මානව හිමිකම් සුරකින කසළ කළමනාකරණය

සීඝ්‍ර නාගරීකරණය වීම තුළ අධිකව රැස්වෙන කසළ, අකාර්යක්ෂම කළමනාකරණ පිළිවෙත් හා යටිතල පහසුකම්වල දුර්වලබව නිසාත්, රජයන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසාත් මේ වනවිට පරිසරයට හා ජන සමාජයට ඉතා අහිතකර ප්‍රතිවිපාක ඇති කර ඇත.

කොළඹ ආශ්‍රිතව පමණක්  දිනපතා එකතු වෙන කැළි කසළ ප්‍රමාණය මේ වනවිට ටොන් 4000ක් ඉක්මවා ඇත. සමස්ත රට තුළ කසළ මෙට්‍රික් ටොන්  8800කට අධික ප්‍රමාණයක් දෛනිකව එකතු වේ. වැඩිවන ජනගහනයට සාපේක්ෂව කසළ එකතු වීම දිනෙන් දිනම වර්ධනය වන්නකි. කසළ කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීයකරණය උදෙසා රජය වාර්ෂිකව වැය කරන මුදල් ප්‍රමාණය අතිවිශාලය.  ඉකුත් දශක කිහිපයක තුළ ආණ්ඩු සහ පාලනාධිකාරීන් කසළ කළමනාකරණය සම්බන්ධව විවධ ව්‍යාපෘති ආරම්භ කරන ලද  මුත් එම ව්‍යාපෘති සාර්ථක වූයේ නැත.

ලංකාවේ පළාත් පාලන ආයතන 300කට අධික වන අතර මේ සෑම පළාත් පාලන ආයතනයක්ම දිනපතාම කසළ කළමනාකරණය සහ කසළ එකතු කිරීම සිදුවේ. ඒවායේ සිදුවන ක්‍රියාවලින්ද එකිනෙකට වෙනස්ය. ග්‍රාමීයව බැහැර කෙරෙන කැළි කසළ පුළුස්සා දැමීම හෝ අවිධිමත්ව බැහැර වන අතර බොහෝවිට වැව්, ඇළදොළ ගංගා වලට බැහැර කෙරේ. මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය නම් ශ්‍රීපාද භූමියයි. මාස හයක කාලය තුළ ටොන් දෙතුන්සීයක කසළ ප්‍රමාණයක් එහි එකතු වන බව වාර්තාවේ.

නාගරික ප්‍රදේශවල අපද්‍රව්‍ය කළමනාකරණයේ ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ කසළ බැහැර කිරීම සඳහා ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැතිකමයි. මෙයින් සිදුවෙන්නේ කසළ කඳු ගොඩ ගැසීමත් එම කසළ එළිමහනේ පුළුස්සා දැමීමත් සමඟ පරිසරයට සහ මහජන සෞඛ්‍යයට අහිතකර ප්‍රතිවිපාක ඇති වීමයි. විශේෂයෙන් විෂ රසායනික ද්‍රව්‍ය සහ දූෂිත වායු ආශ්වාස කිරීම මඟින් ශ්වසන ගැටලු උද්ගත වේ.

එමෙන්ම නියාමනය නොකළ කසළ ස්ථානගත කිරීමෙන් පස, භූගත ජලය සහ වාතයේ හිතකර ගුණාත්මකභාවයට ද හානි සිදුවේ. ගොඩබිම සහ ජලය හායනය වන අතර රෝග සම්ප්‍රේෂණය කළ හැකි කෘමීන් සහ මීයන් වැනි පළිබෝධකයන් සඳහා අභිජනන භූමි බවට ද තවද ඩෙංගු ඇතුළු තවත් වාහක රෝග පැතිරීමට උපකාරක තැන් බවට ද පත්වේ.

මෙම ගැටලු විසඳීම සඳහා තිරසර අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සදහා විධිමත් ක්‍රමවේදයක් සහ කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රමවේදයක් අවශ්‍ය බව බොහෝ විශේෂඥ කමිටු වාර්තා පෙන්වා දෙන කාරණයකි. තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත්වල වටිනාකම සහ විභව විසඳුම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ අධ්‍යාපනික මුලපිරීම් සඳහා සහාය වීම මෙහිදී ඉතා වැදගත් වන බව එම ආයතනවල විශ්වාසයයි. එමෙන්ම මේ සදහා ඉදිරිපත් වන තවත් හොඳම විසඳුමක් ලෙස ජීව වායු පද්ධතිය පෙන්වා දිය හැකිය.

 

නිර්වායු ජීර්ණය මගින් අපද්‍රව්‍ය ලෙස සැලකෙන කාබනික ද්‍රව්‍ය නිර්වායු ජීර්ණ ක්‍රියාවලිය මගින් ජීව වායුව/ පුනර්ජනනීය ස්වාභාවික වායුව (RNG), කාබනික පොහොර සහ කොම්පෝස්ට් වැනි ප්‍රයෝජනවත් නිෂ්පාදන බවට පත් කිරීම සිදු කරයි. මෙම ජීව වායු පද්ධති ශ්‍රී ලංකාවේ නිවාස හිමියන්ට, ගොවිපළවලවලට, ආහාර සැකසුම් ව්‍යාපාරවලට සහ අපජල පවිත්‍රකරණ ව්‍යාපාරවලට අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුව ආදායම් අවස්ථාවක් බවට පරිවර්තනය කිරීමට මාර්ගයකි.

කැලිකසළ නිසි පරිදි බැහැර කිරීම සහ කළමනාකරණය කිරීමට ජාතිකමය වශයෙන් ප්‍රතිපත්තියක් සකස්කරන ලෙස බලකරමින් රජයට හා රජය නියෝජනය කරන වගකිවයුතු ආයතනවලට විරුද්ධව පරිසර යුක්ති කේන්ද්‍රය විසින්ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලද්දේ 2017 වසරේදීය.

මෙහි වගඋත්තරකාර පාර්ශවයන් වශයෙන් පරිසර අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිවරයා, ආපදා කළමනාකරණ අමාත්‍යවරයා, මධ්‍යම පරිසර අධිකාරිය සහ නීතිපතිවරයා නම් කරන ලදි. පෙත්සම්කරුවන් මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ නෛතිකව බලාත්මක කිරීමේ හැකියාවක් නොමැති අංක 2015/53 සහ 2017 අප්‍රේල් 20 දිනැති ගැසට් නිවේදනය අහෝසිකර රට පුරා කසළ බැහැර කිරීම කළමනාකරණය කිරීම සඳහා නිසි ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසයි. මීතොටමුල්ල සංසිද්ධිය හුවා දක්වන පෙත්සම්කරුවන් තවදුරටත් අධිකරණයට අවධාරණය කර සිටියේ අවිධිමත් ලෙස කසළ බැහැර කිරීමෙන් ජීවිතයට ඇති අයිතියටත්, සෞඛ්‍ය සම්පන්න පරිසරයකට ඇති අයිතියට සහ රටේ අනාගත පරපුරේ අයිතිවාසිකම්වලටත් බලපෑම් ඇති කරවන බවය.

පුරවැසියන් එසේ කසළ පිළිබඳ ජාතික ප්‍රශ්නයට මැදිහත් වුවද රජයන් තවම නිසි මැදිහත් වීමක් සිදු නොකරයි.

සටහන පුෂ්පා වීරසේකර 

Social Sharing
අවකාශය නවතම