ලිංගික අල්ලස් ඉල්ලු නිලධාරියාට වසර 20ක සිර දඬුවම්!

තම දරුවාගේ වකුගඩු සැත්කමක් සඳහා රජයෙන් ලබාදෙන සහනාධාර මුදල ලබාගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියමකර ඇත.

ඒ අනුව තම හත් හැවරිදි දරුවාගේ වකුගඩු සැත්කම සඳහා අරමුදල ලබා ගැනීමට ගිය 30 හැවරිදි තිදරු මවගෙන් මෙලෙසින් දිවිනැගුම සංවර්ධන නිලධාරියෙකු මේ අයුරින් ලිංගික අල්ලස් ලබා ගෙන ඇත.

මෙම සිරදඬුවම වසර 10කින් ගෙවී යා යුතු බවත් තීන්දුව ප්‍රකාශයට පත්කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කර ඇත. තවද විත්තිකරුට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය ඇතුළු සිවිල් අයිතිවාසිකම් අහිමිවන බවට මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දෙන ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කළේය. මීට අමතරව විත්තිකරුට රුපියල් 20,000ක දඩයක්ද නියම විය. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේ විත්තිකරු රජයේ නිලධාරියෙකු වශයෙන් තම වගකීම ඉටුකිරීම සඳහා මේ ආකාරයෙන් අසරණ කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. මෙම වරදේ බරපතලභාවය සැලකිල්ලට ගැනීමේදී ලිහිල් දඬුවම් නියමකිරීමට හැකියාවක් නොමැති බවත්, ඒ අනුව මෙම දඬුවම නියම කරන බවත් විනිසුරුවරයා පවසා ඇත.

ඒ අනුව 2015 වසරේ මාර්තු මස 31 වනදා මේ අයුරින් තිදරු මවගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇයව තිස්සමහාරාම ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගිය අවස්ථාවේදී විත්තිකරු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුව මෙම සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.

දීර්ඝ නඩු විභාගයකින් අනතුර තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ලකර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී තිබෙන බව නියෝග කළ අතර ඒ අනුව මෙම දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.

 

Social Sharing
අවකාශය නවතම පුවත්