ආජන්ටිනාව තවත් IMF ගිවිසුමකට

සති කිහිපයකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් ආජන්ටිනාවට ඩොලර් බිලියන 20ක තවත් ණය මුදලක් අනුමත කළා. මෙය ආජන්ටිනාව විසින් මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නා 23 වන අවස්ථාවයි. එමෙන්ම මූල්‍ය අරමුදලේ ලොකුම ණයකරු වන්නේද ආජන්ටිනාවයි.
අරමුදලේ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 12ක්ම ක්ෂණිකව ආජන්ටිනාවට ලැබෙන අතර, තවත් ඩොලර් බිලියන දෙකක සහ ඩොලර් බිලියනයක වාරික දෙකක් මෙම වසර ඇතුළත ලැබීමට නියමිතයි. ඩොලර් බිලියන 20ක මෙම ණය මුදල අනුමත වන විට, ආජන්ටිනාව විසින් 2022 වසරේදී ලබාගත් ඩොලර් බිලියන 31.1ක ණය මුදලක්ද ආජන්ටිනාව විසින් අරමුදලට ගෙවිය යුතුව තිබුණා. මෙම ණය මුදල ඉල්ලා සිටීම සහ එය අනුමත වීම වාර්තාගත කෙටි කාලයක් තුළ සිදු වී තිබෙනවා.

ලංකාවට මූල්‍ය අරමුදලෙන් ණය ලැබෙද්දී ඒ සමඟම ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන්ද ණය ලැබුණු පරිදි, මූල්‍ය අරමුදලේ මෙම ණය මුදල ලැබෙද්දී ආජන්ටිනාවට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 12ක් සහ අන්තර් ඇමරිකානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 10ක් ලෙස තවත් ඩොලර් බිලියන 22ක ණය මුදලක් ලැබෙනවා. මේ අනුව, ආජන්ටිනාව විසින් ඉහත ජාත්‍යන්තර ආයතන තුනෙන් අලුතෙන් ලබා ගන්නා මුළු ණය මුදල ඩොලර් බිලියන 42ක්.

පසුගිය 2024 වසරේදී ආජන්ටිනාවේ වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 212%ක් වූ අතර එය සිම්බාබ්වේ හැරුණු විට ලෝකයේ වැඩිම උද්ධමනයක් වාර්තා වූ රටයි. වසර තුළ උද්ධමනය ක්‍රමයෙන් පහත වැටෙමින් පැවතුනද, දෙසැම්බර් මාසයේදීද උද්ධමනය වාර්තා වූයේ 118% ලෙසයි. මෙම (2025) වසර අවසන් වෙද්දී ආජන්ටිනාවේ උද්ධමනය 18%-23% සීමාව දක්වා අඩු කරගැනීම වැඩ සටහනේ ඉලක්කයයි. ආජන්ටිනාව වැනි රටවල් දෙස බලද්දී ආජන්ටිනාවට වඩා ඉතාම දරුණු ආර්ථික අර්බුදයකින් වේගයෙන් ගොඩ ආ ලංකාවේ සාර්ව ආර්ථික කළමනාකරණය කැපී පෙනෙනවා.

ආර්ථික අර්බුදය ඇති වන විට ලංකාවේ රාජ්‍ය ආදායම් දදේනියෙන් 8.3% වැනි ඉතා අඩු මට්ටමක තිබුණත්, ආජන්ටිනාවේ රාජ්‍ය ආදායම් (2023දී) දදේනියෙන් 32.5% වැනි ඉතා ඉහළ මට්ටමක තිබුණා. එහෙත්, රජයේ ප්‍රාථමික වියදම් ඊටත් වඩා වැඩි 35.3% මට්ටමේ පැවතුනු නිසා, දදේනියෙන් 2.8%ක ප්‍රාථමික අයවැය හිඟයක් වාර්තා වුනා. මීට සාපේක්ෂව ලංකාවේ ප්‍රාථමික රාජ්‍ය වියදම් පැවතුනේ 14.0% තරම් අඩු මට්ටමකයි. එහෙත් රාජ්‍ය ආදායම් ඉතාම අඩු මට්ටමක පැවති නිසා 5.7%ක ප්‍රාථමික අයවැය හිඟයක් වාර්තා වුනා.

