ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි – ධර්මසිරි ලංකාපේලි

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය බලවත් අර්බුදයට පීඩනයකට පත්ව තිබෙන අවස්ථාවේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ මාධ්‍යවේදීන්ට ආයතනික ව්‍යුහයක් සකස් කිරීමට වත්මන් රජය කටයුතු කිරීම අගය කළයුතු බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා පවසා සිටි‍යේය. ඒ ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂාව තහවුරු කර ගැනීමට දිවයින පුරා මාධ්‍යවේදීන්, මාධ්‍ය ප්‍රධානීන් සහභාගී කරවාගෙන පැවැත් වූ සමීක්ෂණ වාර්තාවක් ඊයේ දිනයේ (15) කොළඹ දී එළි දැක්වූ අවස්ථාවේ දීය.

එහිදී වැඩිදුරටත් එතුමා පවසා සිටියේ,

“ලංකාවේ මාධ්‍ය කර්මාන්තය බරපතළ අර්බුදයකට මුහුණ දෙමින් වේගයෙන් අර්බුදයක් කරා ගමන් කරනවා. මෙයට පිළියමක් ලෙස මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ මඟ පෙන්වීම අනුව මේ අභියෝගයන්ට මුහුණදීමට ගතයුතු ක්‍රියාමාර්ග හඳුනාගැනීම සඳහා අපි වසර ගණනාවක් තිස්සේ වරින් වර විවිධ සමීක්ෂණ පැවැත්වූවා.

මේ රටේ මාධ්‍ය කර්මාන්තයට අලුත් පියවර රාශියක් තබන්නට වත්මන් රජය මුල් වී තිබෙනවා. ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා ලංකාවේ මාධ්‍ය සංවිධාන සියල්ල කැඳවා මාධ්‍ය ප්‍රඥප්තියක් මාධ්‍ය ප්‍රතිපත්තියක්, ඒ වගේම මාධ්‍යවේදීන් සඳහා ආයතනික ව්‍යුහයක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළා.

ලංකාවේ ජනමාධ්‍ය අර්බුදයට බලවත් පීඩනයකට පත්ව තිබෙන අවස්ථාවේ ජනමාධ්‍යවේදීන්ගේ සේවා කොන්දේසි පිළිබඳව කරන ලද සමීක්ෂණ වාර්තාවක් එළිදැක්වීම තමයි අද අපේ අරමුණ. ලංකාවේ මාධ්‍ය කර්මාන්තයේ ඕනෑම ප්‍රතිසංස්කරණයක් ප්‍රතිසංවිධානයක් කරනවානම් ජනමාධ්‍ය කර්මාන්තයේ කේන්ද්‍රීය වටිනාකමක් කේන්ද්‍රීය බලපෑමක් කළ හැකි පිරිස වන්නේ ජනමාධ්‍යවේදීන්.

ජනමාධ්‍යවේදීන් ශක්තිමත් කරන්නේ නැතිව ඔවුන්ගේ වෘත්තීය තත්ත්වය වෘත්තීය දැනුම දියුණු කරන්නේ නැතිව ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන්නේ නැතිව මේ කර්මාන්තය මොන විදිහේ ක්‍රියාමාර්ග ගත්තත් මේ අර්බුදයෙන් ගැලවීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ.
ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි උතුරු නැගෙනහිර කලාපය, උතුරු මැද කලාපය, ඌව කලාපය, මධ්‍යම කලාපය සහ දකුණු කලාපය එක සහ දෙක වශයෙන් බෙදලා සේවයේ නියුතු රට පුරා සිටින මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් ඒ වගේම ප්‍රාදේශීය වශයෙන් ජනමාධ්‍ය කර්මාන්තයේ විශාල කාර්යභාරයක් ඉටු කරන ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් මේ සමීක්ෂණයට ඉදිරිපත් වුණා.

