කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ දී තරුණයෙකු මිය යයි.

ඉකුත් දා කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ සිටිය දී තරුණයෙකු මියගිය සිදුවීමක් වාර්තා විය. ඔහු මත් ද්‍රව්‍ය ලඟ තබා ගැනීමක් මත අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් සිරමැදිරියේ දී මෙලෙස මියගොස් ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 03 වනදා භාරදී තිබේ.

මෙම මරණය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිස් පහරදීමකින් මෙම මරණය සිදුවූ බවයි. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීම අරමුණුකර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම විමර්ශනය භාරදී ඇතැයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවූ කොස්ගොඩ පදිංචිකරුවෙකි. මෙම තරුණයාව කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 01 වෙනිදා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රැම් 6210ක් සමග අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කරයි. ඔහුගේ පියා විසින්ම මතට ඇබ්බැහි වී සිටින සිය පුතාව පුනරුත්ථාපනය කරන ලෙස ඉල්ලා ඇති අතර එම ඉල්ලීම මත පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන ආකාරයට ඉකුත් 02දා මෙම පුද්ගලයාව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යමින් සිටියදී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහල වෙත ඇතුලත් කළ බවත් ඉන් අනතුරුව ඔහු මියගොස් ඇති බවයි.

Social Sharing
ආර්ථික නවතම පුවත්