අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක් ලඟදීම…

2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය සභාවකට හෝ ආයතනික අපහාස පනත ඇතුළුව, පවතින අධිකරණ අපහාස විධිවිධාන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔවුන් විසින් පත්කළ කමිටුවක වාර්තාව බලාපොරොත්තුවෙන් සිටින මොහොතක මෑත කාලීන සිදුවීම් දෙකකින් පසුව අධිකරණ අපහාස බලතල භාවිත කිරීම පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෑතකදී කණස්සල්ල පළ කළහ.

ඒ අනුව අධිකරණයේ දී දුරකථන නාද වීම හේතුවෙන් අධිකරණයට අපහාස කළ බවට වන චෝදනා යටතේ රිමාන්ඩ් කර සිටි ඇඹිලිපිටියේ පුද්ගලයකු මිය යෑම සහ නීතිඥවරියක් අධිකරණයට ආචාර නොකිරීම සහ ඇය අධිකරණය ඇමතූ ආකාරය හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත් කිරීම යන සිද්ධීන් මෙම කණස්සල්ලට හේතු වූ සිද්ධීන් ද්විත්වයයි.

අධිකරණ අමාත්‍යාංශය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහාය ඇතිව සුදුසු අපහාස නීතියක් සකස් කරන බව මෑතකදී ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කමිටුවක් පත්කළ අතර නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කමිටුවේ සභාපතිත්වය දරයි.

එකී සිද්ධීන් ද්විත්වයෙන් අධිකරණයේ දී දුරකථනය නාද වූ නිසාවෙන් අධිකරණයට අපහස කළා යැයි රිමාන්ඩ් භාරයට පත් කර සිටි ඇඹිලිපිටියේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයා මැයි 2 වැනි දින අත්අඩංගුවේ දී මිය ගියේය. පශ්චාත් මරණ පරීක්ෂණයකින් හෙළි වූයේ ඔහුට මොට ආයුධයකින් බලහත්කාරයෙන් සිදුකළ තුවාල හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවී ඇති බවයි. මෙම නඩුවේදී අපහාස කිරීමේ බලතල භාවිත කළ ආකාරය පිළිබඳ නීතිඥ සංගමය කණස්සල්ලට පත්ව සිටින බව ප්‍රකාශ කළහ. එමෙන්ම පුත්තලම මහාධිකරණ විනිසුරුවරයකු විසින් අපහාස කිරීම සම්බන්ධයෙන් පී. උදයංගනී නම් නීතිඥවරිය රිමාන්ඩ් භාරයට පත් කරන ලද අතර, ඇය අධිකරණයට හිස නැමුවේ නැති බව සහ ඇය අධිකරණයට කතා කළ ආකාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල විණි.

Social Sharing
අවකාශය පුවත්