පළාත් පාලන මැතිවරණයෙන් මාලිමා ආණ්ඩුවට පසුබෑමක් පෙන්නුම් කරන බව පැහැදිලි කරුණකි. නිදහසට කුමන කතා කීවත් ඔවුන්ද එය තේරුම් ගෙන ඇති බවට සැකයක් නැත.
මැතිවරණයේ ප්‍රතිඵලයේ අනෙක් ප්‍රධාන ලක්ෂණයක් නම් විපක්ෂයේ කිසිදු කණ්ඩායමකට සතුටු විය හැකි වර්ධනයක් නොමැති වීම යි. විපක්ෂයේ පක්ෂ සියල්ල තම ඡන්ද වැඩි කරගෙන ඇත. ඒ අතරින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් සිටින බව ද පැහැදිලි කාරණයකි. අනෙක් පක්ෂ ද යම් වර්ධනයන් අත් කරගෙන ඇත. නමුත් ආණ්ඩුවට අභියෝග කළ හැකි විපක්ෂයක් ලෙස නැගී සිටීමට කිසිවකු සමත් නොවීම අවධානයට ලක්විය යුතු කාරණයකි.
මහ මැතිවරණය සමග සසඳා බැලීමේ දී ආණ්ඩුවේ ඡන්ද අඩුවීම ලක්ෂ 23 කි. ප්‍රතිශත වශයෙන් සියයට 62 ක සිට සියයට 43 ක් දක්වා සියයට 18 ක පසු බැස්මකි . ඡන්දය ප්‍රකාශ වීමේ අඩුව නිසා ප්‍රතිශත ගැන සැලකිල්ල දැක්වීම වඩා සුදුසු ය. මෙයින් පෙනී යන්නේ ජනතාව ආණ්ඩුවට යම් පණිවිඩයක් දී ඇති බව යි. ඒ කුමක්දැයි වෙනම විමසා බැලිය යුතු ය. ඒ ගැන නොයෙකුත් විග්‍රහයන් ඉදිරිපත් වෙමින් ද පවතියි. නමුත්, එයින් මැතිවරණ ප්‍රතිඵලයේ සමස්ත පාඩම තේරුම් ගත හැකි වන්නේ නැත.
ආණ්ඩුවට අත්වී ඇති පරාජය ගැන සාකච්ඡා කිරීම සහ එයට හේතු හඳුනාගැනීම වැදගත් ය. එමෙන් ම, විපක්ෂයට සිදු වී ඇති දේ ද තේරුම් ගත යුතුව ඇත.
සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන්නේ ආණ්ඩුවට ඡන්ද අහිමි වන විට එයින් වැඩි කොටස ප්‍රධාන විපක්ෂයට ලැබෙනු ඇතැයි යනුවෙනි. නමුත් පළාත් පාලන ඡන්දයේ දී ආණ්ඩුවට අහිමි වූ ඡන්දවලින් ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගයට හිමිව ඇත්තේ ලක්ෂ තුනක තරම් ප්‍රමාණයකි. ප්‍රතිශතය ලෙස සියයට 17.68 සිට 21.69 දක්වා සියයට 4 ක වර්ධනයකි. මෙය අනෙක් පක්ෂ ලබාගත් ප්‍රමාණයේ ම හෝ ඊට අඩු වර්ධනයකි. එමෙන් ම ඔවුන් සිටින්නේ ඡන්ද ප්‍රමාණයෙන් සහ ප්‍රතිශතයෙන් මාලිමාවෙන් අඩකට වඩා අඩුවෙන් ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලක්ෂ හයක පමණ ඡන්ද වැඩි කරගැනීමක් සමග ප්‍රතිශත ලෙස සියයට 3.14 සිට 9.17 දක්වා වර්ධනයක් පෙන්නුම් කර ඇත. එය සියයට 6 කි. තුන් ගුණයක වර්ධනයකි.
