රජයේ ඉඩම් හා ගොවි අයිතිවාසිකම්

ඉතිහාසයේ සිටම වෙල්ලස්සට නෑකම් කියන කොටියාගල ගම්මානය අතීතයේ සිටම පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ කාලවල පවා ගොවිතැනට තිබුණේ මහත් වූ ලෙන්ගතුකමකි. ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි සංකල්පය මත ගොඩනැගුණු මෙම භූමියේ පන්සල් වගේම ගොවිබිම්, වැව් අමුණු බෙහෙවින්ම දක්නට තිබුණි.ඉංග්‍රීසි කාලය තුළ පූජනීය ස්ථාන මෙන්ම ගොවි බිම් වැව් අමුණු සියල්ල ගිනිබත් කරන ලද්දේය. එවකට සිටි ගොවියන් මෙන්ම ගම්වාසීන් මෙම බිහිසුනු තත්ත්වයට බිය වී කැලෑ වදින්නට විය. එසේ කැලෑ වැදුනු මිනිසුන් යුද සමය නිමාවී නැවත වසර කීපයකට පසු නැවතත් ඔවුන්ගේ ජීවනෝපාය ගෙන ගිය කොටියාගල නම් ගම් ප්‍රදේශයට පැමිණ පැල්පත් තනා ගනිමින් නැවතත් ඔවුන්ගේ ජීවනෝපාය ලෙස ඔවුන් එලඹියේ පෙර ඔවුන් කරගෙන ගිය පරිදි හේන් ගොවිතැනටයි.

වැව් අමුණු නැති නිසා අහස් දියෙන් හේන් ගොවිතැන නැවතත් සාර්ථක තත්ත්වයට ගෙන ආ ගොවීහු ඔවුන්ගේ ආර්ථික තත්ත්වයට මෙන්ම රටේ ආර්ථික තත්ත්වය නැගීමට ද මහත්සේ උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කළහ. ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලය වන විට මොවුන් මෙම ප්‍රදේශයේ භූමි ප්‍රමාණයක් තෝරාගෙන ප්‍රධාන වශයෙන් වී වගාව, බඩ ඉරිගු, මුං, කව්පි වැනි බෝග නිෂ්පාදනය කරමින් ජීවනෝපාය සාර්ථක කරගෙන සිටියහ. මොවුන්ට එවකට එම රජය විසින් අක්කර 150ක පමණ භූමි ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරදෙන ලදී. මෙම ගොවිහු එම භූමි ප්‍රමාණයේ ගොවිතැන් කරගෙන ගිය පසු සාර්ථක ලෙස තම ජීවනෝපාය ගොඩනඟා ගත්හ. මෙසේ ඔවුන් ගොඩනඟාගෙන ආ ඔවුන්ගේ ගොවි බිමට එල්ල වී තිබෙන්නේ ඉතාමත් තදබල වූ අකුණු පහරකි.

වර්තමාන ගොවියා ඔවුන්ගේ පවුල් පරම්පරාවෙන් එන අනු පවුල් වශයෙන් කැඩී නිවෙස් තනාගෙන පවුල් ප්‍රමාණය පුළුල් වීම නිසා ඔවුන්ට හිමි වී ඇති භූමි ප්‍රමාණය අක්කර කාලකට පමණ සීමා වී ඇත. මෙම හේතුවෙන් අතීතයේ මුතුන් මිත්තන්ගෙන් ගෙනා ඔවුන්ගේ පාරම්පරික වෘත්තීය ලෙස සැලකෙන හේන් ගොවිතැනට පහරක් වදින්නට මෙය හේතුවක් විය.

මොවුන් ඔවුන්ගේ ඉල්ලීම් සපුරා ගැනීමට ගොවි සංවිධාන සමිති සමාගම් සාදාගෙන එකමුතු බවින් ඔවුන්ගේ ඉල්ලීම් ලබා ගැනීමට පැවැති රජයෙන් මෙන්ම බලධාරීන් හමුවීමට ගිය නමුදු වර්තමානය වන තෙක් මෙම ගැටලුවට විසදුමක් නොලැබිණි.

කොටියාගල මෙම ගොවියන්ගේ කඳුළු කතාවට විසඳුමක් ලෙස තවත් කඳුළක් එක් කිරීමට රජය විසින් මෙසේ කටයුතු කරන ලදී. එනම් හම්බන්තොට හා තනමල්විල යන ප්‍රදේශවලින් මී ගවයන් ගෙනැවිත් ඔවුන් වගා කළ භූමිය තහනම් කලාපයක් කරමින් මී ගවයන්ගේ ගම්මානයක් බවට පත්කිරීමයි. මෙම හේතුවෙන් ගොවියන් තවත් පීඩාවට පත්විය. ඔවුන්ගේ ජීවනෝපාය පහතටම වැටුණි. තමන්ගේ එදිනෙදා ආහාර වේල සපයාගත් භූමියට වන අසාධාරණයට සාධාරණයක් ඉල්ලා ගොවි සංවිධාන සාදා ගනිමින් නැවතත් ගොවියන් අරගලයට පෙළඹණහ.

එසේ ඔවුන්ගේ අයිතිය ලබා ගැනීමට මොවුන් කළ නොහැක්කක් නොවුනි. අවසානයට මොවුන්ට ඉතිරිව තිබුණේ නීතිමය පැත්තෙන් පියවර ගැනීමටය. වර්තමානය වන විට මොවුන් අධිකරණය වෙත නඩු ගොනු කරමින් පෙත්සම් ගොනු කරමින් ඉල්ලා සිටින්නේ මොවුන්ගේ ගොවි භූමි අයිතිය ඔවුන්ට ලබා දෙන ලෙසටයි.

කිසිදු නිලධාරියෙක් සහ බල රාජ්‍යයක් මෙන්ම නීතියෙන්ද පිළිසරණක් නොමැතිව කොටියාගල ගොවියන් ඔවුන්ගේ ජීවනෝපාය රැක ගැනීමේ පිපාසයෙන් තවමත් කල් ගෙවමින් සිටිති. මොවුන් පරිසරයට කළ විනාශය පිළිබඳව නිලධාරීන් සහ රජය කියා සිටියද මී ගවයන් නිසා වන විනාශය තවමත් සිදුවන හෙයින් මිනිසුන් හැටියට බලධාරීන් ක්‍රියා කරන්නේ කෙසේද යන්න කාටත් මෙම සිදුවීම දෙස බලන විට පැන නගින ගැටලුවකි. ගවයන්ට එක් නීතියක්ද ගොවියන්ට එක් නීතියක්ද යන්න ගොවියන්ට නැගෙන තවත් ගැටලුවකි.

මෙලෙස ගොවියන් ලෙස මොවුන් සියල්ල පසක් කරන්නේ මොවුන්ට අයිති බිම් ප්‍රමාණය මුඩු බිම් නොකොට මොවුන්ගේ ආර්ථිකයට වගේම රටේ ආර්ථිකයට ශක්තියක් ගෙන ඒමට පාරම්පරිකව පවත්වාගෙන ආ මොවුන්ගේ හේන් ගොවිතැන නැවතත් සිදු කරමින් ජීවිකාව ගෙන යාමට අස්වැසුමක් ලබාදෙන ලෙසය. මොවුන්ගේ මෙම ඉල්ලීම සපුරා දෙන තුරු ගොවියන් මග බලා සිටී.

Social Sharing
අවකාශය පුවත්