හයේෂිකාලා වෙනුවට ඉගෙනුමට පහසුකම් සපයන පාසල් – අජිත් පැරකුම් ජයසිංහ

පාසල් අධ්‍යාපනය යනු, විෂය දැනුමට අමතරව මනෝ විද්‍යාව, ක්‍රමවේද, විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් ද ඇතුළුව ප්‍රායෝගික පුහුණුව ලැබූ ගුරුවරයකු විසින් පහසුකම් සපයන ඉගෙනුම් ක්‍රියාවලියකි.

ටියුෂන් යනු අධ්‍යාපනය නොවේ. එය වනාහි, සිසුන් හා මව්පියන් තුළ උසස් ජීවිතයක් යනු සුදු කරපටි රස්සා සහිත සමෘද්ධිමත් ජීවිතයක් පමණක්ය යන අගතිගාමී අදහස නිර්මාණය කර, අනාගතය සම්බන්ධයෙන් බියක් නිර්මාණය කර, බියෙන් අත්මිදීම් සඳහා තරගකාරී අධ්‍යාපනය විමුක්ති මාර්ගය ලෙස දේශනා කරන ආගමික ස්වරූපයේ දේශනාකරුවන් පිරිසකගේ බිස්නස් එකකි.

එම බිස්නස් එක තුළ විවිධ ආකාරයේ නිර්මාණාත්මක විකෘති තිබේ. ඇතැමුන් ටියුෂන්වලදී ශාරීරික වධහිංසනය ද භාවිතා කරනු දැකිය හැකිය. වාචික හිංසනය සාමාන්‍ය දෙයකි. ගුරුවරයාගේ රූප ශෝභාව, යන එන වාහනය, ටියුට්වල අලංකාරය වැනි දේ එහි මූලික ලක්ෂණ වේ. මෑතක් දක්වාම පැවති කුකුළු කූඩු වැනි බංකු පංති වෙනුවට දැන් ඊට වඩා තරමක් හොඳ පන්ති කාමර ද ඇතැමෙකු හඳුන්වා දී තිබේ.

දැන් දැන් ඔන්ලයින් පාඨමාලා වැඩියෙන් ජනප්‍රියය. ඒවාට ශාලාවල මෙන් සීමාවක් නැත. ඕනෑ තරම් සෙනග පිරවිය හැකිය. ඇත්ත වශයෙන්ම එය මෙම ආගමික ස්වරූපයේ දේශනා සඳහා වඩා යෝග්‍යය.

මේවායෙන් විෂය දැනුම ද ලබා දෙයි. වඩා මූලික වන්නේ විභාග සමත් වීමේ ක්‍රමෝපායයි. එසේම, එමගින් ගොඩනගන විශ්වාසයයි. එම විශ්වාසය ගොඩනැගීම බොහෝ දුරට ආගමික ස්වරූපයක් ගනී. හයේෂිකාලා වැනි ටීචර් අම්මලා බිහිවන්නේ එම පසුබිම තුළයි.

අධ්‍යාපනය යනු මෙය නොවේ. එහෙත්, මේ වන විට පාසලෙහි ද ඇත්තේ අධ්‍යාපනය නොවේ. සමස්ත අධ්‍යාපනයම මේ වන විට නටවනු ලබන්නේ ටියුෂන් විසිනි. අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට බාධාකාරී ශිෂ්‍ය ව්‍යාපාර හා වෘත්තීය සංගම් නඩත්තු කරන්නේ ටියුෂන් ගුරුවරුන්ය. හේතුව, අධ්‍යාපන අවස්ථා පුළුල් වුවහොත් තරගකාරීත්වය අවම වීමයි.

අධ්‍යාපනයේ ප්‍රමිතිය උසස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා අධ්‍යාපන ඇමතිලා පමණක් නොව අගමැතිලා, ජනාධිපතිලා දක්වා දේශපාලනය මෙහෙයවා ගැනීමට තරම් ටියුෂන් කර්මාන්තය දක්ෂය.