මහ මැතිවරණයේ දී සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වුයේ ලක්ෂ පහක ඡන්ද ප්‍රමාණයකි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 4.49 කි. එම පක්ෂයට හිමි වූ මන්ත්‍රී ධුරයකට රවී කරුණානායක මහතා පත්වීමත් සමග මේ වන විට එම සන්ධානය බිඳ වැටී ඇත. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලෙස කටයුතු කරන්නට අනෙක් පක්ෂ තවදුරටත් සුදානම් නැත. මෙවර එම කණ්ඩායම තරග කළේ පක්ෂ සහ කණ්ඩායම් ගණනාවක් වශයෙනි. එක්සත් ජාතික පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, ලංකා කම්කරු කොන්ග්‍රසය , සහ ස්වාධින කණ්ඩායම් කිහිපයක් ද එලෙස තරග වැදිණි. ඔවුන්ගේ ඡන්ද පදනම ද වැඩි වී තිබේ.
එක්සත් ජාතික පක්ෂය මෙම මැතිවරණයේ දී ඡන්ද 488,000 ක් ලබාගත්තේය . එය ප්‍රතිශතයක් ලෙස සියයට 4.69 කි. එය සිලින්ඩරය යටතේ ලැබූ සියයට 4.49 ඉක්මවා යාමකි. වෙනම තරඟ කළ පොදුජන එක්සත් පෙරමුණ 385,000 ක් ඡන්ද ලබාගෙන සියයට 3.72 ක ප්‍රතිශතයක් වාර්තා කොට ඇත. අනෙක් පක්ෂ සහ කණ්ඩායම්වල ප්‍රමාණයත් එකතු කළ විට සිලින්ඩරයේ කොටස්කරුවන්ව සිටි පක්ෂ සහ කණ්ඩායම් ද සියයට 4 කට වැඩි ප්‍රමාණයකින් තම ඡන්ද ප්‍රතිශතය වැඩි කරගෙන ඇති බව පැහැදිලි ය.
දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු සර්වජන බලය ද ඡන්ද 120,000 වැඩියෙන් ලබාගෙන ඡන්ද ප්‍රතිශතය සියයට 1.60 සිට 2.83 ක් දක්වා ඉහළ නංවාගෙන ඇත.
දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු අනෙකුත් පක්ෂ ද තම ඡන්ද ප්‍රමාණ වැඩි කරගෙන තිබේ.
මෙයින් අපට පෙනී යන කාරණය කුමක් ද ? මාලිමා ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ ඡන්දදායක පිරිස විපක්ෂයේ පක්ෂවලට ඡන්දය ප්‍රකාශ කොට ඇතත් කිසිදු පක්ෂයක් වෙත වැඩි නැඹුරුවක් පෙන්නුම් කොට නැති බව යි. ඒ කියන්නේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන ජනයාට පිළිගත හැකි විකල්පයක් ලෙස අනෙක් පක්ෂ අභිබවා ඉදිරියට එන්නට විපක්ෂයේ පක්ෂ සියල්ල අසමත් වී ඇති බව යි. මාලිමා ආණ්ඩුවට විකල්පයක් සැපයීමට මෙම පක්ෂ කිසිවක් සමත් වී නැත. මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්වන වැදගත් කාරණය එය යි.
මෙය මාලිමාවට ලැබුණු ඡන්ද පිළිබඳව ද ප්‍රශ්නයක් මතුකරන කාරණයකි. එම ප්‍රශ්නය නම් ඔවුන්ට එම ඡන්ද ප්‍රමාණය ලැබුණේ ඔවුන් අනුමත කිරීමක් ලෙස ද , නැතහොත් ඔවුන්ට වඩා හොඳ විකල්පයක් පිටතින් ඉදිරිපත් වී නැති නිසා ද යන්න යි. හේතුව දෙවැන්න නම් එයින් පෙන්නුම් කරන්නේ ජාතික දේශපාලනය තුළ විශාල රික්තයක් නැතහොත් හිඩැසක් නිර්මාණය වී ඇති බව යි.
