කලකට උඩ එන .. නැවත යට යන RAG

ragging sri lanka

” ආ මල්ලි… අපි ඔයා එනකන් හිටියේ ”

විශ්ව විද්‍යාලයට පිවිසීමට පෙර සිටම බැච් එකේ සාමාජිකයන් ෆේස්බුක් සමූහයකට එකතු කිරීමට ගත් උත්සාහය නිසාවෙන් මා හට ලැබුනු පිලිගැනීම එසේ ආරම්භ විය. කොළඹ විද්‍යාපීඨයේ ශාරීරික හිංසනයන් නැතත්,  2016 දී වූ එක් පීඩාකාරී කාල රාමුවක් එතැනින් ආරම්භ විය.

සතියක් පමණ විශ්ව විද්‍යාලයට නොයා  සිටීමත් , Lectures අවසන් වූ විගස Open එකට නොයා ක්‍රීඩා කණ්ඩායම් සමග එකතුවීමත් , විටෙක ගුටි කෑමක් සහ පොලීසි යෑමත්.. ගුටි දුන් අයට එරෙහිව විනය පරීක්ෂණ සිදු කිරීමත් සිදුවිය. සියලු සාක්ෂි සම්පීඩනය කල දෘඪ තැටියක්ද අප විසින් විනය පරීක්ෂණ මණ්ඩලයට ලබාදුන් අතර අවසාන තීරණය වූයේ පන්ති තහනමකි. සීමාව පන්නවා ගත් ජේෂ්ඨයෙක් හට දැක්වූ ප්‍රතිචාරයක් නිසාවෙන් “විශ්ව විද්‍යාලයට Pocket knife ගෙන එන්නේ නැති බවට ” සෑම මේසයක්ම දැනුවත් කිරීමට මා හට සිදුවිය.ඉහත සිදුවීම් කෙරෙහි මාගේ පීඨයේ සමස්ථය සාක්ෂි දරනු ඇත

විශ්ව විද්‍යාලය තුල මාගේ පෞර්ෂය එලෙසම පිලිගත් සොදුරු ජේෂ්ඨයන් සමග මා තවමත් එලෙසම ගෞරවනීයත්වයෙන් සහ සහෝදරත්වයෙන් යුතුව කටයුතු කරන අතරම ඊට අහියෝග කල අය කෙරෙහි මා හට මේවන විට ඇත්තේ අනුකම්පාවකි. නවක වදයට ලක්වන්නන් මෙන්ම නවක වදය ලබා දෙන්නන්ද වින්දිතයින් බව මාගේ අදහසයි.

මුලින්ම අප නවක වදය නිසි ලෙස අර්ථ  දක්වා ගත යුතුය. ඕනෑම බලහත්කාරයක් නවක වදයක් / පීඩාවක් බව මාගේ මතයයි. කෙනෙක් ට විහිලුවක් තව කෙනෙක් ට වදයකි. සමාජ බියකින් පෙලෙන අයෙක්ට ප්‍රසිද්ධියේ සිංදුවක් කීමද දැඩි පීඩනයකි.

කෙසේවෙතත් නවක වදය, පරපීඩක මානසිකත්වය යනු විශ්ව විද්‍යාලයට පමණක් ආවේනික එකක් නොව එය මනුෂ්‍යයාගේ චර්‍යාවේම පිහිටන්නක් බව මගේ මතයයි. එය බොහෝ ආයතන වල විවිධ අයුරින් ක්‍රියාත්මක නමුත් විශ්ව විද්‍යාල වල ඇති නිදහස, තාරුණ්‍යය සහ අනෙකුත් කාරනා නිසාවෙන් එය වඩාත් උත්සන්න වෙයි. උදාහරණයක් ලෙස මිලිටරි විශ්ව විද්‍යාල වල අභ්‍යන්තර ශිෂ්‍යයන් කෙරේ වන නවක වදය ඇත්තේ වෙනත් ම මට්ටමකය.

විශ්ව විද්‍යාල වලට දිවයිනේ නන් දෙසින් විවිධ පරිසර සහ සමාජ පද්ධතීන් වලින් ඇතුල් වන තරුණයින්ට මනුෂ්‍ය මනස, මනෝවිද්‍යාව, නවක වදයේ සහ මානසික පීඩනයේ ප්‍රතිවිපාක පිළිබදව කිසිදු අවබෝධයක් ලබාදීමේ ක්‍රමවේදයක් නොමැත. ඔවුන් ඒවා ස්ව උත්සහයෙන් වටහා ගනී යයි අප බලාසිටීම ප්‍රායෝගික නැත. නවක වදය තුරන් කිරීම සදහා අවශ්‍ය දීර්ඝකාලීන වැඩපිලිවෙලකි. වරක් විශ්ව විද්‍යාලයකින් නවක වදය තුරන් කල පලියට එය නැවත නොපැමිණ තිබෙන්නේ නැත. ඕනෑම විශ්ව විද්‍යාලයක RAG ඇති සහ නැති පරිච්චේද පවතී.

