ආනයන වලට ලංකාව කොයි තරම් බදු ගහනවද?

ඇමරිකාව විසින් පටන් ගත් වෙළඳ යුද්ධය ගැන තොරතුරු හැම තැනම තිබෙන නිසාත්, ඒ ගැන ගොඩක් අය නිරන්තරයෙන් යාවත්කාලීන වන නිසාත්, ඒ ගැන ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නැහැ. අනෙක් රටවල් ඇමරිකන් අපනයන මත විශාල ලෙස බදු ගහන නිසා මේ වගේ දෙයක් කරන්න සිදු වුනු බව ජනාධිපති ට්‍රම්ප් විසින් කිවුවත්, ඇත්තටම බදු ලෙස සලකා තිබුණේ වෙළඳ හිඟය. ඉලක්ක කර තිබුණේ වෙළඳ හිඟය අඩු කර ගැනීම. එක් එක් රට සඳහා බද්ද නිර්ණය කර තිබුණේ වෙළඳ හිඟය අඩු කර ගැනීමේ ඉලක්කය මත පදනම්වයි.

දැන් දින 90කට යම් බදු අත්හිටවීමක් කර තිබුණත්, එම දින 90 ගත වූ පසු නැවත කලින් හිටපු තැනට පැමිණීමේ ඉඩක් නැහැ. ඒ වගේම, බදු අත් හිටවීම බලපාන්නේ රටවල් සීමිත ප්‍රමාණයකට පමණයි. ලංකාවත් ඒ ගොඩේ ඉන්නවා. වැඩි බදු අත් හිටවා තිබුණත් 10%ක අවම බද්දක්‌ දැනටත් ක්‍රියාත්මකව තිබෙනවා.

කැනඩාවට, මෙක්සිකෝවට සහ චීනයට (20%ක්) මුල් වටයේදී බදු පැනවූවා. කැනඩාවට හා මෙක්සිකෝවට පනවා තිබෙන බදු වෙළඳ ගිවිසුමකින් (USMCA) ආවරණය වන භාණ්ඩ වලට අදාළ වන්නේ නැහැ. චීනයට දෙවන වටයේදී තවත් 34%ක බද්දක් පැනවුවා. මේ වන විට චීන භාණ්ඩ මත අය කරන බද්ද 125% දක්වා වැඩි කර තිබෙනවා.

පහත තිබෙන්නේ ලෝක බැංකු දත්ත අනුව විවිධ රටවල් විසින් ආනයන මත අය කරන බරිත සාමාන්‍ය බදු ප්‍රතිශතයි. මේවා 2022 දත්ත නිසා ඇතැම් රටවල මෙම ප්‍රතිශත මේ වෙද්දී වෙනස් වෙලා තියෙන්න පුළුවන්. වරහන් තුළ තිබෙන්නේ මේ එක් එක් රටට ඇමරිකාව විසින් පළමු වට දෙකේදී පැනවූ අමතර බදු ප්‍රමාණය.

ඇමරිකා එක්සත් ජනපදය – 1.5%

එක්සත් රාජධානිය – 1.0% (10%)

යුරෝපීය සංගමය – 1.3% (20%)

ජපානය – 1.6% (24%)

වියට්නාමය – 1.1% (46%)

චීනය – 2.2% (20% + 34%)

කැනඩාව – 1.4% (25%*)

මෙක්සිකෝව – 1.6% (25%*)

ඉන්දියාව – 4.6% (26%)

බංග්ලා දේශය – 10.6% (37%)

පකිස්ථානය – 7.6% (29%)

මියන්මාරය – 0.8% (45%)

නේපාලය – 11.2% (10%)

ආජන්ටිනාව – 6.5% (10%)

බ්‍රසීලය – 7.3% (10%)

සිංගප්පූරුව – 0.0% (10%)

ශ්‍රී ලංකාව – 4.4% (44%)

තායිලන්තය – 3.7% (36%)

ඉහත දත්ත දෙස බැලූ විට පෙනෙන්නේ තීරු බදු අනුපාතික සහ වෙළඳ ශේෂය මත පදනම්ව පනවා ඇති අමතර බදු අතර කිසිදු නිශ්චිත සම්බන්ධයක් නොමැති බවයි. 10%ක අමතර බද්දක් එකතු වීමෙන් පසුව ඇමරිකාවේ තීරු බදු අනුපාතය ලෝකයේ රටවල් බොහොමයක සාමාන්‍ය තීරු බදු අනුපාතික ඉක්මවා යනවා. ඒ නිසා, ද්විපාර්ශ්වික සාකච්ඡා මගින් එකඟතාවයක් ඇති කර ගැනීම අභියෝගාත්මක කටයුත්තක්.

ඉහත දත්ත වල ලංකාවේ බදු අනුපාතය 4.4% ලෙස සඳහන්ව තිබෙන්නේ 2022 දත්ත මත පදනම්වයි. පසුගිය 2024 වසරේදී ලංකාවේ තීරු බදු ආදායම රුපියල් බිලියන 111.1ක් වන අතර, ජාත්‍යන්තර වෙළඳාම මත පදනම් වූ මුළු බදු ආදායම රුපියල් බිලියන 400.1ක්. රුපියල් බිලියන 5,685.5ක මුළු ආනයන ප්‍රමාණයේ ප්‍රතිශත ලෙස මෙම බදු ප්‍රමාණ පිළිවෙළින් 2.0%ක් සහ 7.0%ක් වෙනවා. දෙවන ගණන තුළ අපනයන මත අය කරන බදුද ඇතුළත්ව තිබෙන බැවින් ආනයන මත අය කරන බදු ප්‍රමාණය ඊට වඩා අඩු විය යුතුයි.

ආනයන මත ලංකාව විසින් අය කරන බදු අනුපාතය 0% දක්වා අඩු කළද වෙළඳ ශේෂය තුලනය වීමේ කිසිදු ඉඩක් නැහැ. අනෙකුත් රටවල් මත ඉහළ තීරු බදු අය කරන අතර, ඇමරිකාව මත එසේ බදු අය නොකරන්නේනම් පමණක් ඇමරිකාව සමඟ පවතින ද්විපාර්ශ්වීය වෙළඳ හිඟය අඩු කර ගත හැකි වනු ඇතත් එයද කිසිසේත්ම ප්‍රායෝගික අදහසක් නෙමෙයි.

#ඉකොනොමැට්ටා #economatta

Social Sharing
අවකාශය ආර්ථික නවතම