ආජන්ටිනාවේ පොලී වියදම් දදේනියෙන් 2.5%ක් පමණක් වුවත්, ලංකාවේ එම අගය 6.0%ක් වූ බැවින් ලංකාවේ සමස්ත අයවැය හිඟය 11.7%ක් ලෙස වාර්තා වෙද්දී ආජන්ටිනාවේ සමස්ත අයවැය හිඟය දදේනියෙන් 5.4%කට සීමා වී තිබුණා.

මිලේ රජය බලයට පැමිණීමෙන් පසුව ආජන්ටිනාවේ ප්‍රාථමික රාජ්‍ය වියදම් දදේනියෙන් 29.8% දක්වා අඩු කළා. මෙය 16%ක පමණ වියදම් කප්පාදුවක්. 2024 වන විට ලංකාවේ රාථමික රාජ්‍ය වියදම් දදේනියෙන් 11.5% දක්වා පහත හෙළා ඇති අතර මෙය 18%ක කප්පාදුවක්. දදේනියෙන් 32.5% වැනි ඉතා ඉහළ මට්ටමක සිට 16%ක වියදම් කප්පාදුවක් කරන තරමට, 14.0 මට්ටමේ සිට 18%ක කප්පාදුවක් කරන එක පහසු නැහැ. ලංකාව කළේ එවැනි අසීරු
කාර්යයක්. එහෙත්, ආජන්ටිනාවට ලැබෙන තරමේ අගය කිරීමක් ලංකාවට ලැබෙන්නේ නැහැ.

ඉහත සඳහන් කළ පරිදි, රාජ්‍ය වියදම් 16%කින් අඩු කර ගැනීමෙන් පසුව ආජන්ටිනාවේ දදේනියෙන් 2.5%ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වූ අතර පොලී වියදම ඊට වඩා අඩු මට්ටමක පැවති බැවින් සමස්ත අයවැය අතිරික්තයක්ද වාර්තා වී තිබෙනවා. දැන් කරන්නට තිබෙන්නේ මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යාම පමණයි. එහෙත්, ලංකාව විසින් දදේනියෙන් 2.2%ක ප්‍රාථමික අතිරික්තයක් කරා යාමෙන් පසුවද, ඉතාම ඉහළ මට්ටමක ඇති පොලී වියදම් හමුවේ, දදේනියෙන් 6.8%ක සමස්ත අයවැය හිඟයක් ඉතිරි වී තිබෙනවා.

ණය තිරසාරත්වය පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දී සිටි ලංකාවට විසඳා ගත යුතුව තිබුනේ සහ තිබෙන්නේ ආජන්ටිකාවට තිබුණු ආකාරයේ සූපිං ප්‍රශ්නයක් නෙමෙයි. බලශක්ති අංශයේ මිල ගණන් පිරිවැය හා සසඳා සුබසාධන වියදම් සීමා කර ගැනීම මගින්ම පමණක් ආජන්ටිනාවේ රාජ්‍යමූල්‍ය කළමනාකරණ ඉලක්ක කරා සෑහෙන දුරක් යා හැකිව තිබුනා. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයක් ආජන්ටිනාවට ලොකුවට තිබුණේ නැහැ. නමුත් ලංකාවේ රාජ්‍යමූල්‍ය ප්‍රශ්නය බොහෝ දුරටම ආදායම් අඩු වීමේ ප්‍රශ්නයක්. දැනට වුවත්, ලංකාවේ රාජ්‍ය ආදායම් පංගුව ආජන්ටිනාවේ එම පංගුවෙන් අඩකටත් වඩා අඩුයි.

