“නවක වදය” නැවැත්විය හැක්කේ කාටද? – අනුරුද්ද ප්‍රදීප්  

ආණ්ඩුවලටවත්, විශ්ව විද්‍යාල බලධාරීන්ටවත් “නවක වදය” නවත්වීමේ හැකියාවක් නෑ. ඒක නවත්වන්න පුළුවන් කණ්ඩායම් දෙකයි ලංකාවේ ඉන්නේ. ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය. මේ දෙපිරිස එකට එකතුවෙලා අවංක පොදු තීරණයක් ගත්තොත් විතරක් ඔය නවක වදය කියන එක නවත්තන්න පුළුවන්, නැතිනම් බෑ.

දැන් ලංකාවේ විශ්වවිද්‍යාලවල තියෙන්නේ 60, 70හෝ 80 දශක වල තිබුණු නවක වදය නෙවෙයි. මේ තියෙන්නේ 88/89 කැරැල්ලෙන් පස්සේ 1990 දී විශ්වවිද්‍යාල යළි විවෘත කිරීමෙන් පස්සේ ඇතිවුණු නවක වදය. ඒක ප්‍රමාණයේ නැතිනම් කෲරකමේ හෝ අහිංසක කමේ වෙනසක් නෙවෙයි. 1990ට කලින් නවක වදය කියන්නේ දේශපාලන උපකරණයක් නෙවෙයි. නමුත් 1990 න් පස්සේ නවක වදය කියලා විශ්ව විද්‍යාල ඇතුලේ ඒකාධිකාරී බලයක් පවත්වාගෙන යන්න ජනතා විමුක්ති පෙරමුණ විසින් හඳුන්වා දීල ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවූ ඉතාමත්ම සාර්ථක වුණ ක්‍රමයක්. ඒ කියන්නේ නවක වදය හඳුන්වා දුන්නේ ජවිපෙ නෙවෙයි. ඒක තිබුණා. නමුත් ඒක ශිෂ්‍ය දේශපාලනය සඳහා අවශ්‍ය මනෝභාවය, සංස්කෘතිය, ඒකාග්‍රතාව, අධිකාරීත්වය ගොඩනැගීම සඳහා සාර්ථකව යොදාගැනීමේ හැකියාව තේරුම් අරගෙන ඒක දේශපාලන උපකරණයක් බවට පත් කළේ ජවිපෙ. ඒ උරුමය දැනට විශ්ව විද්‍යාල ඇතුලේ පවත්වාගෙන යන්නේ ප්‍රධාන වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයත්, තමන්ට බලය ඇති තැන්වලදී ජනතා විමුක්ති පෙරමුණත්.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය තව අවුරුදු ගණනාවකට ලංකාව පාලනය කළ යුතුයි කියලා මම තදින් විශ්වාස කරනවා. ඒ වගේම ලංකාවේ නිදහස් තරගකාරී අධ්‍යාපන ආකෘතියට සමහර බරපතල තර්ජන ආපු අවස්ථාවල්වලදී ඒක බේරගන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් ගත්තු ස්ථාවර සහ කරපු සටන් ගැන මගේ ගෞරවයකුත් තියෙනවා. නමුත් ඒත් එක්කම කියන්න ඕන දෙයක් තමයි, ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට විශාලම අපකීර්තිය ඇතිවෙන කටයුත්ත පවත්වාගෙන යන්නෙත් මේ දෙපිරිසම තමයි. ඉතින් රාජ්‍ය විශ්ව විද්‍යාල සහ නිදහස් තරගකාරී අධ්‍යාපන ක්‍රමය බේරගන්න මේ අයට ඇත්ත වුවමනාවක් තියෙනවා නම් දැන් වහාම කරන්න ඕන දේ තමයි නවක වදය පවත්වාගෙන යන එක නතර කිරීමට අවංක තීරණයක් ගැනීම.

ඔය පක්ෂ දෙකේම ගොඩක් අය අපිත් එක්කත් පෞද්ගලිකව හිතවත්. ඒ වගේම එයාලගෙ කැපවීම ගැන හතුරු මිතුරු ඕනෑ අවස්ථාවක අපේ හිත් වල ගෞරවයක් තිබුණා. ඒ නිසාත්, මේ දවස්වල මම දේශපාලනය නොකරන නිසාත්  ඒ දෙපිරිසගෙන් කාගෙවත් හිත රිද්දන්න උවමනාවක් නෑ. නමුත් නිදහස් අධ්‍යාපනයට සහ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට ආදරය කරන කෙනෙක් විදියට මට ඒ දෙපිරිසටම කෙටියෙන් කියන්න තියෙන්නේ, මේක තවදුරටත් මෙහෙම යන්න බෑ කියලයි.

