විදෙස් රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමෙන් සංහිඳියා ක්‍රියාවලියට සහායක් නැහැ.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ සිදුවූ බවට පැවසෙන මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් සම්බන්ධව සොයා බැලීමට ශ්‍රී ලංකා රජය පියවර නොගන්නා තාක්කල් යුක්තිය පසඳලීම සඳහා ජාත්‍යන්තර පියවර අත්‍යවශ්‍ය බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කරයි.

එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකුට පැනවූ සම්බාධක සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් සාක්ෂි රැස්කිරීම සහ වගවීම සොයා බැලීම සඳහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව කිසිදු උත්සාහයක් නොගන්නාතාක් කල් විදේශීය රාජ්‍යයන් සම්බාධක පැනවීම අඛණ්ඩව සිදුකළ යුතු බවයි. එමෙන්ම ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුව පවතින සාක්ෂි භාවිතා කළ යුතු බව ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය නිවේදනය මඟින් පෙන්වා දී ඇත.

මෙරට සිවිල් යුද්ධය පැවති කාලයේදී මානව හිමිකම් උල්ලංඝනය වීමේ චෝදනාව මත හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය යන අයට එක්සත් රාජධානිය විසින් පසුගිය සඳුදා දිනයේ සම්බාධක පනවා ඇති අතර එයට අමතරව එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැගෙනහිර පළාත භාර හිටපු නායකයෙකු වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට ද එක්සත් රාජධානිය විසින් සම්බාධක පනවා තිබේ.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා රජයේ ස්ථාවර පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කළ අතර එහිදී රටවල් විසින් ගනු ලබන මෙවැනි ඒකපාර්ශවීය පියවර ශ්‍රී ලංකාවේ දේශීය සංහිඳියා ක්‍රියාදාමයට කිසිදු සහයක් නොදක්වන බව සහ එමඟින් තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වන බවත් වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ රජය නිරත වී සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා සිය නිවේදනය මඟින් දැනුම් දී ඇත.

Social Sharing
නවතම පුවත්