ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
ඔවුන් ඒ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කර ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ, ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ මහජනතාව විසින් අධිකරණ නිලධාරීන්ට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතියට අහිතකර ආකාරයෙන් යම් යම් අදහස් සහ සටහන් පළකරමින් සිටින බවයි.
යුක්තිය පසිඳලීමේදී අධිකරණ නිලධාරීන් විසින් ඉටුකරනු ලබන වැදගත්, තීරණාත්මක කාර්යභාරය, අධිකරණයේ ස්වාධීනත්වය සහතික කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා වන දැඩි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් අධිකරණ හැසිරීම සමාලෝචනය කිරීම සඳහා නීතිය පැහැදිලි ක්‍රියා පටිපාටි ගෙනහැර දක්වයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පවසා ඇත්තේ සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල මාධ්‍ය හරහා ඇතැම් පිරිස් අධිකරණ නිලධාරීන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කර ඇති අතර, කිසිදු සත්‍යතාවයක් හෝ පදනමකින් තොරව ඇතැම් කරුණු දක්වා ඇති බවයි.
එමඟින් අදාළ ව්‍යවස්ථාපිත අධිකාරියේ අධිකරණ බලයට යටත් වන සහ යටත් වන කරුණු පිළිබඳව වැරදි ආකල්පයක් ඇති විය හැකි බව ද අදාළ නිවේදනයේ සඳහන් කර ඇති අතර එමෙන්ම එවැනි දෑ අධිකරණ පද්ධතියට සහ එම ක්‍රියාවලියට සදාචාර විරෝධී වන බවත් එමඟින් යුක්තිය පසිඳලීමට අහිතකර තත්ත්වයක් උදාකර දෙන බවත් ඔවුන් තවදුරටත් පෙන්වා දී ඇත.
එමෙන්ම ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යම් ප්‍රකාශයක් නිකුත් කිරීමේදී සහ අදහස් දැක්වීමේදී, පරීක්ෂණ ක්‍රියාවලියට අගතියක් විය හැකි හෝ අනවශ්‍ය මහජන පීඩනයකට තුඩු දිය හැකි ඕනෑම හැසිරීමකින් වැළකී සිටින ලෙසයි. තවද ඔවුන් පෙන්වා දී ඇත්තේ, නීති වෘත්තිකයින් ලෙස ඔවුන්ට පැවරි ඇති රාජකාරි සහ නීතිරීති අනුව අවසර ඇති විටකදී හැර ප්‍රසිද්ධියේ හෝ වෙනත් ආකාරයකින් මහජන චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමට හැකියාවක් නොමැති බවයි.
එබැවින් ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, අධිකරණ නිලධාරීන් පිළිබඳව අදහස් දැක්වීමේදී වගකිවයුතු කතිකාවක්, නිසි ක්‍රියාවලියට ගරු කිරීම සහ ගෞරවය ආරක්ෂා කිරීමට වගබල ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.