“අපි නවක වදයට විරුද්ධයි, අපි ඒක නවත්තන්න ගොඩක් වැඩ කරලා තියෙනවා, නවක වදය කියන්නේ මේ කුණු වෙලා තියෙන බාහිර සමාජයේම ලක්ෂණයක්” වගේ බොරු කියාගෙන එන්න එපා. ඔය පක්ෂ දෙකේ සියලුම ප්‍රධාන අයත්, ඒ වගේම අනූවෙන් පස්සේ අන්තරයේ කැඳවුම්කරුවෝ බවට පත්වුණු සියලු දෙනාත්, නවක වදය කියන්නෙත් තමන් අරගෙන තියෙන දේශපාලන තීරණයක් අනුව ක්‍රියාත්මක වෙන දෙයක් බව දන්නවා. ඒ නිසා දැන් තියෙන ප්‍රශ්නය වෙන්නේ තවදුරටත් මේ ක්‍රමය පවත්වාගෙන යා යුතුද සහ එසේ පවත්වාගෙන යා හැකිද කියන එක විතරයි.

මට තේරෙන්නෙ නෑ ජවිපෙට මේ ගැන තියෙන පැකිලීම මොකක්ද කියලා. ජවිපෙට ශිෂ්‍ය ව්‍යාපාරයෙන් විශාල ශක්තියක් කාලයක් තිස්සේ ලැබුණා. ඒක ඇත්ත. නමුත් ඔවුන් ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ගන්න පටන් ගත්තේ ඇත්තෙන්ම කිව්වොත් ශිෂ්‍ය ව්‍යාපාරය එයාලගෙන් ගිලිහිලා පෙරටුගාමීන්ට අත් වුනයින් පස්සෙයි. ඒ කියන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය නැතිව ජවිපෙට පවතින්න බෑ කියලා බාහිර සමාජයේ සමහරුත් ඒ වගේම ජවිපෙත් කාලයක් තිස්සේ පිළිගත් අදහස වැරදියි කියන එකයි. මගේ ඒ කාලේ සිට තිබුණු වැටහීමක් තමයි ජවිපෙ විසින් ශිෂ්‍ය දේශපාලනය පාලනය කරපු කාලෙදි ඇත්තෙන්ම සිද්ධ වුනේ ශිෂ්‍ය දේශපාලනය විසින් ජවිපෙහි සීමාව නිශ්චය කිරීමයි කියන එක. ඒ කියන්නේ ජවිපෙ ශිෂ්‍ය දේශපාලනයට ඇබ්බැහිවෙලා ඒකෙන්ම සීමා සහිත වුනා කියන එකයි. ඔවුන්ට ඒ මොහොතේ බරපතල හිත රිදෙන වැඩක් වුණත්, ශිෂ්‍ය දේශපාලනය පෙරටුගාමීන්ට අත්වීම තුළින් ජවිපෙට එතෙක් කලක් ජාතික දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වෙන්න තිබුණු විශාල බාධාවක් ඉවත් වුණා කියන එකයි මගේ නම් තේරුම් ගැනීම.

ඒ නිසා කොයි අතින් බැලුවත් ජවිපෙට තවදුරටත් නවක වදය දෙමින් ශිෂ්‍ය දේශපාලනය පවත්වාගෙන යාම අනිවාර්ය නැහැ. එයාලා බල දේශපාලනය නැමති ගඟෙන් දැන් එගොඩවෙලා නිසා ඔය ශිෂ්‍ය දේශපාලන පහුර තවදුරටත් කරගහගෙන යනවාට වඩා ඒක බිමින් තියෙන එක හොඳයි. එහෙම කරන්න නම් කොයි තරම් දුෂ්කර අභ්‍යාසයක් වුණත් පෙරටුගාමීන්ව අනෙකා ලෙස සිතන මානසිකත්වයෙන් අයින් වෙන්න වෙනවා.

පෙරටුගාමීන්ට කියන්න තියෙන්නේ ඔවුනට ජාතික දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වෙන්න අවශ්‍ය නම්, ශිෂ්‍ය දේශපාලන ඇබ්බැහියෙන් මිදෙන්න හිත හදා ගත යුතු බවයි. පෙරටුගාමී පක්ෂයේ ප්‍රමාණය අනුව ගත්තොත් ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ ලොකු එකක් තමයි. නමුත් කාලයක් තිස්සේ ජවිපෙට වෙලා තිබුණා වගේ, දැන් වෙනකොට ඔය කියන ශිෂ්‍ය දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ පෙරටුගාමීන්ගේ දේශපාලනය කුඩා කරන, සීමා කරන දෙයක් විදියටයි. ඒ වගේම මේ දැන් වෙලා තියෙනවා වගේ නවක වදය වගේ සිදුවීම් වලින් ඇතිවන අපකීර්තියේ වැඩිම කොටසට කර ගහන්න වෙන්නෙත් පෙරටුගාමීන්ටම තමයි. ඒ නිසා ලාභ ශ්‍රමය ලැබුණත් ඒ වෙනුවෙන් පෙරටුගාමීන්ට ගෙවන්න වෙලා තියෙන දේශපාලන වන්දිය විශාලයි.