මෙයට හොඳම උදාහරණය අධ්‍යාපන තරගකාරීත්වය වෙනස් කරනවාය කියා පැමිණි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හා අගමැතිනි හා අධ්‍යාපන ඇමතිනී හරිනි අමරසූරිය සම්බන්ධයෙන් පවා මැදිහත් වීමට ටියුෂන් කර්මාන්තය සමත් වීමයි. මැතිවරණ කාලවලදී සිදු කළ මැදිහත්වීම හරහා ඔවුන් අක්‍රිය කරවීමට සමත් වී ඇති බවක් පෙනේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වැදගත් දෙයක් සිදුවන බවක් ද නොපෙනේ. මේ අතර, ඔවුන්ගේ පාලනය යටතේ හයේෂිකා වැනි ටීචර්ලාගේ සංදර්ශන සඳහා පොලිස් ආරක්ෂාව පවා සපයනු දැකිය හැකිය.

දශක පහකට අධික කාලයක් තිස්සේ ලංකාවේ ගොඩනැගුණු ටියුෂන් කර්මාන්තය වෙනස් කරන්නට යාම හෝ එමගින් සමාජයට සිදුවන බලපෑම අවම කිරීම හෝ පහසු කාර්යයන් නොවේ. ඒවාට රජය අතගැසීම ද තේරුමක් නැත. එය වෙනම බිස්නස් එකකි.

රජයට කළ හැකි දෙයක් තිබේ. එනම්, රාජ්‍ය මූලීක අධ්‍යාපන පද්ධතිය ඉහළ ගුණාත්මකභාවයකින් පවත්වාගෙන යාමයි. එහෙත්, එතනද ගැටලුවක් තිබේ. මේ වන විට විභාග ප්‍රශ්න පත්‍ර සම්පාදකයන්, අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයන්, අධ්‍යාපන පරිපාලකයන්, ගුරු අධ්‍යාපනඥයන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් පමණක් නොව වෘත්තීය සමිති නායකයන් පවා සිටින්නේ ටියුෂන් කර්මාන්තයේ සාක්කුව ඇතුළේය. කුමන ප්‍රතිසංස්කරණය ගෙනාවත්, ඔවුහු එය කඩාකප්පල් කරන ආකාරය දනිති.

මෙයට හොඳම උදාහරණයක් වන්නේ 2000 වසර ආසන්න කාලයේදී හඳුන්වා දුන් පාසල් පාදක ඇගයීම්ය. එහි මූලික අරමුණම වූයේ සිසුන්ගේ විභාග බර අඩු කිරීමයි. ඒ සඳහා පාසල්වල මාසික පරීක්ෂණ, වාර අවසාන විභාග ආදිය අවලංගු කර, වර්ෂ අවසාන එක් විභාගයක් පමණක් හඳුන්වා දෙන ලදි. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ද ප්‍රධාන විශයයන් හැර සෙසු විෂයයන් සඳහා පාසල් පාදක ඇගයීම් යොදාගැනීමට ද, ප්‍රධාන විභාගවල පවා අඩු ලකුණු පාසල් පාදක ඇගයීම්වලින් පූර්ණ කිරීමට ද සැලසුම් කර තිබිණි. එය විනාශ කිරීම පටන් ගත්තේ විදුහල්පතිවරුන් විසිනි. අධ්‍යාපන බලධාරීන් හා ගුරු වෘත්තීය සංගම් ඔහේ බලාගෙන සිටියහ. මෙයට හේතු වූයේ සිසුන්ගේ අධික විභාග බර මත රඳාපවතින ටියුෂන් හා වෙනත් බිස්නස්ය.

අධ්‍යාපනය මේ වන විට දැවැන්ත පෞද්ගලික වෙළඳපොළ ආර්ථිකයකි. පාසල් හා රජයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද එහි උණ්ඩුක පුච්ඡයක් බවට පත්කරගෙන ඇත. රජය අතගහනවා නම් අතගැසිය යුත්තේ එය හරිහමන් අධ්‍යාපනයක් බවට පත්කිරීමටයි. එහි උසස් ප්‍රමිතිය හා සන්සන්දනය වීමට සෙසු අංශවලට සිදු වේ.

එසේම, ශ්‍රමය පිළිබඳ, රැල්ලට රට යාම වෙනුවට මෙරට රැඳෙමින් රටට සේවය කිරීම පිළිබඳ, අධ්‍යාපන නිදහස, විවේකය, විනෝදය, උන්නතිකාමය, පාරිභෝජනවාදය හා ජීවිත අපේක්ෂා පිළිබඳ අලුතින් සිතන දේශපාලන ව්‍යාපාරයක් රටට අවශ්‍යය.

praja.lk

Social Sharing
අවකාශය නවතම