මෙයට පළමු හේතුව මාලිමාව රටට ඉදිරිපත් කළ දේශපාලන දර්ශනය අසාර්ථක වීම යි. එම දර්ශනයේ පදනම වුයේ සොරුන් පරාජය කිරීමෙන්, සොරකම නතර කිරීමෙන්, සොරකම් කළ මුදල් මෙරටට රැගෙන ඒමෙන් සහ අත්පත් කර ගැනීමෙන් රටේ සියලු සමාජ ආරථික ප්‍රශ්න විසඳෙන බව යි. සොරකම නතර කළ විට ඉන්ධන මිල ,විදුලි ගාස්තු සහ බඩුමිල අඩු වන බව ඔවුහු කීහ. ආයෝජකයින් පැමිණෙන බව කීහ. විදේශවල සඟවා ඇති ඩොලර් බිලියන තිහක හතලිහක මුදල රැගෙන රටේ ණය ගෙවිය හැකි බව ද ප්‍රකාශ කළහ. නමුත්, ඔවුන් කී සොරුන් පන්නා මාලිමවේ පිරිසිදු පාලනය ගොඩනැගු නමුත් පෙර කී කිසිවක් සිදුවුයේ නැත. දැන් පෙනෙන්නේ එකී බොහෝ දේ කළ නොහැකි බව හෝ නොකෙරෙන බව යි. ඒ කියන්නේ යථාර්ථවාදී නොවන එම දර්ශනය පරාජයට පත් වී ඇති බව යි. කිසිවකු එය පරාද කළේ නැත. මාලිමා ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය තුළ එය අසාර්ථක වී තිබේ.
විපක්ෂයට මෙයට විකල්ප දැක්මක් හෝ වැඩ පිළිවෙළක් නැත. ඔවුන් දැන් කරන්නේ බලයට පත් වූ පසු මාලිමාව අතහැර දැමු ඇතැම් ජනප්‍රිය සටන්පාට කර පින්නා ගැනීම යි. අයි එම් එෆ් විරෝධය, ඉන්දියානු විරෝධය, විදුලි බිල වැඩි කිරීමට විරෝධය ආදිය දැන් ඔවුන්ගේ සටන්පාට වී ඇත. ඒ සමග අනෙක් උත්සාහය නම් පුද්ගල චරිත ඉස්මතු කිරීමට සහ ඒ මත විශ්වාසයක් ගොඩ නැගීමට උත්සාහ දැරීම යි. ජනතාව විශ්වාස තැබිය යුත්තේ සජිත් ගැන ද, නාමල් ගැන ද, දිලිත් ගැන ද , ආදී වශයෙනි. සමාජ – දේශපාලන ඉදිරි දැක්මක් හෝ වැඩ පිළිවෙළක් හෝ රටට ඉදිරිපත් වන්නේ නැත. විපක්ෂයේ පක්ෂවලට මෙලෙස ජනතාවට විකල්පයක් සපයන්නට නොහැකි ය.
මෙය ආණ්ඩුවට මෙන් ම විපක්ෂයේ පක්ෂවලට ද යළි සිතන්නට අවස්ථාවකි. ආණ්ඩුවට තම දේශපාලන වැඩ පිළිවෙළ අලුතින් සකසා ගන්නට මැතිවරණ ප්‍රතිඵලය මගින් බල කොට ඇත. විපක්ෂයේ පක්ෂවලට ද, අලුතින් සිතා නව දේශපාලන විකල්ප ඉදිරිපත් කිරීමට අවස්ථාවකි.
එබඳු පිළිගත හැකි විකල්පයක් නැති බැවින්, දැන් රට ගමන් කරමින් පවතින්නේ අවදානම් සහගත, අරාජික තත්ත්වයක් කරා ය.
සී ජේ අමරතුංග