පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය තරමක් අපූරු ප්‍රතිඵලයක්. හැම පාර්ශ්වයකට වගේම තමන් ජයගෙන තිබෙන බවට ප්‍රසිද්ධියේ තර්ක කරන්න පුළුවන් කිසියම් ඉඩක් ඉතිරි වී තිබෙනවා. නමුත් මේ පාර්ශ්ව බොහොමයකට පෞද්ගලිකව සතුටු වෙන්න පුළුවන් තරම් හොඳ ප්‍රතිඵලයක් ලැබී නැහැ.
මැතිවරණයක් කොයි තරම් සාමකාමීව හෝ සාධාරණව පැවැත්වුවත්, ඡන්දදායකයින් තමන්ගේ තීරණය ගන්නේ විශාල අවිනිශ්චිතතාවයක් එක්ක නම් හෝ ආවේගශීලිව නම් මැතිවරණ ප්‍රතිඵලයෙන් පිළිබිඹු වෙන්නේ යම් විකෘතියක් සහිත ජනමතයක්. පසුගිය ජාතික මැතිවරණ වලදී මේ තත්ත්වයන් දෙකම අඩු වැඩි වශයෙන් බලපෑම් කළා. නමුත් මේ පළාත් පාලන මැතිවරණ පැවැත්වුණේ ඡන්දදායකයින්ට නිවී සැනසිල්ලේ සිතා බලා තීරණයක් ගන්න පුළුවන් වටාපිටාවක. ඒ නිසා, මේ ප්‍රතිඵලයේ වටිනාකම වැඩියි.
ඡන්දය දීමේ ප්‍රතිශතය අඩු වීම නිසා ඉහත කරුණ නිශේධනය වෙන්නේ නැහැ. ඡන්දය නොදීමත් ඡන්දදායකයෙකුට ගත හැකි තීරණයක්. එයින් අදහස් වන්නේ තමන් විසින් අනෙකුත් ඡන්දදායකයින්ගේ තීරණය කවර එකක් වුනත් එය පිළිගන්නවා කියන එකයි. ඒ වගේම, මහ මැතිවරණය එක්ක බලද්දී අඩුව ලක්ෂ හතක් පමණයි.
අඩු වෙලා තියෙන්නේ මාලිමාවේ ඡන්ද. මාලිමාවේ ඡන්ද ලක්ෂ හැටනවයෙන් තුනෙන් එකකට වඩා අඩු වෙලා තිබෙනවා. කල්මුණේ ප්‍රාදේශීය සභාව නැති වීමේ බලපෑම සැලකුවත්, ලක්ෂ 23 ඉක්මවන අඩු වීමක්. එයින් ලක්ෂ 16ක් පමණම අනෙකුත් පක්ෂ අතර බෙදී ගිහින් තිබෙනවා.
මාලිමා ඡන්ද වලින් ලක්ෂ හයක් පමණම එකතු කරගෙන තිබෙන්නේ පොහොට්ටුව විසින්. සජබ ලක්ෂ තුනක් පමණ එකතු කරගෙන තිබෙනවා. ඉතිරි ඡන්ද ලක්ෂ හත අනෙකුත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් එකතු කරගෙන තිබෙනවා.
බැලූ බැල්මටම මෙය ආණ්ඩුවේ පරාජයක්. නමුත් මහ මැතිවරණයේදී ආණ්ඩුවට ලැබුණු ඡන්ද මාලිමාවේ නොවන මාලිමා ඡන්ද. මාස හයකට පසුව ඒ ඡන්ද ඒ විදිහටම ලැබෙයි කියලා එම පක්ෂයේ නායකයින්වත් විශ්වාස කළා කියලා මම හිතන්නේ නැහැ. එවැනි විශ්වාසයක් තිබුණා නම් මැතිවරණ ව්‍යාපාරයට ඔය තරම්ම බර දමන්න හේතුවක් නැහැ.
ජනාධිපතිවරණය පැවැත්වෙද්දී රටේ මිනිස්සු හිටියේ විශාල අවිනිශ්චිතතාවයක. ඒ එක්කම මහ මැතිවරණය තියද්දී මේ අවිනිශ්චිතතාවය අවසන් වෙලා තිබුණේ නැහැ. ඒ අනුව බලද්දී, මාස හයකට පසුවත් මාලිමාව විසින් මහ මැතිවරණ ඡන්ද වලින් තුනෙන් දෙකක් ලබා ගැනීමට සමත් වීම ඔවුන්ගේ ජයග්‍රහණයක් කියා කියන්නත් පුළුවන්. පොහොට්ටුවෙන් කැඩී ආ මේ ඡන්ද ස්ථිර ලෙස මාලිමාවේ නැවතී ඇති බවකුයි එයින් පෙනෙන්නේ.