රාජ්‍යමූල්‍ය ප්‍රශ්නයක් ආජන්ටිනාවටද තිබුණත්, එය කිසිසේත්ම ලංකාවේ මට්ටමේ ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත් අයවැය හිඟය පියවා ගැනීම සඳහා විශාල ලෙස සල්ලි අච්චු ගැසීම ආජන්ටිනාව උද්ධමන අර්බුදයකට තල්ලු කළා. සල්ලි අච්චු ගැසීම නිසා මුදල් සැපයුම ඉහළ යද්දී ඊට සමානව නිෂ්පාදනය වැඩි නොවුවහොත් ආනයන ඉල්ලුම ඉහළ ගොස් ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වෙනවා. 2023 වන විට ආජන්ටිනාවේ දළ නිල සංචිත ඩොලර් මිලියන 18,654 දක්වාත්, ශුද්ධ විදේශ සංචිත ඩොලර් මිලියන 2,005 දක්වාත් පහත වැටී තිබුණා. වැඩ සටහනේ ඉලක්කය වන්නේ 2030 වන විට දළ නිල සංචිත ඩොලර් මිලියන 198,051 දක්වාත්, ශුද්ධ විදේශ සංචිත ඩොලර් මිලියන 163,197 දක්වාත් වර්ධනය කර ගැනීමයි. මේ සඳහා ආජන්ටිනාවේ මහ බැංකුවට ඉදිරි වසර වලදී විණිමය වෙළඳපොළට විශාල මැදිහත් වීමක් කරන්නට සිදු වෙනවා.

ලංකාව මෙන්ම ආජන්ටිනාවද, සල්ලි අච්චු ගැසීම නිසා ඇති වූ උද්ධමනය හමුවේ, විනිමය අනුපාතය පාලනය කර ගත නොහැකි අදියරකට එළඹුනා. මෙම තත්ත්වය පාලනය කර ගැනීම පිණිස ලංකාව විසින් විණිමය අනුපාතයේ විචලනයන් සීමා කළත්, පසුව විණිමය අනුපාතය නිදහස් කිරීමට සමත් වුනා. එහෙත් ආජන්ටිනාව තවමත් විණිමය අනුපාතය නිදහස් කිරීමට සමත්ව නැහැ.

මිලේ රජය බලයට පත් වීමෙන් පසුව අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ විණිමය අනුපාතය විචලනය වීම සැලසුම්සහගත ලෙස පාලනය කිරීමයි. ඒ අනුව, ආජන්ටිනා පෙසෝව මුලින්ම සැලකිය යුතු තරමින් අවප්‍රමාණය කිරීමෙන් පසුව, මසකට 2%ක නිශ්චිත වේගයකින් අවප්‍රමාණය කරනු ලැබුවා. මේ අයුරින් විනිමය අනුපාතය කෘතීම ලෙස පාලනය කිරීම උද්ධමනය අඩු කර ගැනීමට උදවු වුනත්, ඊට වඩා වැඩි උද්ධමනයක් පැවතීම නිසා විණිමය අනුපාතය තුළ එහි නියම අගය පිළිබිඹු වූයේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආජන්ටිනාවට විනිමය අනුපාතය රැක ගැනීම සඳහා විදේශ සංචිත විකිණීමට සිදු වුනා. මුලින්ම පෙසෝව අවප්‍රමාණය කිරීමෙන් පසු එකතු කරගත් සංචිත ක්‍රමයෙන් අඩු වෙන්නට පටන් ගත්තා. හදිසියේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නැවත යන්නට සිදු වුනේ ඒ නිසයි.

අරමුදලේ උදවු ඇතිව, දැන් ආජන්ටිනාව විසින් විණිමය අනුපාතය ක්‍රමයෙන් නිදහස් කිරීමට අපේක්ෂා කරනවා. එහෙත් එය හදිසියේ සිදු වන එකක් නැහැ. මුලින්ම සිදු වන්නේ යම් සීමාවක් තුළ විණිමය අනුපාතය විචලනය වීමට ඉඩ හැරීමයි. ඉන් පසුව ක්‍රමයෙන් මෙම සීමාව පුළුල් කිරීම සැලසුමයි.
සාර්ව ආර්ථික කළමණාකරණයේදී රාජ්‍යමූල්‍ය, මුදල් හා විදේශ අංශ වල මනා තුලනයක් පවත්වා ගැනීමෙන් හොඳ ප්‍රතිපල ලබා ගත හැකියි. මේ හා අදාළව දැකිය හැකි හොඳම මෑතකාලීන උදාහරණයක් වන්නේ ලංකාවයි. රාජ්‍යමූල්ය අංශය කළමනාකරණය කරගෙන ඇතත්. තවමත් විදේශ අංශය හෝ උද්ධමනය කළමනාකරණය කරගත නොහැකිව සිටින ආජන්ටිනාවට වුවද ලංකාවෙන් උගත හැකි දේ තිබෙනවා.

උපුටාගැනීම : ඉකොනොමැට්ටා

Social Sharing
ආර්ථික පුවත්