ජනමාධ්‍යවේදීන්ට හිමිවිය යුතු වරප්‍රසාද රජයේ නිලධාරීන් සොරාගෙන!

මෙරට ජනමාධ්‍යවේදීන්ට හිමිවිය යුතු ශිෂ්‍යත්ව, විදේශ සංචාර හා රක්ෂණාවරණ පසුගිය කාලයේදී වැඩි වශයෙන් හිමිකරගෙන ඇත්තේ රජයේ නිලධාරීන් හා ජනමාධ්‍ය හැඳුනුම්පත අනීතිකව ලබාගත් පිරිසක් යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර ප්‍රකාශ කරයි. අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන ආකාරයට රජයේ මාධ්‍ය හැඳුනුම්පත ලබා දීම සඳහා ප්‍රමිතිගත නිර්ණායක ඉදිරිපත් කළ පසුගිය වසරට සාපේක්ෂව අයැදුම්පත් සංඛ්‍යාව 3,500කින් පමණ අඩු වීමෙන් මේ කරුණ පැහැදිලි වන බවයි.

ඔහු අවධාරණය කරන අන්දමට රජයේ මාධ්‍ය හැඳුනුම්පත කලක් තිස්සේ ශිෂ්‍යත්ව හා රක්ෂණාවරණ ආදී වරප්‍රසාද ලබා ගැනීම සඳහා අවභාවිත වී ඇති අතර ඒ අයුරින් සුදුසුකම් නොමැතිව කලක් තිස්සේ හැඳුනුම්පත් ලබා ගත් පිරිස නිර්ණායක හඳුන්වා දීමෙන් පසු අඩුවන්නට ඇති බවට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය වුණු බවයි.
2025 වසරට ද වලංගු වන සේ ලබාදුන් මාධ්‍ය හැඳුනුම්පත් 685ක් හැරුණු විට 2024 වසරේ දෙසැම්බර් 31 වන දායින් අවලංගු වූ මාධ්‍ය හැඳුනුම්පත් සංඛ්‍යාව 7,300ක් වේ.

එමෙන්ම ඔහු තවදුරටත් පවසා සිටියේ නව නිර්ණායක අනුව අමාත්‍යාංශවල පෞද්ගලික කාර්ය මණ්ඩලවලට හා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලවලටද මාධ්‍ය හැඳුනුම්පත් ලබා දුන්නේ නැතැයි පැවසූ ඔහු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ට හා අමාත්‍යාංශවල මාධ්‍ය ලේකම්වරුන්ට මෙතෙක් කලක් මාධ්‍ය පරිපාලක වශයෙන් දුන් හැඳුනුම්පතද මේ වසරේ නිකුත් නොකළ බවට පවසා ඇත. මෙසේ ප්‍රමිතිගත නිර්ණායක හඳුන්වා දී ඇත්තේ මාධ්‍යවේදීන් සමග කළ සාකච්ඡාවලින් පසුව බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත.

එසේම තොරතුරු එකතු කිරීමේ හා දැනුම් දීමේ කාර්යයේ නිරත පිරිස්වලට මාධ්‍ය හැඳුනුම්පත ලබා දීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇතැයි ද එම තත්ත්වයන්ට අදාළව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිෂන් සභාවට කළ පැමිණිල්ලක් දැනට විභාග වෙමින් පවතින බව ඔහු පවසා සිටියි.

මානව හිමිකම් කොමිෂන් සභාව ඊට අදාළව දෙන නිර්දේශ අනුව දැනට පවතින නිර්ණායක සරල කිරීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සූදානම් බව හා එසේ අලුතින් නිකුත් කරන මාධ්‍ය හැඳුනුම්පත්ද එකතු වූ විට උපරිමය 5000ක් පමණ වීමට ඉඩ ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ‘මව්බිම’ වෙත පවසා ඇත.

 

 

Social Sharing
අවකාශය නවතම පුවත්