘතියක් නිර්මාණය වීමටත් මේ නඩු ප්‍රමාදය බොහෝ විට හේතු වී තිබේ. අපරාධ නඩුවක් අවසන් කිරීමට දශකයකට වැඩි කාලයක් ගැනීම නිසා අපරාධකරුවා බොහෝ කාලයක් සමාජය තුළ නිදැල්ලේ පසු වෙමින්, ඔහුගේ අපරාධ නඩුවට ඒරෙහි සාක්ෂි විනාශ කිරීමට සැලසුම් කරයි. ඒ සදහා ඔ්නෑතරම් උදාහරණ අපට තිබේ. සාක්ෂිකරුවන් බිය ගැන්වීම, ඔවුන් වෙනත් නඩුවලට පැටලීම, ඔවුන්ගේ දිරි බිද දැමීම සදහා විවිධ කටයුතු සිදු කිරීම බහුලව සිදු වේ. එමෙන්ම, සාක්ෂිකරුවන් මිලදී ගැනීමත් සිදු කළ හැක.
ඉහත සදහන් කළ ජෙරාජ් මර්වින් සිද්ධියේ දී අපරාධකරුවන් විසින් සාමාදානය සදහා විවිධ උත්සාහයන් ගෙන තිබුනි. එය අසාර්ථක වූ තැන විශාල මුදලක් පිරිනැමීමට උත්සාහ කර තිබුනි. අදාල මුදල් ගෙදරටම ගෙනවිත් භාරදෙනු ලැබුවත් ජෙරාඩ් එය ප්‍රතික්ෂේප කර තිබුනි. ඒ් සියළු උත්සාහයන් අසාර්ථක වූ තැන අපරාධකරු කුලී මිනීමරුවෙකු මාර්ගයෙන් 2004 වසරේ දී ජෙරාඩ්ව ඝාතණය කරන ලදී.
පසුගියදා වාර්තා වූ මාතර තෙලිජ්ජවිල සිද්ධියත් මේ හා සමාන සිද්ධියකි. පැමිණිළිකරු ඉලක්ක කරණු ලැබුවත්, අවාසනාවකට ඔහුගේ මිත්‍රයෙකු ඒ වෙඩි ප්‍රහාරයෙන් ඝාතණය විය. මේ ක්‍රමය පෙරටත් වඩා හොදට තවමත් සිදු වේ.
ඒ නිසා මේ අපරාධ රැල්ල අවසන් කර, අල්ලස දූෂණය වැලැක්වීමට නම් අපගේ අධිකරණ පද්ධතියේ බරපතල පරිවර්තනයක් වහා අවශ්‍ය වේවි. මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ඇති කර තිබෙන පරිවර්තනය අනෙකුත් අධිකරණයන් වෙත ද ගෙන ආ යුතුයි. ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් සිදු කරන්න නම් මේ පද්ධතියට නවීන දැනුම හා නවීන තාක්ෂණය මුසු කිරීම ඉතා අවශ්‍ය වේ. රජය ආහාර, ඖෂධ වලට මුදල් වෙන්කරන ආකාරයටම මේ පද්ධතිය සංවර්ධනය සදහාද අවශ්‍ය ප්‍රතිපාදන වහා වෙන් කළ යුතුයි.
මේ අපරාධ රැල්ල අවසන් කර, අල්ලස දූෂණය වැලැක්වීමට නම් අපගේ අධිකරණ පද්ධතියේ බරපතල පරිවර්තනයක් වහා අවශ්‍ය වේවි. මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ඇති කර තිබෙන පරිවර්තනය අනෙකුත් අධිකරණයන් වෙත ද ගෙන ආ යුතුයි. ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් සිදු කරන්න නම් මේ පද්ධතියට නවීන දැනුම හා නවීන තාක්ෂණය මුසු කිරීම ඉතා අවශ්‍ය වේ. ආහාර, ඖෂධ වලට මුදල් වෙන්කරන ආකාරයටම මේ පද්ධතිය සංවර්ධනය සදහාද අවශ්‍ය ප්‍රථිපාදන රජය වහා වෙන් කළ යුතුය.
අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයට සංශෝධන ඉදිරිපත් කරමින් අධිකරණ ඇමති හර්ෂන නානයක්කාර මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේ මෙම සංශෝධන මගින් නඩු විභාගය සදහා මාර්ගගත තාක්ෂනය භාවිතා කිරීමට ඉඩ සලසා ඇති බවයි. ඒ තුළින් විශාල කාලයක් හා මුදලක් මින් ඉතිරි කර ගත හැකි වෙනු ඇති බවයි.
මේ සමගම පොලීසිය ඇතුළු අපරාධ පරීක්ෂණ අංශ, නීතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක, අධිකරණ වෛද්‍ය සේවා ඇතුළු අනෙකුත් අධිකරණ සේවා සපයන ආයතනයන් සදහා නවීන තාක්ෂණය වහාම උපයෝගී කරගත යුතුය. ඒමෙන්ම, මෙම ආයතනයන් හි පවතින පුරප්පාඩු ඇතුළු ගැටළු පිළිබදව රජයේ වැඩි අවධානයක් යොමු නොවුනොත් පවතින ක්රමයේ බරපතල වෙනසක් බලාපොරොත්තු විය නොහැක.