ඉතින් මේ දෙපිරිස එකතුවෙලා තීරණයක් ගත්තොත් මිසක් නවක වදය නවතින්නෙ නැහැ.

නවකවදයට විරුද්ධව ෂෝට් ගහගෙන විශ්ව විද්‍යාලයට යමු කියනවා වගේ දේවල් වලින් නවක වදය නවත්වන්න බැහැ. උදාහරණයක් විදිහට කියනවා නම් ඉස්සර නවකයන්ට අඳින්න නියම වෙලා තිබුනේ රබර් සෙරෙප්පු, බෙල්ට් නැතිව කලිසම සහ බාල කමිස. ඉතින් බලධාරීන් දිගින් දිගටම තරයේ කියා සිටියා ළමයින්ට හරියට ඇඳුම් අඳින්න දෙන්න කියලා. ඊට පස්සේ ජ්‍යෙෂ්ඨ සිසුන් මොකද කළේ, ඔවුන් නවකයන්ට නියම කළා හොඳට කළු පාට සපත්තු දාලා හොඳ කලිසම් කමිස ඇඳලා බෙල්ට් දාලා හරියට සේල්ස් රෙප්ලා වගේ විශ්ව විද්‍යාලයට එන්න කියලා. ඉතින් ඇඳුම වෙනස් වුණා කියලා රැග් ඉවර වුණාද? ඉස්සර බාල විදියට අඳින අය නවකයෝ නම් දැන් හොඳට අඳින අය නවකයෝ. එච්චරයි. ෂෝට් අඳින එක අනවශ්‍ය විදිහට ඉස්මතු කළොත් වෙන්න තියෙන එකම දේ තමයි නවකයන්ට ෂෝට් ඇඳගෙන එන්න කියලා ජ්‍යෙෂ්ඨයෝ නියම කරයි. එහෙමයි ඒවා වෙන්නේ. සපත්තු බෙල්ට් දැම්මත්, ෂෝට් ඇන්දත් නවක වදය පවත්වාගෙන යන්න ඕනෙ කියන දේශපාලන තීරණය තිබෙන තුරු නවකවදය පවතිනවා.

නවක වදයේ ප්‍රශ්නය ඒක කොයි තරම් කෲරද කියන එක නෙවෙයි. ඒක ඉතාමත්ම සංවිධානාත්මක එකක් වීමයි. ගොඩක් තැන්වල නවක වදය මිනිස්සු හිතාගෙන ඉන්න තරම් කෲර නැහැ. නමුත් සමහර අතින් ඒක මිනිස්සු හිතනවට වඩා දරුණුයි. නවක වදයේ ප්‍රධාන ගැටලුව ඒකේ කෲරකම නෙවෙයි, ඒක මගින් ඇති කරන සංස්කෘතියයි. විශේෂයෙන්ම ඒ මගින් තමයි ‍ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාමත්ම පටහැනි ඒ වගේම නිදහස් චින්තනයට ඉතාමත්ම බාධාකාරී වන සාමූහික සංස්කෘතියක් ඇති කරන්නේ. ඇත්තෙන්ම කාලෙන් කාලෙට ජනමාධ්‍යවලට මාතෘකාවෙන ඛේදජනක සිදුවීම් කියන්නේ ඒකෙ හුදු අතුරු ඵලයක් විතරයි. ලොකුම ප්‍රශ්නය අර සංස්කෘතියයි. ඊටත් වඩා දැන් ප්‍රශ්නයක් වෙමින් තියෙන්නේ ලංකාවෙ ජාතික උරුමයක් විදියට සලකන්න පුළුවන් නිදහස් තරගකාරී අධ්‍යාපන ක්‍රමයේත්, රාජ්‍ය විශ්වවිද්‍යාලයාල පද්ධතියේත් පදනමටම එමගින් විශාල හානියක් ඇතිවීමයි.

ඒ නිසා නිදහස අධ්‍යාපනයට ආදරය කරන ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂය නවක වදය පිළිබඳව අවංක සෘජු තීරණයක් ගත යුතුයි.

Social Sharing
අවකාශය නවතම