නවක වදය වැලැක්වීම  සම්බන්ධව ක්‍රමෝපායන් ගෙන ඒමේදී ශිෂ්‍යයින්ගේ හෝ අදාල පාර්ශව වල අදහස් විමසීමක් සිදු නොකරන අතර ඒවා හුදෙක් ප්‍රායෝගික නොවන ඒවා බවට පත්ව ඇත. පැමිණිලි කරන ලද අයගේ තොරතුරු පිටට යන බවට ශිෂ්‍යයින් තවමත් බියෙන් පසුවෙති. නවක වදය සම්බන්ධයෙන් පැමිණිලි කලහොත් ඩිමෝ ලා , ලෙක්චර්ස් ලා පලි ගනීවි යයි ඔවුන් බිය වේ. සම්පූර්ණ නවක පරිසරයක තනි වන ශිෂ්‍යයා ඉන් අසරණ වේ. මොන පැමිණිලි අංක හදුන්වා දුන්නත් තත්වය මෙයයි.

ශිෂ්‍යාට උපදේශනය ලබාගැනීමට සිදුවන්නේ ද ශිෂ්‍ය අනුශාසක වරුන්ගෙනි. ඔවුන්ද විශ්ව විද්‍යාල පද්ධතියේම කොටසක් බැවින් නවකයාට ඒ කෙරෙහි විශ්වාසයක් නැත.

මීට අමතරව ශිෂ්‍යයින් විශාල ප්‍රමාණයක් එකිනෙකා සමග කටයුතු කරද්දී ගැටුම් ඇතිවන අවස්ථාද ඇත. ඒවා “නවක” නිසා නොව තරුණ හැසිරීම් සමග ඕනෑම තැනක ඇතිවිය හැකි ඒවාය. විටෙක මේවාද වැටෙන්නේ නවක වද ගොන්නටය.

ශිෂ්‍ය ව්‍යාපාර, ශිෂ්‍ය සංගම් වල පැවැත්ම අත්‍යවශ්‍ය වේ. නැතිනම් අවසානයේ පාලකයන් ශිෂ්‍යාගේ කරේ නගිති. රිසි ලෙස ශිෂ්‍යයින් පීඩනයට පත් කරති. එනම් එවිට නවක වදය ලැබෙන්නේ පාලනාධිකාරියෙනි.

එහෙත් ශිෂ්‍ය සංගම් ද සිය එකමුතුව, අඛන්ඩතාවය පවත්වා ගැනීමට නම් කාලීනව වෙනස් විය යුතුය. බලහත්කාරයෙන් එකමුතුකම හැදීමට ඔවුන් බලාපොරොත්තු වන්නේ නම් එය මෝඩකමකි.

සහ සෑම නවක වද සිදුවීමක් ම ශිෂ්‍ය සංවිධාන විසින් කරන ඒවා නොවේ.විටෙක යම් යම් ශිෂ්‍ය කණ්ඩායම් සහ තනි ශිෂ්‍යින් ඒවාට මැදිහත් වන අවස්ථාද ඇත.

නවක වදය යන මාතෘකාව කලින් කලට ඉස්මතු වෙමින් කලින් කලට යට යන එකක් බවට පත්ව තිබේ. සාමාන්‍යයෙන් මරණයක් වී සතියක් හෝ දෙකක් සමාජය නවක වදය ගැන කතා කරයි. පසුගිය වසර කිහිපයේ මාද එසේ කතා කර ඇත. නමුත් නවක වදය , ප්‍රචණ්ඩත්වය, පරපීඩකත්වය නැවත නැවත සිදුවේ. ඒ සදහා විසදුම් සෙවීමට නිසි ක්‍රමානුකූල වැඩපිලිවෙලක් අවශ්‍යම වේ.එක් සිද්ධියක් අරඹයා දඩුවම් දුන් පමණින් හෝ පිරිසක් ලැයිස්තු ගත කිරීමෙන් නවක වදය තුරන් වේ යැයි මම විශ්වාස කරන්නේ නැත. ඒ සදහ දැනුවත් කිරීම , බලාත්මක කිරීම, දඩුවම් ලබාදීම ඇතුලත් පුළුල් ක්‍රමවේදයක් අවශ්‍ය වේ.

  • අනුරුද්ධ බංඩාර

Social Sharing
අවකාශය නවතම