මොන ප්‍රතිසංස්කරණයන් කළත් පළමුවැනි කාරණය හැටියට ජනමාධ්‍යවේදීන් මුහුණ දෙන වෘත්තීය ගැටලු පිළිබඳ මැදිහත්වීම ප්‍රතිපත්ති සම්පාදකයන් හැටියට ආණ්ඩුව ඒ වෙනුවෙන් නෛතික ක්‍රියාමාර්ගවලට යොමුවීම වැදගත් ප්‍රමුඛ කාර්යයන් ලෙස අපි අවධාරණය කරනවා. අවුරුදු විස්සකට වැඩි කාලයක් පුරා මේ රටේ මාධ්‍ය සංවිධාන මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට අවශ්‍ය කරන සාකච්ඡාවේ ඉන්නවා. මාධ්‍ය සඳහා ප්‍රතිසංස්කරණ වගේම මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට අවශ්‍ය බිමේ සිදු කළ වැඩසටහන් හා ක්‍රියාමාර්ග ඕනෑ තරම් තියෙනවා. ඒවා ගොනු කරගන්නවා නම් මේක කාර්යය පහසු වෙනවා.
මේ වාර්තාව ජනාධිපතිවරයාට ආණ්ඩුවට යොමු කර මේ කර්මාන්තයේ නියැළෙන ප්‍රධාන කොඳුනාරටිය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය තත්ත්වය ආරක්ෂා කිරීමට ආණ්ඩුව විශාල මැදිහත්වීමක් කළ යුතුයි කියන යෝජනාව කෙරෙහි අපි නැවත වරක් රජයේ අවධානය යොමු කරනවා.”

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක තරිඳු උඩුවරගෙදර මහතා මෙම මාධ්‍ය හමුවේ දී අදහස් පළ කළ අතර එහිදී ඔහු පවසා සිටියේ,

“මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය ජාත්‍යන්තර මාධ්‍ය‍ය සාමූහිකය සමඟ එක්ව මාධ්‍ය පිළිබඳ වෘත්තීය තත්ත්වය පිළිබඳ සකස් කළ සමීක්ෂණ වාර්තාව අද එළි දක්වනවා. සැලසුම් නොකරත් ඊයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ජනමාධ්‍යවේදීන් සහ ඊට සම්බන්ධ ප්‍රධානීන් ඇතුළත් සාකච්ඡාවක් කැඳෙව්වා. මාධ්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය පිළිබඳ වරලත් ආයතනයක් සකස් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍යාංශය මීට පෙර සකස් කළ කෙටුම්පත ඉදිරිපත් කළා.

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සඳහා හිටපු ආණ්ඩුව සකස් කළ කෙටුම්පත මාධ්‍ය සේවක වෘත්තීය සමිති සංවිධානය ඇතුළු මාධ්‍ය සංවිධාන තරයේ ප්‍රතික්ෂේප කළා. එම කෙටුම්පතේ මාධ්‍යවේදියාගේ අයිතිවාසිකම් පිළිබඳ සලකා බලලා නැහැ. ජනමාධ්‍ය ක්ෂේයේ 2025 නූතන තත්ත්වය පිළිබඳ අවබෝධයක් නැහැ. පරණ ආකෘතියක්. මාධ්‍ය කර්මාන්තයේ සිටින අනෙක් පාර්ශව මාධ්‍ය හිමිකරුවන් ආයතන ප්‍රධානීන්ගේ අවශ්‍යතාව සහ සහයෝගය නැතිවයි මේක හදලා තියෙන්නේ.
ආණ්ඩුව දැනට කෙටුම්පත් කරන වරලත් මාධ්‍යවේදී ආයතනය මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය පිළිබඳ ආයතනය පිළිබඳ ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
වෘත්තීය මාධ්‍යවේදියාගේ කාර්යභාරය ඉතාම වැදගත්. ජනතාව මේ රට වෙනස් කළේ ඒකටයි.”

Social Sharing

අවකාශය පුවත්