අනෙක් අතට මේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සහ කලින් පැවැත්වුණු ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණ ප්‍රතිඵලය අතර විශාල සමානකමක් තිබෙනවා. මේ කරුණට වැඩි දෙනෙක් බර තබා තිබෙන බවක් මම දැක්කේ නැහැ. මෙහි පළකරන සිතියම් වල සහ ප්‍රතිඵල විශේලේෂණ වල ඇල්පිටියත් එකතු කරලයි තියෙන්නේ.
ජාතික මැතිවරණ වලට සාපේක්ෂව පළාත් පාලන මැතිවරණ වලදී ඡන්දය භාවිතා කිරීමේ පෙළඹුම අඩු වීම සාමාන්‍ය කරුණක්. මේ විදිහට පළාත් පාලන මැතිවරණ වලදී ඡන්දය භාවිතා නොකරන පිරිස අහඹු පිරිසක් නෙමෙයි. ඒ නිසාම, පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මත පදනම්ව ජාතික මැතිවරණ ප්‍රතිඵල ගැන පුරෝකථනය කරන එකේ අවුලක් තිබෙනවා. ජාතික මැතිවරණයකදී මේ ඡන්ද වැටෙද්දී සමස්ත ප්‍රතිඵලයේ සංයුතියත් වෙනස් වෙන්න පුළුවන්.
එයින් අදහස් කරන්නේ ඒ ඡන්ද ටික මාලිමාවට වැටෙනවා කියන එක නෙමෙයි. එහෙම කියන්න හෝ එහෙම නෙමෙයි කියන්න පුළුවන්කමක් නැහැ. නමුත් මේ ගොඩේ තියෙන්නේ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කළ හැකි තීරක ඡන්ද. ඊට සාපේක්ෂව, පළාත් පාලන මැතිවරණයකදී භාවිතා වෙන්නේ ස්ථිර ඡන්ද.
චිත්රයෙන් මාලිමාව ඉවත් කරලා ඉතිරි කොටස දිහා බැලුවොත්, අරගලයට පෙර පැවති දේශපාලන සංයුතිය නැවතත් ගොඩ නැගෙමින් තිබෙනවා. ප්‍රධාන පක්ෂ දෙක වූ පොහොට්ටුව සහ සජබ දෙවන හා තෙවන තැන් වල සිටින අතර එම පක්ෂ තමන්ගේ ඡන්ද පදනම් වර්ධනය කර ගනිමින් සිටිනවා. ඒ වගේම, වාර්ගික දේශපාලන පක්ෂ විසින්ද තමන් පෙර සිටි තැනට එමින් තිබෙනවා. ඒ අතරම, ලංකාවේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ දෙක වූ එජාපය සහ ශ්රීලනිපයද තවමත් මියගොස් නැහැ. 2020දී මාලිමාව සිටි මට්ටමේ ඒ පක්ෂ දෙකම ඉන්නවා.
සර්වජන බලයද ඡන්ද ලක්ෂයකට වඩා එකතු කරගෙන ඉදිරියට පැමිණ ඇතත්, එම පක්ෂය සිටින්නේ ඉහත පක්ෂ සියල්ලටම පසුපසින්. එම පක්ෂයේ ඡන්ද ප්‍රමාණවත් වන්නේ මහ මැතිවරණයකදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ගැනීමට පමණයි. ඡන්ද ප්‍රමාණය වර්ධනය කර ගැනීම ගැන කතා කරනවානම්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂද සැලකිය යුතු වර්ධනයක් පෙන්වා තිබෙනවා.
සජබ හා පොහොට්ටු ඡන්ද වර්ධනය වී ඇතත්, එම කණ්ඩායම් දෙකම තවමත් සිටින්නේ මාලිමාවට වඩා සැලකිය යුතු තරම් පසුපසින්. පොහොට්ටු ඡන්ද වල විශාල වර්ධනයක් දැකිය හැකි වෙතත්, එම කණ්ඩායමට කිසිදු පළාත් පාලන ආයතනයක මුල් තැනට පැමිණීමට හැකි වී නැහැ. ඊට සාපේක්ෂව, සජබ ආයතන යම් ප්‍රමාණයක පළමු තැනට පැමිණ තිබෙනවා. එහෙත්, ඒ එක් තැනක හෝ බහුතරය ලබා ගැනීමට සජබ සමත්ව නැහැ.
දකුණේ පළාත පාලන ආයතන විශාල ප්‍රමාණයක පළමු තැනට පැමිණ සිටින්නේ මාලිමාව වුවත්, එම ආයතන වලින් අඩක පමණ බලය පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතරය ලබා ගැනීමට ඔවුන් සමත්ව නැහැ. පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම සඳහා මන්ත්‍රී ධුර ගණනින් හරි අඩකට සහ එකකට නොඅඩු නියෝජනයක් අවශ්‍ය වෙනවා. කෙසේ වුවත්, මේ ප්රශ්නය මාලිමාවටද වඩා බරපතල සේ බලපා තිබෙන්නේ ඇතැම් තැන් වල මුල් තැනට පැමිණ සිටින අනෙකුත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලටයි.
ඇතැම් අය මේ තත්ත්වයට හේතුව අලුත් මැතිවරණ ක්‍රමය බව සිතන බවක් පේනවා. නමුත් පැරණි මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වීනම්, බහුතරය නොමැති පළාත් පාලන ආයතන ගණන මීටත් වඩා වැඩි විය හැකිව තිබුණා.
පැරණි ක්‍රමයේදී මුල් තැනට පැමිණෙන පක්ෂයට ප්‍රසාද ආසන දෙකක් ලබා ගැනීමේ හැකියාව තිබුණා. එහෙත් එහි වාසිය ලබා ගෙන පළාත් පාලන ආයතනයක බහුතර බලය හිමි කර ගත හැක්කේ 50% සීමාවට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හැක්කේනම් පමණයි. එම මට්ටමේ ඡන්ද ප්‍රතිශතයක් ඇති සෑම අවස්ථාවකදීම අලුත් ක්‍රමය යටතේද මුල් තැනට පැමිණි පක්ෂයට බහුතර බලය ලැබී තිබෙනවා.
අලුත් ක්‍රමය යටතේ ප්‍රසාද මන්ත්‍රී ධුර නොලැබෙතත්, කොට්ඨාශ ජයග්‍රහණ මත පදනම්ව අමතර මන්ත්‍රී ධුර හිමි වෙනවා. මේ ක්‍රමයට බොහෝ විට අමතර මන්ත්‍රී ධුර දෙකකට වඩා ලබා ගත හැකියි. එවැනි අමතර මන්ත්‍රී ධුර වලින් වැඩිම ප්‍රමාණයක් ලබා ගෙන තිබෙන්නේ මාලිමාවයි.
දැනට දැකිය හැකි ප්රවණතා අනුව පෙනී යන්නේ අරගලයට පෙර පැවති ද්විපක්ෂ දේශපාලන වාතාවරණය වෙනුවට, කඳවුරු තුනක් වටා ශ්‍රී ලාංකික ඡන්දදායකයා පෙළ ගැසෙමින් සිටින බවයි. ඒ පෙර සිටම ඉදිරියෙන් සිටි ලිබරල් සහ ජාතිකවාදී කඳවුරු දෙක සහ මේ මොහොතේ ඉදිරියෙන් සිටින සමාජවාදී කඳවුරයි. මේ අනුව, ඉදිරි කාලයේදී බොහෝ විට එජාපය හා සජබය නැවත සන්ධානගත වීමත්, සර්වජන බලය නැවත පොහොට්ටු කඳවුරට එකතු වීමත් සිදු විය හැකියි. ශ්‍රීලනිපයට ඔය කඳවුරු දෙකෙන් ඕනෑම එකකට එකතු වීමේ හැකියාව තිබෙනවා.
ලිබරල් සහ ජාතිකවාදී කඳවුරු දෙක අතරින් දැනට ඉදිරියෙන් සිටින්නේ සජබ ප්රමුඛ ලිබරල් කඳවුර වුවත්, එම කඳවුර විසින් සමත්ව තිබෙන්නේ සම්ප්‍රදායික එජාප ඡන්ද ප්‍රමාණය ආකර්ෂණය කර ගැනීමට පමණයි. ඒ නිසා, මාලිමා ඡන්ද පදනම දුර්වල වෙද්දී ශක්තිමත් වීමේ වැඩි විභවයක් තිබෙන්නේ පොහොට්ටු කඳවුරටයි. කෙසේ වුවත්, දේශපාලන ආස්ථානාවලියේ මධ්‍යය ආසන්නයේ ස්ථානගත වීම මගින් අනෙක් කඳවුරු දෙකට ඡන්ද විතැන් වන්නට නොදී රඳවා ගැනීම මාලිමාවේ උපාය මාර්ගය බව පෙනෙනවා. මාලිමාව පසුගිය ජාතික මැතිවරණ ජයග්‍රහණය කළේද මෙම උපාය මාර්ගය අනුගමනය කරමිනුයි.
බහුතර බලය කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට නොමැති පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා සන්ධාන ගොඩ නගා ගන්නා ආකාරය විමසිල්ලෙන් බලා සිටිය යුතු දෙයක්. එහිදී, බොරු හොඳ වෙයිද නැත්නම් හොරු බොඳ වෙයිද?
#ඉකොනොමැට්ටා #economatta